පියයුරු පිළිකා : Breast Cancer 101

පිළිකාවක් හැදෙන්නේ සෛල වල ජාන විකෘතියක් ඇති වුණාම. මේ විදියේ සෛල විකෘති වුනාම ඒ විකෘති සෛල හරිම වේගෙන් හැදෙන්න ගන්නවා. ඒ වගේම ඒ වටේ තියෙන අනිත් සෛලත් ආක්‍රමණය කරනවා. ඒකෙනුත් නවතින් නැහැ. අපේ වසා පද්ධතිය, රුධිර පද්ධතියටත් යනවා. ඒ හින්දා එක තැනක හැදෙන පිළිකාවක් මුළු ඇඟ පුරාම දුවන්න පුළුවන්. 

⚠ වයස වැඩි ගැහැණු අයට පියයුරු පිළිකා හැදෙන්න තියෙන අවදානම වැඩියි. 

⚠ ඔයාගේ ආච්චිට, අම්මට, සහෝදරියට, දුවට වගේ පවුල් වල ළඟ ඥාති කෙනෙක්ට පියයුරු පිළිකාවක් හැදිලා තියෙනවා නම් ඔයාටත් පියයුරු පිළිකාවක් තියෙන්න ලොකු ඉඩක් තියෙනවා.

⚠ අඩු වයසින් මල්වර වුන අයටත් මේ අවදානම වැඩියි. ඒ කියන්නේ වයස අවුරුදු 12 ට අඩුවෙන් වැඩි වියට පත් වුන අය.

ඒ වගේම ඔසප් වීම නවතින එක පරක්කු වෙලා වෙන ගැහැණු අයටත් මේ අවදානම වැඩියි. ඒ කියන්නේ අවුරුදු 55 ට පස්සෙත් ඔසප් වීම වෙන ගැහැණු අයට.

⚠ කවදාවත් දරුවෙක් නොලැබුණු ගැහැණු කෙනෙක්ටත් පියයුරු පිළිකා අවදානමක් තියෙනවා. තව පළවෙනි දරු උපත අවුරුදු 35 ට පස්සේ වුනා නම් ඒත් අවදානම වැඩියි.

ඒ වගේම අවුරුද්දකට වඩා මව් කිරි නොදුන්න අම්ම කෙනෙක්ටත් අවදානම වැඩියි.

⚠ ඔසප් වීම නැවතුන ගැහැණු ළමයින්ට ඔසප් වීම හරියට වෙන්න සමහර විට පිටින් හෝමෝන දෙනවා. ඒකට කියන්නේ Hormone replacement therapy (HRT) කියලා. ඉතින් ඒ වගේ පිටින් හෝමෝන දුන්න ගැහැණු ළළමයෙක්ටත් පියයුරු පිළිකා අවදානමක් තියෙනවා.

⚠ ඒ වගේම ජානමය වෙනස්කම් තියෙන අයටත් සහ තව විකිරණ (radiation) වලට නිරාවරණය වුන අයටත් පියයුරු පිළිකා අවදානම් වැඩියි.

⚠ ඔය සේරටමත් වඩා වැඩියෙන්ම අවධානය දෙන්න ඕනා දේ තමයි මහත අය, ව්‍යායාම නොකරන අයටත් පියයුරු පිළිකා හැදෙන්න වැඩි ඉඩක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. 

මේ සේරම දේවල් ගැහැණු අයට බලපාන දේවල් වුණාට පිරිමි අයටත් පියයුරු පිළිකා හැදෙන්න පුළුවන්. ගැහැණු අයට වැඩියෙන්ම හැදෙන පිළිකාව පියයුරු පිළිකාව මිසක්, පියයුරු පිළිකා හැදෙන්නේ ගැහැණු අයට විතරයි කියලා දෙයක් නෑ.

.

📌 පියයුරු පිළිකාවක් කල් තියා අඳුන ගන්නේ කොහොමද?

තමන්ගේ පියයුරේ ගැටයක් වගේ දෙයක් අහු වෙන්න පුළුවන්.

හැබැයි හැමෝගෙම මේ ගැටයක් වගේ අහු වෙන්නේ නැහැ. සමහර විට වෙනදට වඩා තද දෙයක් වගේ පියයුරේ අහු වෙන්න පුළුවන්.

