ටෙස්ටෙස්ටරෝන් තමා පිරිමි කෙනෙක්ගේ පිරිමිකම තීරණය වෙන්න ගොඩක්ම බලපාන හෝමෝනය. ඕක අඩු උනාම ලිංගික ආශාව අඩු වෙනවා, ලිංගික අප්‍රාණිකත්වය වගේ එනවා, ඩිප්‍රෙශන් එනවා, මොනා හරි දේකට අවදානය දීගෙන ඉන්න බැරි වෙනවා, හරිම තෙහෙට්ටු ගතියක් දැනෙනවා. ඒ වගේම ඇඟේ මාංශ පේශි වල ශක්තියත් අඩු වෙනවා. ඉතින් ඔය වගේ ගොඩක් ප්‍රශ්න එනවා. ඒ ගැන වැඩි විස්තර දාන්න ඕන නෑ. කලින් පෝස්ට් එකේ දැම්මා. ඒක කියවන්න.
ඔය දාපු පෝස්ට් එකේ මම එක තැනක දැම්මා "බඩේ තියන මේදය හින්දා පිරිමි හෝමෝන ගැහැණු හෝමෝන බවට හැරෙනවා" කියලා. කොහොම හරි ඒ පෝස්ට් එක group එකක share වෙලා ඒකෙ එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා.
"මොන බොරුද ඕයි මේ. පිරිමි හෝමෝන ගෑනු හෝමෝන වෙනවා 🤣🤣" කියලා. (1st කමෙන්ට් එකේ දාන්නම් screen shot එක)
කවුද මල්ලෙ මේ.. කියලා ගිහින් බැලුවා කමෙන්ට් දාපු කෙනාගේ පොපයිල් එක. රිසර්ච් එකක් වත් කරලා කමෙන්ට් එක දැම්මද දන්නේ නෑනේ.
කොහොම හරි එයා ඒ විදියේ කමෙන්ට් එකක් දාන්න ඇත්තේ මම කිව්ව දේ විශ්වාස නැති හින්දා වෙන්න ඇතිනේ. ඒ වගේම තව අයටත් ඔය ප්‍රශ්නේ ඇති. ඒ හින්දා මම හිතුවා ඒ හෝමෝන මාරු වෙන කතාව පොඩ්ඩක් විස්තර කරන්න.
මෙහෙමයි. බඩේ තියෙන මේදය තට්ටුව වටේ එන්සයිම ජාතියක් තියෙනවා ඇරෝමටේස් (Aromatase) කියලා. මේ එන්සයිම හැදෙන්නේ බඩේ තියෙන මේදය හින්දා. බඩේ තියෙන මේද තට්ටුව වැඩි වෙද්දී මේ එන්සයිමයත් වැඩි වෙනවා. එතකොට මේ එන්සයිම ටික එකතු වෙලා ගැන්සියක් හැදෙනවා. ගැන්සිය ටික ටික ලොකු වෙනවා. ඊට පස්සේ මේ බඩ මගෙ බඩ මා ඉපදුණ බඩ කියලා බඩේ පාලනේ එයාලා අතට ගන්නවා.
ඇරෝමටේස් කියන එන්සයිම ගැන්සිය එයාලට ඕන හැටියකට කරන දෙයක් කරගෙන පාඩුවේ හිටියට අපිට කමක් නෑ. ඒත් වැඩේ කියන්නේ මේ එන්සයිම වලට එහෙම පාඩුවේ ඉන්න බෑ. එයාලා ඇඟේ තියෙන නීති රීති වලට යටත් වෙන්නේ නෑ. සිස්ටම් එක කඩන්න තමා මුන්ට දැන් ඕනා. ඔන්න දැන් මුන් ටික ඇඟේ තියන ටෙස්ටෙස්ටරෝන් හෝමෝන ටික ඉස්ට්‍රජන් හෝමෝන බවට හරෝනවා. එතකොට ඇඟේ තියෙන ටෙස්ටෙස්ටරෝන් හෝමෝන අඩු වෙන්න ගන්නවා. ඇඟේ ගාණට බැලන්ස් වෙලා තිබ්බ ඉස්ට්‍රජන් හෝමෝන මට්ටම තියන්න ඕනා ප්‍රමාණයට වඩා වැඩි වෙන්න ගන්නවා.
