ලිංගාශිත පිළිකා වලින් බේරෙන විදිය : Be Aware of Genital Cancers

ඇඟේ අනිත් තැන් වල වගේම ලිංගික ප්‍රදේශ වලත් පිළිකා එන්න පුළුවන්. තමන්ට නිතර පේන්නේ නැති හින්දායි, අනිත් අයට දකින්නේ නැති හින්දයි ගොඩක් දෙනා වැඩිය ගණන් ගන්නේ නෑ. මුණේ පිම්පල් එකක් එද්දී ඒක ගැන දක්වන උනන්දුව වත් ලිංගික ප්‍රදේශ වල පිළිකා ලක්ෂණ තියෙද්දී ඒවට හම්බෙන්නේ නෑ. මේ දේවල් ගැන හරිම අඩුවෙන් කතා වෙන හින්දා මේ පෝස්ට් එකන් බලමු ගැහැණු, පිරිමි දෙගොල්ලන්ටම එන්න පුළුවන් ලිංගාශිත පිළිකා මොනාද කියලා.

ඇඟේ අනිත් තැන් එක්ක බලද්දී ලිංගික ප්‍රදේශ වල පිළිකා අවදානම අඩුයි. ඒ උනාට පිළිකා එන්නේ නැත්තේ නෑ.

මේ වගේ පිළිකාවක් කලින් හොයා ගන්න තරමට සුව කරන්න ලේසියි. ලිංගාෂිත පිළිකාවකට හරියට ප්‍රතිකාර කලේ නැත්නම් අන්තිමේ ගැජට් එක ලේෆ්ට් තමා. ඒ වගේම කල් ගත වෙනකල් හිටියොත් එහෙම පිළිකාව වසා ගැටිති, අස්ථි, අක්මාව, පෙනහළු වගේ ඇඟේ අනිත් තැන් වලටත් ගිහින් අවසානේ ජීවිතේම ලේෆ්ට් වෙන්න පුළුවන්.

ඒ හින්දා මේක ඉවර වෙනකල්ම කියවන්න. තමන්ට ඒ විදියේ පිළිකාවක් තියෙනවා නම් ඒක කල් තියා අඳුර ගන්නේ කොහොමද කියන එකයි, ඒවාට තියෙන ප්‍රතිකාර මොනාද කියලයි මේ පෝස්ට් එකේ තියෙනවා. 

📌 ඉස්සෙල්ලම බලමු පිරිමි අයට එන්න පුළුවන් ලිංගාෂිත පිළිකා ගැන.

ඉස්සෙල්ලම රෝග ලක්ෂණ දැන ගන්න. මේ දේවල් ඔයාටත් තියෙනවද කියලා බලන්න.

👉 පුරුෂ ලිංගයේ ගැටිති - පිළිකාවක් තියෙනවා නම් ඉස්සෙල්ලම දකින්න හම්බෙන දේ තමා මේ ගැටිති. හැබැයි මේ විදියේ එන හැම ගැටිත්තක්ම පිළිකා ලක්ෂණයක් කියලා කියන්නත් බෑ. ඒ කිව්වේ ලිංගික ඉන්නන් වගේ ඒවා හින්දත් ඔය වගේ ගැටිති එන්න පුළුවන්, ඒ හින්දා කරන්න තියෙන හොඳම දේ ඔයාගේ මොකක් හරි ඒ වගේ ගැටිති වගේ තියෙනවා නම් වෛද්‍යවරයෙක් ගාවට ගිහින් පරික්ෂා කරවාගන්න එක.

👉 කල් ගත වෙන තුවාල - මේකත් පුරුෂ ලිංගයේ පිළිකා වලදී ගොඩක්ම පේන්න තියෙන ලක්ෂණයක්. මේ වගේ තුවාල මුල් කාලේ වේදනාවක් දැනෙනවා. හැබැයි ටික කාලයක් යද්දී ඒ වේදනාව නැති වෙලා යනවා. එක්කෝ ඒ වේදනාවට හුරු වෙනවා. ඒ හින්දම ඕක ගානක් නැතුව මාස ගණන්, සමහර විට අවුරුදු ගණන් පවා ඉඳලා ප්‍රතිකාර ගන්න වෛද්‍යවරු ගාවට එන අය ඉන්නවා. 

👉 පෙරසම පස්සට යන්නේ නැති කම - ඔයා දන්න කාලේ ඉඳලා ඔයාගේ පෙරසම පස්සට ගන්න බැරි නම් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමේ, හැබැයි කලින් පෙරසම පස්සට කරන්න පුළුවන් වෙලා පස්සේ කාලෙක පෙරසම පස්සට කර ගන්න බැරුව හිර වෙනවා නම් අන්න ඒක නම් පොඩි ප්‍රශ්නයක් වෙනවා.

