හදිසි උපත් පාලන ක්‍රම : Emergency Birth Control Methods (Part 2)

ලිංගික එක් වීමකින් පස්සේ වෙන හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න තියෙන හදිසි උපත් පාලන ක්‍රම වලට කියන්නේ Emergency contraception (EC) කියලා. හැම කෙනෙක්ටම වගේ ජිවිතේ එක පාරකදී හරි මේ දේ ඕනා වෙනවා. තාම විවාහ නොවී කෙනෙක් එක්ක සෙක්ස් කරනවා නම් අනිවාර්යෙන්ම මේ දේවල් ගැන දැන ගන්නම ඕනා. මොකද එහෙම නොවුනොත් අනවශ්‍ය ගැබ් ගැනීම් ඇති වෙලා ගබ්සා වලට පවා යන්න වෙලා ප්‍රශ්න ගොඩකට මූන දෙන්න වෙනවා.

මේ හදිසි උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න වෙන්නේ මේ වගේ අවස්ථා වල තමයි.

👉 වෙනත් උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැත්නම් 

👉 භාවිත කරන උපත් පාලන ක්‍රමය අසාර්ථක වුනා කියල සැකයක් තියෙනවානම්

👉 කොන්ඩම් එක සිදුරුවීම, ගැලවීයාම හෝ වැරදියට දැම්මොත්

👉 ඔසප් චක්‍රයේ දවස් වැරදියට ගණන් කරලා සෙක්ස් කලොත් 

👉 ගර්භාෂය ඇතුලේ තැන්පත් කරලා තියෙන ලූප් එක ගැලවිලා එලියට ආවොත්

👉 ලිංගික අතවරයකට හෝ දූෂණයට ලක් වුනාම

හැබැයි මේ හදිසි උපත් පාලන ක්‍රම පාවිච්චි කරන ඕනා මේ උඩ කියලා තියෙනවා වගේ හදිසි අවස්තාවල මිසක් නිතර නිතර නෙමේ. නිතරම හදිසි උපත් පාලන ක්‍රම පාවිච්චි කරන එක හොඳ නැහැ. මාසෙට දෙක තුන, මාසේ ගානේ වගේ මේ හදිසි උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න වෙනවා කියන්නේ ඔයාට අනිවාර්යෙන්ම දිගු කාලීන උපත් පාලන ක්‍රමයකට යන්න වෙනවා. ඒ ගැන කලින් පෝස්ට් එකක් දැම්මා. අවශ්‍ය අය මෙතනින් ඒක බලන්න.

👉 https://www.facebook.com/xeducationsl/posts/203844741498230

ගොඩක් දෙනෙක් නොදන්නවා උනාට ලිංගික හැසිරීමක් වුණායින් පස්සේ ගබ්සාවක් නොකර දවස් 5ක් වගේ යනකල්ම ගැබ් ගැනීමක් වලක්වා ගන්න 95% කට ආසන්න හෝ ඊටත් වැඩි අවස්තාවක් තියෙනවා. ඒත් වැදගත්ම දේ ඉක්මනින් ක්‍රියාත්මක වෙන එක. ඉක්මන් වෙන තරමට ප්‍රතිඵල සාර්ථක වෙන්න පුළුවන්.

.

.

මේකට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.

1. හදිසි උපත් පාලන පෙති emergency contraceptive pills (ECPs)

2. ගර්භාෂය තුළ තැන්පත් කරන කොපල් ලූප් intrauterine devices (IUDs)

කළලයක් ඇති වෙන්න කලින් තමා මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ හින්දා මේ උඩ කිව්ව ක්‍රම දෙකෙන් එකක් වත් නිසා ගබ්සාවක් වෙන්නේ නැහැ. කිසිම වෙලාවක් ගබ්සාව හදිසි උපත් පාලන ක්‍රමයක් විදියට සඳහන් කරන්නේ නැහැ. එත් මේ පෝස්ට් එක අවසානයේ ගබ්සාව ගැනත් කතා කරනවා. 

.

.

1️⃣ හදිසි උපත් පාලන පෙති emergency contraceptive pills (ECPs)

මේ පෙති ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනා දේ තමා ලිංගික සංසර්ගයක් වෙලා දින 3ක් ඇතුළත හැකි ඉක්මනින්ම ගන්න ඕනා. මේ පෙති ඉක්මනින් ගන්න තරමට ඒවාගේ කාර්යක්ෂමතාව වැඩියි. හැබැයි 100% ක ආරක්ෂාවක් තහවුරු වෙන්නේ නැහැ.