පියයුරු වල හම රතු වෙලා, ඉදිමිලා, හැම දොඩම් ලෙල්ලක් වගේ පේනවා නම් ඒ දේවල් ගැන ගැහැණු අය සැලකිලිමත් වෙන්න.

ඒ වගේම තනපුඩුව ඇතුළට ගිලා බැහැලා තියෙනවා නම්, 

මව් කිරි වලට අමතරව තණ පුඩු වලින් සුදු පාට හෝ ලේ මිශ්‍ර ශ්‍රාවයක් පිට වෙනවා නම්, 

පියයුරේ හැඩය ලඟදි වෙනස් වෙලා වගේ නම්, සමහර විට මේ දේවල් පියයුරු පිළිකාවක ලක්ෂණ වෙන්න පුළුවන්.

ගොඩක් අය හිතන් හිටියට පියයුරු වල විතරක්ම නෙමේ මේ ලක්ෂණ පෙන්නන්නේ, අත් යට කිහිල්ලේ කුද්දටි ගෙඩියක් ඉදිමිලා වගේ ඔයාගේ අතට දැනෙනවා නම් ඒ ගැනත් සැළකිලිමත් වෙන්න.

ඒ වගේම සමහරු හිතාගෙන ඉන්නවා පිළිකා ගෙඩියක් හින්දා වේදනාවක් එන්නේ නැහැ කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. පිළිකා ගෙඩි හින්දා වේදනාවක් එන්නත් පුළුවන්, වේදනාවක් නැති වෙන්නත් පුළුවන්. 

වෙනදට වඩා පියයුරු වල පොඩිම හරි වෙනසක් තියෙනවා නම් හරි පියයුරු වල හෝ අත් යට වේදනාවක් දැනෙනවා නම් ඒ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න.

මේ උඩ කිව්ව දේවල් වලින් මොනාම හරි තියෙනවා නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් ලඟට යන්න, නැත්නම් ඉක්මනින්ම සුවනාරී සායනයකට යන්න. මොකද ඔයා ඒ යන්න හදන වෙලාවෙදිත් යන්නේ පිළිකාවක් තියාගෙන වෙන්න පුළුවන්. 

වයස අවුරුදු 35ට වැඩි කාන්තාවනුත් වෛය්දවරයෙක් ගාවට ගිහින් මේ පරික්ෂාව අවුරුදු කීපයකට සැරයක් කර ගන්න එක හොඳයි.

වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඉස්සෙල්ලම කරන්නේ පියයුරු බාහිරින් අධ්‍යනය කරලා බලනවා. ඒ ගැන ලැජ්ජා වෙන්න, බය වෙන්න එපා. ඔයාට පියයුරු ඔයාගේ වුණාට වෛද්‍යවරයෙක්ට ඕක තවත් එක පියයුරක් විතරයි. ඉගෙන ගන්න කාලේ ඉඳන් ඕන තරම් ඕවා දැකලා තියෙනවා.

කොහොම හරි මේ බාහිරින් කරන පරීක්ෂණයට පස්සේ ultra sound ස්කෑන් එකයි, Mammography පරීක්ෂණය කරනවා. මේ දෙකෙන් එකක් හරි දෙකම හරි කරන්නත් පුළුවන් ඒ අවස්ථාවට අනුව.

Mammography පරීක්ෂණයේ ප්‍රතිඵල වැඩියෙන් සාර්ථක වෙන්නේ වැඩි වයස් වල කාන්තාවන්ට. වයසින් අඩු කාන්තාවන්ගේ Mammography පරීක්ෂණය කලත් සමහර විට පියයුරු වල තියෙන ගැටිති වගේ දේවල් මඟ හැරෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ කෙනෙක්ට නම් MRI පරීක්ෂණය කරනවා 

ඒ වගේම පියයුරු වල ගැටිත්තක් තියෙනවා නම් ඒකෙන් සෛල අරගෙන හරි ඒකෙන් කොටසක් කපලා අරගෙන හෝ පරික්ෂා කරන්නත් පුළුවන්.

පිළිකාව අනිත් තැන් වලටත් පැතිරිලා කියලා හිතෙනවා නම් CT ස්කෑන් එකක් කරලා ඒක බලනවා.

