පුරුෂ ලිංගය ඇද වෙන එක ලෙඩක් කියලා දන්නවද? Curved Penis May Not be Normal

මේ රෝගයට ඉංග්‍රීසි වලින් කියන්නේ පෙ-රෝ-නීස්/ Peyronie's කියලා. පෙරෝනී කියන්නේ 1700 ගණන් ප්‍රංශේ හිටිය මේ රෝගය ඉස්සෙල්ලම විස්තර කරලා හොයා ගත්ත කෙනාගේ නම. ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ එන්නේ අවුරුදු 40-50 වගේ ටිකක් වයසින් වැඩි අයට. වයසින් වැඩි අයට වැඩියෙන් මේ දේ තිබ්බට මේක වයසත් එක්ක වෙන ප්‍රශ්නයක් නෙමේ. හැබැයි මේක වයසත් එක්ක එන ප්‍රශ්නයක් කියල හිතලා ගොඩක් දෙනෙක් ප්‍රතිකාර වලට යන්නේ හරිම අඩුවෙන්, ගොඩක් අය දන්නේ නැහැ මේක රෝගයක් කියලවත්. ඒ හින්දා මේක සමාජේ ඇතුලේ කොච්චර දුරට පැතිරිලා තියෙනවද කියලා හරියටම කියන්න අමාරුයි. 

පෙ-රෝ-නීස් තත්වය නොවුනත් පුරුෂ ලිංගය ඇද වෙන්න තව හේතු තියෙනවා. පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙලා තියෙද්දී පුරුෂ ලිංගයට ලොකු පීඩනයක් ඇවිල්ල පුරුෂ ලිංගය නැමුනොත් එහෙම පුරුෂ ලිංගයේ පටක බිඳිලා පුරුෂ ලිංගය ඇද වෙන්න උනත් පුළුවන්. ගැහැණු කෙනාව උඩ තියාගෙන කරන Cowgirl ඉරියව්වෙන් කරන අය එහෙම පරිස්සමින්. හදිසි අනතුරු වෙන්න පුළුවන්. වැරදි වෙලාවේ, වැරදි තැනින් බර වැටුනොත් එහෙම මල්ලි ලෙප්ට්.

කොහොම හරි මේ ප්‍රශ්නෙට හේතුව තමයි පුරුෂ ලිංගය ඇතුලේ තියෙන පටක එක තැනකින් ඝණ වෙන එක. පුරුෂ ලිංගයේ පටක වල එක තැනක් ඝණ වෙලා තියෙන හින්දා පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙද්දී පටක ඝණ වෙලා තියෙන පැත්තට පුරුෂ ලිංගය පැත්තකට නැමෙනවා. පටක ඝණ වෙලා තියෙද්දී හරියට රුධිර වහනයවත් වෙන්නේ නැති හින්දා පුරුෂ ලිංගය දිගටම ප්‍රාණවත්ව තියා ගන්නත් බැරි වෙනවා. 

මේ පටක ඝණ වෙන දේ එක පාරම වෙන්නේ නැහැ. මාස කිහිපයක් අවුරුද්දක් තිස්සේ වගේ ටික ටික තමයි වෙන්නේ. ඒ විදියට ටික ටික පටක ඝණ වෙන එක වැඩි වෙලා අවුරුද්දක් 2ක්, 3ක් වගේ යද්දී පටක ඝණ වෙන එක ස්ථාවර තැනකට එනවා.

ඔය පටක ඝණ වෙන ප්‍රශ්නේ හින්දා සමහර විට පුරුෂ ලිංගය ඇද වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පුරුෂ ලිංගය ඇකිළිලා වගේ යන්නත් පුළුවන්.

පුරුෂ ලිංගය ඇද වෙන ප්‍රශ්නේ තියෙනවා නම් එයාට හරියට එකතු වෙන්න වත් බැරි වෙන්න පුළුවන්. ඇද වෙන එක හින්දා පුරුෂ ලිංගය කොට වෙන්නත් පුළුවන්. ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්න පුළුවන්. තව සමහරුන්ට වේදනාවක් වගේ එන්නත් පුළුවන්. පුරුෂ ලිංගය ප්‍රාණවත් වීගෙන එද්දී ලොකු වේදනාවක් එහෙමත් එනවා මේ ප්‍රශ්නේ තියෙන සමහර අයට. 

ඔය දේවල් හින්දා මේ ප්‍රශ්නේ තියෙන අයට මානසිකවත් මේක ගොඩක් බලපානවා.

සමහර පිරිමින්ගේ පුරුෂ ලිංගය ස්වාභාවිකවම කෙසෙල් ගෙඩියක හැඩයෙන් තමා තියෙන්නේ. දැන් මේක කියෙව්වට පස්සේ ඒ සෙට් එක බය වෙලා ඇති. හැමෝම බය වෙන්න ඕන නෑ.