මේ පෙති ගත්තම වෙන්නේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිදහස් කිරීම වළක්වන එක. ඒ නිසා කිසිම වෙලාවක ගබ්සාවක් වෙන්නේ නැහැ.

දැනට ලංකාවේ ගන්න තියෙන හදිසි අවස්ථාවක ගන්න පුළුවන් උපත් පාලන පෙති වර්ග තමයි මේ. 

▶ Emcon 

▶ Madonna

▶ Pill 72

▶ Postinor 1

▶ Postinor-2

▶ Pregnon

මේ ඕනෑම පෙත්තක් වෛද්‍ය නිර්දේශයක් නැතුව ෆාමසියකින් ගිහින් ගන්න ලංකාවේ අවසර තියෙනවා. 

Pill 72, Postinor 1 සහ Postinor-2 කියන පෙති වලට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO Prequalification Programme), ඇමරිකාවේ Food and Drug Administration සහ යුරෝපයේ Medicines Agency යේ අනුමැතිය පවා ලැබිලා තියෙනවා.

▶ Pill 72 පෙත්ත අනාරක්ෂිත ලිංගික එක් වීමක් වෙලා පැය 72ක් ඇතුළත ගන්න ඕනා.

▶ Postinor 1 වල තියෙන්නේ තනි පෙත්තක්. ඒ පෙත්තත් පැය 72 ක් ඇතුළත ගන්න ඕනා.

▶ Postinor 2 වල තියෙන්නේ පෙති දෙකක්. ඒ පෙති දෙකෙන් එක පෙත්තක් හැකි ඉක්මනින් අරගෙන පැය 12ක් ඇතුළත දෙවෙනි පෙත්ත පැය 72ක් යන්න කලින් ගන්න තියෙන්නේ. කැමති නම් පෙති දෙකම එක පාර ගන්නත් පුළුවන්. 

මේ පෙති හැම එකකම වගේ ඇසුරුම ඇතුලේ පාවිච්චි කරන්න ඕනා විදිය සහ උපදෙස් සේරම තියෙනවා.

Postinor-2 පෙත්ත ට 1998 අප්‍රේල් වල තමයි ලංකාවේ අනුමැතිය ලැබුනේ. කොහොම හරි 2000 අවුරුද්ද වෙද්දී මේ පෙත්ත හඳුන්වා දුන්න අයගේ hotline අංකයට දවසකට කෝල් 75ක් වගේ එන්න අරන් තියෙනවා. ඒ වෙද්දී මාසෙකට Postinor-2 පැකට් 4,600ක් වගේ විකිණිලා තියෙනවා. 2001 වෙද්දී FPASL ආයතනය Postinor-2 පැකට් 120,109 ක් විකුනලා තිබ්බා. හරිම ඉක්මනින් ලංකාවේ ප්‍රචලිත වුන සහ ගොඩක් දෙනෙක් දන්න පෙත්තක් මේක.

.

.

මේ පෙති ගත්තම සමහර අතුරු ආබාධ එන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේවා තාවකාලිකයි.

▶ කෑම අරුචිය හා වමනය

▶ ඔසප් චක්‍රයේ අක්‍රමවත් ලෙස ලේ වහනය වීම

▶ පියයුරුවල වේදනාව (ස්පර්ශයේදී)

▶ හිසරදය

▶ ඔසප්වීම ඉක්මන්වීම හෝ ප්‍රමාද වීම

කොහොම හරි මම ආයේ කියනවා නිතර නිතර මේ පෙති ගන්න වෙනවා කියන්නේ ඔයාට වෙන උපත් පාලන ක්‍රමවේදයක් පාවිච්චි කරන්න වෙනවා. මේවා හදලා තියෙන්නේ නිතර නිතර පාවිච්චි කරන්න නෙමේ.

මොනම හේතුවක් හින්දා හරි දවස් 3ක් ඇතුළත උඩ කිව්ව මොන පෙත්තක් වත් ගන්න බැරි වුනා නම් කලබල වෙන්න එපා. ඒකටත් විසඳුමක් තියෙනවා.👇👇

.

.