📌 හැබැයි වෛද්‍යවරයෙක් ගාවට යන එක නිතරම කරන්න බැහැනේ. ඒ හින්දා ගැහැණු අයට තමන්ටම පුළුවන් ගෙදරදීම මේ පරික්ෂාව කර ගන්න. මාසෙකට එක පාරක් කර ගන්න.

▶ ඔයා ඔසප් වෙන ගැහැණු කෙනෙක් නම් ඔසප් වීම ඉවර වෙලා දවස් 5කින් වගේ පස්සේ පියයුරු පරික්ෂා කරලා බලන්න. ඇයි එහෙම කරන්නේ? මොකද ඔසප් වෙන දවස් වලට කොහොමත් පියයුරු පොඩ්ඩක් හයිය වෙන හින්දා ඒ දවස් ටික ඇරලා තමයි පියයුරු පරික්ෂා කරන්න ඕනා.

ඔයා ඔසප් වීම නැවතුනු ගැහැණු කෙනෙක් නම් හැම මාසෙම පළවෙනිදා හරි අන්තිම දවසේ හරි මේක කරන්න. ඒ දවස් දෙකෙන් එකක් තෝර ගන්නේ දවස අමතක නොවෙන්න.

▶ ඉස්සෙල්ලම ඇඳන් ඉන්න එක ගලවලා යන්න කණ්නාඩියක් ගාවට. ගිහින් ඉණට අත් දෙකත් තියාගෙන බලන්න කණ්නාඩියෙන් ඔයාගේ පියයුරු දිහා. 

පියයුරු වල size එකේ වෙනසක් තියෙනවා ද? එහෙම නැත්නම් හැඩයේ මොකක් හරි වෙනසක් වෙලාද? පියයුරු වල හමේ පාට වෙනස් වෙලාද? හම වල ගැහිලා තියෙනවද? පිම්බිලා තියෙනවද? තන පුඩු වල වෙනසක් තියෙනවද? 

මේ දේවල් ටික සේරම බලන්න.

▶ ඊට පස්සේ අත් දෙක උස්සලා ඔලුව පිටිපස්සෙන් තියා ගන්න.

තියාගෙන කලින් බලපු දේවල් ටිකම ආයේ බලන්න.

▶ ඒකට පස්සේ තනපුඩුව මිරිකලා බලන්න මොනා හරි ශ්‍රාවයක් පිට වෙනවද කියලා. 

.

▶ ඊට පස්සේ ඇඳට හරි පුටුවට හරි ගිහින් පියයුරු අල්ලලා පරික්ෂා කරලා බලන්න. අල්ලලා බලද්දී වම් පියයුර දකුණු අතින් අල්ලලා බලන්න, දකුණු පියයුර වම අතින් අල්ලලා බලන්න.

නාන වෙලාවට ඇඟේ සබන් තියෙද්දී මේ වැඩේ කරනවා නම් තවත් පහසුවෙන් ගැටිති වගේ දේවල් අහු වෙනවා.

▶ මේක කරද්දී තන පුඩුවේ ඉඳන් සම්පුර්ණ පියයුරම ආවරණය වෙන විදියට රවුමට රවුමට අල්ලලා බලන්න.

පියයුරු විතරක් නෙමේ, අත් යට කිහිල්ල ප්‍රදේශයත් අල්ලලා බලන්න.

මොනාම හරි වෙනසක් දැනෙනවා නම් වෛද්‍යවරයෙක් ගාවට යන්න.

📌 කෙනෙක්ට පියයුරු පිළිකාවක් තියෙනවා නම් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම කීපයක් තියෙනවා. 

ශල්‍යකර්මයකින් ඉවත් කිරීම 

කිමෝතෙරපි (Chemotherapy) - පිළිකා නාශක ඖෂධ ලබා දීම. 

හෝමෝනමය ඖෂධ 

විකිරණ ප්‍රතිකාර 

හැමෝටම මේ දේවල් දෙන්නේ නැහැ. අවශ්‍ය විදියට ගැළපෙන ක්‍රමය පාවිච්චි කරනවා. එක එක්කෙනාට දෙන ඖෂධ වෙනස් වෙන්න පුළුවන්.

