උපත් පාලන ක්‍රම වලින් මහත් වෙනවද? : Can Birth Control Methods Make You Fat?


තරබාරු වීම නිසා බොහෝ කාන්තාවන් උපත් පාලන ක්‍රම භාවිතා නොකර සිටීමේ ප්‍රවනතාවයක් පවතිනවා.

බොහෝ විට  උපත් පාලන ක්‍රම වලට යොමු වන්නේ විවාහ වූ කාන්තාවන් සහ දරුවන් ලැබී දරුවන් අතර පරතරය තබා ගැනීමේ පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කරන කාන්තාවන්.

▶ දැනට විද්‍යාත්මකව තහවුරු කර ඇති තොරතුරු අනුව ශරීරයේ බර වැඩි වීම සඳහා බලපාන්නේ DMPA එන්නත පමණයි. නමුත් සෑම දෙනාටම එය නොවන අතර සමහර කාන්තාවන්ට පමණයි මේ බලපෑම ඇති වෙන්නේ.

අනෙක් ක්‍රම නිසා ශරීරයේ බර වැඩි වෙන බව විද්‍යාත්මකව තහවුරු කරගෙන නැහැ.

▶ නමුත් උපත් පාලන පෙතිවල අඩංගු ප්‍රොජෙස්ටරෝන් මගින් කෑම රුචිය වැඩි කරවනවා. ආහාර රුචිය වැඩි වීම නිසා වැඩියෙන් ආහාර ගැනීම නිසා ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා පෝෂණය ලැබීමෙන් ශරීර බර වැඩි වනවා මිස සෘජුවම උපත් පාලන පෙති වලින් බර වැඩි වීමක් වන්නේ නැහැ.

▶ එසේම අත යට සමට යටින් තැන්පත් කරන කරල් වලින්ද ආහාර රුචිය වැඩි වෙනවා. 

කෙසේවෙතත් බර වැඩි වීම දරු ප්‍රසුතියෙන් පසු කාන්තාවන්ට ඇති වන තත්වයක්. මේ නිසා දරු උපතකින් පසුත් නැවත කෑම පාලනය සහ ව්‍යායාම වලට යොමු වීම ශරීර බර පාලනයට සහ ශරීර සෞඛ්‍ය වර්ධනය කර ගැනීමට ඉතා වැදගත්.

________________________

📌 උපත් පාලන පෙති වල අතුරු ආබාධ 

බොහෝ කාන්තාවන්ට අතුරු ආබාධ නොමැත. නමුත් සමහර කාන්තාවන්ට වමනය, හිසරදය, පියයුරුවල වේදනාව (ස්පර්ෂයේදී) හා රුධිරය බිංදු වශයෙන් වහනයවීම ඇතිවේ. 

පළමු ඔසප් චක්‍රයන් 2 - 3 තුළදී සාමාන්‍යයෙන් ඉහත කි අතුරු ආබාධ නැතිවී යයි. රාත්‍රි ආහාර වේල ගැනීමෙන් පසු පෙති ගැනී මෙන් වමනය අවම කරගත හැකිය.

රුධිරය බිංදු වශයෙන් වහනයවීම (ඔසප් චක්‍ර අතර සුළු  රුධිර වහනය) පළමු ඔසප් චක්‍ර කිහිපයක් තුළ සිදුවිය හැකිය. නමුත් එය අඛණ්ඩව සිදු වන්නේ නැත්නම් අවදානමක් නැත. රුධිර වහනය දැඩිව සිදුවේ නම් වෛද්‍යවරයකු හමුවන්න.

 බොහෝ විට උපත් පාලන පෙති නතර කළ වහාම ඊළඟ ඔසප් චක්‍රයේදීම ගැබ් ගැනීමේ හැකියාව ඇත.

________________________

📌 අත යට සමට යටින් තැන්පත් කරන කරල් වල අතුරු ආබාධ 

කෙටිකාලීනව පහත අතුරු ආබාධ ඇති විය හැකිය. දිගු කාලයක් තිස්සේ මේවා පවතී නම් වෛද්‍ය වරයෙක් හමු වෙන්න.

ඔසප් චක්‍රයේ වෙනස්කම් (රුධිර වහනය සම්පූර්ණයෙන් නතරවීම, ඔසප් දින ගණන දික්වීම (වැඩිවීම), බිංදු වශයෙන් රුධිර වහනය, අක්‍රමවත් රුධිර වහනය), හිසරදය, කරකැව්ල්ල

මේ කරලා ඉවත් කළ වහාම ඊළඟ ඔසප් චක්‍රයේදීම ගැබ් ගැනීමේ හැකියාව ඇත.

________________________

📌 උපත් පාලන එන්නත් වල අතුරු ආබාධ 

මාස 3කට වරක් ලබා ගන්නා මේ එන්නත නතර කිරීමෙන් පසු නැවත ගැබ් ගැනීමක් සිදුවීමට ගතවන කාලය කාන්තාවන්ගෙන් කාන්තාවන්ට වෙනස් වේ. සාමාන්‍යයෙන් එන්නත් ලබා ගැනීම නවත්වා නැවත සරුභාවය ඇතිවීමට මාස 04 ක පමණ කාලයක් ගතවේ.

බොහෝ විට ඔසප් චක්‍රය අක්‍රමවත් වේ. සමහර කාන්තාවන්ට පමණක් සම්පූර්ණයෙන් නවතී. මෙයින් රක්තහීනතාව අඩු වේ. මෙම සිදුවීම සිරුරට හානිකර නොවේ.

ඊට අමතරව කෙටි කාලීනව හිසරදය, කරකැවිල්ල.සහ පියයුරුවල සුළු වේදනාව.ඇති විය හැක.

________________________

📌 හදිසි උපත් පාලන පෙති වල අතුරු ආබාධ 

කිසිසේත්ම හදිසි උපත් පාලන පෙති පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස භාවිතා නොකළ යුතුය. පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස නිතර නිතර භාවිතා කිරීම ශරීරයට අහිතකරය. හදිසි අවස්තාවකදීම පමණක් මේවා භාවිතා කල යුතුය.

හදිසි උපත් පාලන ක්‍රම නිසාත් තාවකාලිවක කෑම අරුචිය හා වමනය, ඔසප් චක්‍රයේ අක්‍රමවත් ලෙස ලේ වහනය වීම, පියයුරුවල වේදනාව (ස්පර්ශයේදී), හිසරදය, ඔසප්වීම ඉක්මන්වීම හෝ ප්‍රමාද වීම වැනි ගැටළු ඇති විය හැක.

________________________

එක් එක් උපත් පාලන ක්‍රමය ගැන මිට පෙර විස්තරාත්මක පෝස්ට් එකක් දැම්මා. අවශ්‍ය නම් ඒක මෙතනින් බලන්න.

👉 https://www.facebook.com/xeducationsl/posts/203844741498230

ඉහත සඳහන් අතුරු ආබාධ කිසිවක් සෑම දෙනාටම බලපාන්නේ නැත. එසේම ඉහත සෑම ක්‍රමයක්ම සෑම දෙනාටම ගැලපෙන්නේ ද නැත. එම නිසා ඔබට වඩාත් ගැලපෙන උපත් පාලන ක්‍රමය වෛද්‍යවරයෙක් හමු වී තෝරා ගන්න.

මේ දැනුම අන් අය අතරත් share කරන්න🙏

Previous Post Next Post