පෙරසම කෙළවරේ හම ඝණ වෙලා පෙරසම පස්සට කරන්න බැරි වෙන එක පිළිකා ලක්ෂණයක් වෙන්න පුළුවන්. 

දැන් මේක දැකලා "අනේ මගෙත් පෙරසම පස්සට යන්නේ නෑනේ, මටත් පිළිකාවක්ද දන්නේ නෑ" කියලා කලබල වෙන්න දෙයක් නෑ. පෙරසම පස්සට යන්නේ නැති එකට එකම හේතුව පිළිකාවක් තියෙනවා කියන එක නෙමේ. පෙරසම පස්සට ගන්න බැරි එකට තව හේතුත් තියෙන්න පුළුවන්. ඒ හින්දා මොකද්ද හේතුව කියලා හරියටම දැන ගන්න ඒ වගේ අයත් වෛද්‍ය පරීක්ෂාවක් කර ගන්න. 

👉 ලිංගාෂිත ලප - ඇඟේ අනිත් තැන් වල හමේ එන පිළිකා වගේම පුරුෂ ලිංගය අවට සමේත් පිළිකා එන්න පුළුවන්, ඒ වගේ හමේ පිළිකාවක් තියෙනවා නම් පේන මුලිකම ලක්ෂණයක් තමා තද පාට, කළු පාට ලප වගේ ඒවා මතු වෙන්න ගන්නවා. හැම ලපේටම බය වෙන්න එපා. හැමෝගෙම තියෙන ලප පිළිකා ලක්ෂණ නෙමෙයි, හැබැයි පිළිකා ලක්ෂණ විදියට අමුතු විදියේ ලප මතු වෙන්න පුළුවන්.

📌 දැන් ගැහැණු අයට එන්න පුළුවන් පිළිකා ගැන බලමු. (Vulvar cancer)

ඒ කියන්නේ ගැහැණු කෙනෙක්ගේ යෝනියේ බාහිර ලිංගික අවයව වල එන පිළිකා. යෝනියේ බාහිර ලිංගික අවයව කියන්නේ යෝනියේ ඇතුළු තොල්, පිටත තොල්, භගමණිය (ක්ලිට් එක/ clitoris) සහ යෝනි මාර්ගය එළියෙන් තියෙන ග්‍රන්ථි වර්ග වගේ දේවල්.

පිරිමි අයගේ නම් ලිංගාෂිත ප්‍රදේශ වල එන ගැටිති, තුවාල වගේ දේවල් පිළිකා ලක්ෂණ වෙන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි ගැහැණු අයගේ ඒක එහෙමම නෑ. 

👉 ගැහැණු අයට තියෙන පිළිකා ලක්ෂණ කැසීමක්, දැවිල්ලක් වගේ දෙයක් වෙන්න පුළුවන්.

👉 තව සෙක්ස් කරන වෙලාවට වේදනාවක් එන්නත් පුළුවන්.

👉 ඒ වගේම ඔසප් වෙන දවස් වලට යෝනියෙන් පිට වෙන රුධිරයට අමතරව සිද්ද වෙන වෙන රුධිර ගැලීමක් වෙන්න පුළුවන්. 

ඒ කිව්වේ සෙක්ස් කරාට පස්සේ රුධිරය පිට වෙනවා වගේ.

👉 තව කිව්වොත් නිතර නිතර මුත්‍රා ආසාදන එනවා නම්, මළබද්ධය, මුත්‍රා කරද්දී එන වේදනාව, යෝනියෙන් ශ්‍රාව පිට වෙන එක වගේ දේවල් තියෙනවා නම් ඒවත් සමහර විට ගැහැණු කෙනෙක්ගේ පිළිකා ලක්ෂණ වෙන්න පුළුවන්.

📌වැදගත්ම දේ තමා මේ උඩ කිව්ව ලක්ෂණ තියෙනවා නම් මොනාද කරන්න ඕන දේ කියන එක.

කරන්න තියෙන හොඳම දේ තමා තමන්ට මොකක් හරි සැකයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් ගාවට යන්න.

ඒ ගියාම වෛද්‍යවරයෙක් ඉස්සෙල්ලම කරන්නේ වෛද්‍ය ඉතිහාසය (medical history) එකයි, රෝග ලක්ෂණයි බලලා අවදානමක් තියෙනවද කියලා බලනවා. 

ඊට පස්සේ ලිංගික අවයව පරික්ෂා කරලා බලනවා. එහෙම බලලා මොකක් හරි සැකයක් තියෙනවා කියලා හිතෙනවා පිළිකාවක් කියලා හිතන තැනින් චුටි කොටසක් අරගෙන ලැබ් එකකට යවලා අන්වීක්ෂ වලින් පරික්ෂා කරන එක. (biopsy test)

පිළිකාවක් තියෙනවා කියලා තේරුම් ගියොත් ඊළඟට කරන්නේ X-ray, CT ස්කෑන්, MRI වගේ ඒවා කරලා පිළිකාව මොන අදියරේද දැන් තියෙන්නේ කියලා බලන එක.