▶ කලින් තිබ්බ නැති විදියේ ඇදයක් එක පාරම ආවා නම්, 

▶ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙද්දී වේදනාවක් එනවා නම්, 

▶ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙලා අවශ්‍ය තරම් වෙලා තියෙන්නේ නෑ නම්

ඒ වගේ ප්‍රශ්න ආවොත් වෛද්‍යවරයෙක් ගාවට යන්න.

තාම මේ පුරුෂ ලිංගය ඇද වෙන පෙ-රෝ-නීස් තත්වයට හේතුව මේකයි කියලා හරියටම කියන්න දෙයක් හොයාගෙන නැහැ. හැබැයි මේ රෝගයත් එක්ක ළඟ ළඟ යන තව ප්‍රශ්න තියෙනවා. ඒ මෙන්න මේ දේවල්.

👉 ජානමය බලපෑම - ඔයාගේ පවුලේ කෙනෙක්ට මේ ප්‍රශ්නේ තියෙනවා නම් ඔයාට හරි එහෙම නැත්නම් ඉස්සරහ පරම්පරාවේ කෙනෙක්ට මේ ප්‍රශ්නේ එන්න පුළුවන්.

👉 අධි රුධිර පීඩනය 

👉 දියවැඩියාව 

👉 කොලෙස්ටරෝල් වැඩි කම

👉 පිරිමි හෝමෝන (ටෙස්ටෙස්ටරෝන්) ඇඟේ මදි කම / hypogonadism කියලා කියන්නේ

ඔය ප්‍රශ්න ඔයාටත් තියෙනවා නම් ටිකක් සැළකිලිමත් වෙන්න.

කොහොම හරි මේ පුරුෂ ලිංගය ඇද වෙන ප්‍රශ්නේ කෙනෙක්ට තිබ්බත් ඒ කෙනා ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙක් ගාවට යන්නේ නම් හරිම අඩුවෙන්. ඒත් ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වෙනවා නම් මේ රෝගයට සාර්ථක ප්‍රතිකාර තියෙනවා.

▶ මේ රෝගේ තියෙන කෙනෙක් වෛද්‍යවරු ගාවට ගියාම ඉස්සෙල්ලම කරන්නේ කොච්චර ඇද වෙලාද කියලා මැනලා බලන එක. 

ultrasound ස්කෑන් එකක් කරලා පුරුෂ ලිංගය ඇතුලේ පටක ඝණ වෙලා තියෙන්නේ කොහෙද කියලා හරියටම හොයා ගන්න පුළුවන්.

▶ මේකට ප්‍රතිකාර කරද්දී මේ ප්‍රශ්නේ දැන් තියෙන්නේ මොන අදියරේද කියලා බලන්න වෙනවා. කලින්ම කිව්වනේ මාස ගානක්, අවුරුදු කිහිපයක් තිස්සේ පුරුෂ ලිංගයේ පටක ඝණ වෙන එක වෙන්න පුළුවන් කියලා. එතකොට කෙනෙක්ගේ කාලයක් තිස්සේ පටක ඝණ වෙන එක දිගටම වෙලා අවසානේ ස්ථාවර තැනකට එනවනේ. අන්න ඒ වෙලාවේදී ශල්‍යකර්මයක් කරලා පුරුෂ ලිංගය ඇද වෙලා තියෙන එක හදන්න පුළුවන්.

තව ක්‍රම තියෙනවා පුරුෂ ලිංගයේ පටක ඝණ වෙලා තියෙන තැනට එන්නත් කිරීමක් කරලා ඝණ වීම නැති කරන්න සහ පුරුෂ ලිංගය ඇතුළට පොඩි උපකරණයක් දාලා පුරුෂ ලිංගය ඇදලා කෙලින් කරන එක වගේ ප්‍රතිකාර. 

හැබැයි ඒ ප්‍රතිකාර නම් තාම ලංකාවේ නෑ.

▶ කෙනෙක් දැනට ඉන්නේ පටක ඝණ වෙමින් යන කාලේ නම් බොන බෙහෙත් තමා දෙන්නේ. ඒ වගේ අයට ශල්‍යකර්මයක් කරන්න බැහැ.

▶ ඒ වගේම පුරුෂ ලිංගය ඇද වෙලා හින්දා කෙනෙක්ට ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා නම් ඒකට ප්‍රතිකාර කරනවා. තව පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙද්දී කැක්කුමක් එනවා නම් ඒකටත් ඖෂධ හෝ කම්පන තරංග ප්‍රතිකාර ක්‍රම, පාවිච්චි කරනවා.

ඔය කිව්ව ප්‍රතිකාර හරියට කලාට පස්සේ ලිංගිකව එකතු වෙන්න උනත් පුළුවන් වෙනවා.

සෙක්ස් කරන වෙලාවක හදිසි අනතුරක් වුනොත් ඇරෙන්න පිරිමි කෙනෙක්ගේ කලින් ලිංගික චර්යාවක් හරි ස්වයං වින්දනය කරන විදිය හින්දා හරි පුරුෂ ලිංගය එක පැත්තක ඇද වෙන්නේ නැහැ. ඒ ගැන හිතලා වද වෙන්නත් එපා.

Previous Post Next Post