ඇඟේ තියෙනවා ඉස්ට්‍රජන් හෝමෝන වලට වැඩියෙන් සංවේදී තැන් වගයක්. ඇඟේ ඉස්ට්‍රජන් වලට වැඩියෙන් සංවේදී තැන් වල වැඩියෙන් මේදය තැන්පත් වෙනවා.
ගැහැණු අයගේ නම් සාමාන්‍යයෙන් ඉස්ට්‍රජන් වලට වැඩියෙන් සංවේදී තැන් තමා බඩ, ඉණ, පස්ස සහ පියයුරු වගේ තැන්. ඉතින් ඒ තැන් වල වැඩියෙන් මේදය එකතු වෙනවා. ඒ හින්දා තමා ඒ තැන් අතින් ඇල්ලුවාම බැලුන් වගේ එබෙන්නේ.
ගැහැණු ළමයින්ගේ බඩවල් වල තියෙන ටයර් ටික බස්ස ගන්නත් හරිම අමාරු ඒකයි.
ඔය කියන ඉස්ට්‍රජන් හෝමෝන වැඩි උනාම සමහර ගැහැණු ළමයි කොහෙවත් නැතුව ඉඳලා එක පාර මහත් වෙන්න එහෙමත් ගන්නවා.
පිරිමින්ගේ නම් ඉස්ට්‍රජන් වලට වැඩියෙන් සංවේදී තැන් තමා ඉණ, බඩ සහ පියයුරු වගේ තැන්. ඉතින් පිරිමි අයගේ වැඩියෙන් මේදය තැන්පත් වෙන්නේ ඒ තැන් වල.
සමහර පිරිමින්ටත් ගැහැණු අයගේ වගේ හෙන ලොකුවට පියයුරු තියෙනවා දැකලා තියෙනවද. ඔන්න ඕකට කියන්නේ ගයිනොකමස්තියා (gynaecomastia) කියලා. male breast කියලත් කියනවා. ඉතින් ඔය විදියට සමහර පිරිමින්ගෙත් පියයුරු, ගැහැණු අයගේ වගේ ලොකු වෙන්න හේතුවක් තමා එයාලගේ ඇඟේ තියෙන ඉස්ට්‍රජන් හෝමෝන ඕනාවට වඩා වැඩි එක.
හරි දැන් ආපහු ඇරෝමටේස් එන්සයිම වල කතාවට යන්.
ඔන්න දැන් ඇරෝමටේස් එන්සයිම ගැන්සිය බඩේ පාලනය සම්පුර්ණයෙන් එයාලගේ පාලනේට අරගෙන ඉන්නේ.
බඩේ මේදය වැඩි හින්දා ඇරෝමටේස් එන්සයිම වැඩි වෙනවා
ඇරෝමටේස් එන්සයිම පිරිමි හෝමෝන ගැහැණු හෝමෝන වලට මාරු කරනවා.
ඒ හින්දා ගැහැණු හෝමෝන වැඩි වෙනවා.
එතකොට මේදය වැඩි වෙලා බඩ තව ලොකු වෙනවා.
දැන් ආයේ..
බඩේ මේදය වැඩි හින්දා ඇරෝමටේස් එන්සයිම වැඩි වෙනවා
ඇරෝමටේස් එන්සයිම පිරිමි හෝමෝන ගැහැණු හෝමෝන වලට මාරු කරනවා.
ඒ හින්දා ගැහැණු හෝමෝන වැඩි වෙනවා.
එතකොට මේදය වැඩි වෙලා බඩ තව ලොකු වෙනවා.
ඉතින් ඔය විදියට ඔය ක්‍රියාවලිය චක්‍රයක් වගේ දිගටම දිගටම දිගටම දිගටම යනවා.
හැබැයි ඉස්ට්‍රජන් කියන්නේ නරක හෝමෝනයක් නෙමේ. ඕක නරක වෙන්නේ ඇඟේ තියෙන්න ඕන ප්‍රමාණයට වඩා වැඩි උනාම. ඉතින් ඒ හින්දා ඇඟේ තියෙන පිරිමි හෝමෝන ටිකවත් පරිස්සම් කර ගන්න අලි බඩවල් තියෙන උන්දලා ටික පොඩ්ඩක් එළියට බැහැලා ඔය බඩවල් බස්ස ගත්තා නම් හොඳා.