▶ හැම වෙලේම ශල්‍යකර්මය ඉස්සෙල්ලම කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම හැම වෙලේම පිළිකාව තියෙන පියයුර අයින් කර ගත්තා කියලා පිළිකාව නැති වෙන්නෙත් නැහැ. ඒ ඒ කෙනා අනුව සම්පුර්ණ පියයුරම අයින් කරන්න ඕනත් නෑ, පියයුරේ කොටසක් අයින් කරන එකත් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. පියයුරක කොටසක් විතරක් අයින් කරනවා නම් රෝගියාට ගෙදර යන්නත් පුළුවන් දවසින් දෙකෙන්.

කොහොම හරි පියයුරේ ගැටිත්ත විතරක් අයින් කරපු කෙනෙක්ගේ පියයුර පොඩ්ඩක් කුඩා වෙන්න පුළුවන්. ඒත් ඒක ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි පිළිකාවක් හින්දා සම්පුර්ණ පියයුරම අයින් කරන්න වුනොත් ශල්‍යකර්මය කරන වෙලාවට ඇඟේ වෙනත් පටක පියයුර තියෙන්න ඕනා තැනට අරගෙන පියයුරේ හැඩය ගන්න පුළුවන්. එහෙම නැත්නම් සිලිකන් වලින් හදපු කෘතීම පියයුරක් දාන්නත් පුළුවන්.

▶ පිළිකා නාශක ඖෂධ (කිමෝතෙරපි) වල අතුරු ප්‍රතිඵලයක් විදියට කොන්ඩේ ගැළවෙන්න පුළුවන්. ඒක නවත්වන්න බැහැ. ඒත් පිළිකා නාශක ඖෂධ දෙන්නේ මාස හතර හමාරක් වගේ. ඒ කාලයෙන් පස්සේ ආපහු කොන්ඩේ වැවෙන්න ගන්නවා. සමහර අයට තිබ්බට වඩා හොඳ කොණ්ඩයක් ලැබෙන වෙලාවලුත් තියෙනවා.

ඒත් මේ පිළිකා නාශක ඖෂධ වල තියෙන ලොකුම අතුරු ආබාධය මේක විතරක් නෙමේ. මේ ඖෂධ හින්දා රෝගියාගේ ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙන්නත් පුළුවන්. ඒ කාලේදී ඕනම විසබිජයක් ඇඟට ඉක්මනට ඇතුල් වෙලා පතියෙන්න උනත් පුළුවන්. ඒ හින්දා ඒ කාලේ පොඩි කැස්සක්, හෙම්බිරිස්සාවක් හැදුනත් වෛද්‍යවරයා ගාවට යන්න ඕනා.

▶ හෝමෝනමය ප්‍රතිකාර නම් ටිකක් දිග කාලයක් කරන්න වෙනවා. සමහර විට අවුරුදු 10ක් වගේ කාලයක් කරන්න වෙන්නත් පුළුවන්.

▶ සම්පුර්ණ පියයුරම අයින් නොකර පියයුරු වල කොටසක් විතරක් අයින් කරන කෙනෙක්ට නම්, පියයුරේ ඉතුරු වෙන කොටසට විකිරණ ප්‍රතිකාරය දෙන්න වෙනවා. සම්පුර්ණ පියයුරම අයින් කරන කෙනෙක්ගේ උනත් වාර්තා වල ප්‍රතිඵල බලලා විකිරණ ප්‍රතිකාර කරන්න වෙන වෙලාවල් තියෙනවා. සති 3-5 වගේ තමා විකිරණ ප්‍රතිකාර කරන්නේ. 

දිගු කාලින අතුරු ආබාධ එනවද නැද්ද කියන එක ගොඩක් වෙලාවට ප්‍රතිකාරය කරන වෛද්‍යවරයා අතේ තමයි තියෙන්නේ. මොකද පියයුරු තියෙන්නේ හදවත ට සහ පෙනහළු වලට ගොඩක් ලඟින්. ඒවා බේරලා ප්‍රතිකාරය  හරියට කලොත් දිගු කාලින අතුරු ප්‍රතිඵල එන්නෙම නැති තරම්.

ඒ හින්දා හැම ගැහැණු කෙනෙක්ම මේ දේවල් ගැන දැනුවත් වෙන්න, කල් තියා හඳුනා ගන්න තරමට පිළිකාව ලෙසින් අයින් කරන්න පුළුවන්.

Previous Post Next Post