ඒ සේරම දේවල් අනුව තමා මොකද්ද කරන ප්‍රතිකාරය කියලා තීරණය කරන්නේ. ගොඩක් වෙලාවට ශල්‍යකර්මයකින් පිළිකාව පැතිරිලා තියෙන තැන් අයින් කරන එක තමා කරන්නේ. තව කරන ප්‍රතිකාරත් තියෙනවා.

කලින් කිව්ව රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මනටම වෛද්‍ය පරීක්ෂණ වලට ගියොත් පිළිකාව පැතිරිලා තියෙන තැන් විතරක් අයින් කරලා ලිංගික අවයව වලින් වැඩක් ගන්න පුළුවන් විදියට තියා ගන්න පුළුවන්. හැබැයි පිළිකාව හැම තැනම පැතිරිලා තිබ්බොත් වැඩේ අමාරු වෙනවා. ලිංගික අවයවයම අයින් කරන්නත් වෙන්න පුළුවන්. 

📌 ලිංගාෂිත පිළිකාවකින් ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් දේවල්..

HPV කියලා වෛරස් එකක් තියෙනවා. (Human papillomavirus) ලිංගික ඉන්නන් බෝ කරන්නෙත් මේ වෛරස් එක තමා. ඔය කො රෝනා වෛරස් එකේ ඩෙල්ටා, ඔමික්රෝන් වගේ එක එක ප්‍රබේධ තියෙනවා වගේ මේ HPV වෛරස් එකෙත් ප්‍රබේධ 100ක් විතර තියෙනවා. ලිංගාෂිත පිළිකා හදන්නෙත් ඔය HPV වෛරස් එකේ එක්තරා ප්‍රබේධයක්. 

ඉතින් ලිංගික සංසර්ගයකින් ඔය විදියේ වෛරස් එකක් තව කෙනෙක්ගෙන් ඔයාට ආවොත් ඔයාටත් පිළිකා අවදානමක් එනවා. 

දැන් සමහර විට හිතයි "කොන්ඩම් එකක් දාලා කරාම අවුලක් නෑනේ" කියලා. 

නෑ අවුලක් තියෙනවා කොන්ඩම් දැම්මා කියලා HPV වෛරස් එකෙන් බේරෙන්න බෑ. මේ වෛරස් එකට කොන්ඩම් වලින් 100% ආරක්ෂාවක් හම්බෙන්නේ නෑ.

ඒ හින්දා තමන්ට විශ්වාසවන්ත කෙනෙක් එක්ක විතරක් සෙක්ස් කරන්න.

ලංකාවේ ඉස්කෝල වලින් ගැහැණු ළමයින්ට නම් ගැබ් ගෙළ පිළිකා වලින් ආරක්ෂා වෙන්න ඉස්කෝලෙ කාලේ එන්නත් දෙනවා. ඒ එන්නතට පුළුවන් ලිංගාෂිත පිළිකා ඇති කරන්න හේතු වෙන මේ HPV වෛරස් එකෙන් ආරක්ෂා කරවන්න.

තවත් මේ වගේ පිළිකා එන්න හේතුවක් තමා සිගරට් බොන එක. දුම් පානය කරන අයට පිළිකා හැදෙන්න තියෙන අවදානම වැඩියි කියලා සමීක්ෂණ වලින් හොයාගෙන සනාථ වෙලා තියෙනවා. ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම මේක බලපානවා.

වයස කියන දේත් මේ වගේ පිළිකා එන්න එක හේතුවක් වෙන්න පුළුවන්.තරුණ වයස් වල අයට මේ වගේ ලිංගාෂිත පිළිකා එන්න තියෙන අවදානම අඩුයි. හැබැයි ටිකක් වයසින් වැඩි 50-60 ට පස්සේ වගේ අයට තමා අවදානම වැඩි. 

ලංකාවේ අය මේ වගේ දේවල් ගැන නොදන්න කම හින්දයි, ලැජ්ජාව හින්දයි ප්‍රතිකාර ගන්න එන එක නම් හරිම අඩුයි. ඒත් ඔයාට මේ කලින් කිව්ව ලක්ෂණ මොනා හරි තියෙනවා නම් ලැජ්ජාව පැත්තකින් තියලා ඉක්මනටම වෛද්‍යවරයෙක් ගාවට ප්‍රතිකාර ගන්න යන්න කියලා තමා කියන්න තියෙන්නේ. නැත්නම් පරක්කු වැඩි උනොත් අපරාදෙනේ කලින් ලැජ්ජා උනේ කියලා පසුතැවෙන්නේ වෙයි.

Previous Post Next Post