2️⃣ ගර්භාෂය තුළ තැන්පත් කරන කොපල් ලූප් intrauterine devices (IUDs)

ඉතාම කාර්යක්ෂම ක්‍රමවේදය තමයි මේක. මේ ක්‍රමයේ තියෙන වාසිය තමයි ලිංගික එකතු වීමක් වෙලා දවස් 5ක් යනකල්ම ගැබ් ගැනීමක් වලක්වා ගන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රමයේ 99% ටත් වඩා වැඩි කාර්යක්ෂමතාවක් තියෙනවා.

කොපර් ලූප් එකෙන් වෙන්නේ රසායනික වෙනස්කම් කරලා ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකට හමු වෙන්න කලින් ඒවාගේ තියෙන සරු බව වළක්වන එක. ඒ නිසා ශරීරයේ හෝමෝන වෙනස් වීමක් වෙන්නේ නැහැ. මේ ක්‍රමයෙනුත් කිසිම වෙලාවක ගබ්සාවක් වෙන්නේ නැහැ. 

මේක ප්ලාස්ටික් වලින් හදලා තියෙන වටේට තඹ දඟරයක් ඔතලා තියෙන කුඩා 'T' හැඩති නැමෙන සුළු උපකරණයක්. මේකේ තියෙන කුඩා තන්තු දෙක ගැබ් ගෙල ඇතුළින් යෝනි මාර්ගය අතුලේ රැඳෙන විදියට ඇතුල් කරන්න ඕනා. 

ඒ නිසා ඒක පුහුණුවලත් වෛද්‍යවරයෙකු විසින් කරන්න ඕනා. ලූප් එක තැන්පත් කරන එක විනාඩි 5-10 න් විතර කරගෙන ගෙදර යන්නත් පුළුවන් විදියේ හරිම සරල දෙයක්. ඒ වගේම ලූප් එකක් දාලා තියෙනවා කියලා තමන්ටම අමතක වෙනවා. ඒ තරම් මේ ක්‍රමය පහසුයි.

මව්කිරි දෙන මව්වරුන්ට උනත් ආරක‍ෂා සහිතව පාවිච්චි කරන්න පුළුවන්. 

ලූප් එකක් තැන්පත් කිරීම හින්දා තැන්පත් කළ දවසේ යටිබඩ වේදනාව හෝ සුළු වශයෙන් රුධිරය වහනය වෙන්න පුළුවන්. ඒ වගේම කෙටි කාලීනව ඔපස්වීමේ සුළු දිග්ගැස්සීමක් සහ ඔසප් රුධිරය පහවීමේ සුළු වැඩිවීමක් වෙන්න පුළුවන්. ඔසප් වීමේ දී ඇතිවන බඩේ කැක්කුම වැඩි වෙන්නත් පුළුවන්. ඒත් මේ ලක්ෂණ තාවකාලිකයි. 

.

.

❌ ගබ්සාව

හදිසි දරු උපතක් වළක්වා ගන්න සමහරු අවසාන option එක විදියට තොර ගන්නේ ගබ්සාව. ලංකාවේ දැනට ගබ්සාව නීති විරෝධියි. ඒත් අක්‍රමවත් විදි වලට නීති විරෝධීව ගොඩක් තැන් වල මේ දේ සිද්ධ වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය හෙළි කරපු විදියට දවසකට ලංකාවේ ගබ්සා 658 ක් වෙනවා කියලා 2016 මැයි වල මාධ්‍ය වල වාර්තා කළා. මේ ඉලක්කම් දැන් වෙද්දී තවත් වැඩි වෙලා තියෙන්නේ.

දැනට ලංකාවේ ගබ්සාවක් කරන්න නීතියෙන් අවසර තියෙන්නේ දරු ප්‍රසුතිය නිසා මවගේ ජිවිතයට හානියක් වෙනවා නම් විතරයි. ඒකටත් වෛද්‍යවරු 3 දෙනෙක්ගේ අත්සන් ඇතුව එකඟ වෙන්න ඕනා.

ස්ත්‍රී දුෂණයක් වුණත් ඒත් කාන්තාවට ගබ්සාවක් කරන්න විදියක් නැහැ. මොකද ලංකාවේ තියෙන තද නීති වලට අනුව ස්ත්‍රී දුෂණයක් නිසා හැදෙන දරු කළලයක් විනාශ කරන්නත් වෛද්‍යවරු කිහිප දෙනෙක් සහ අධිකරණ වෛද්‍යවරයෙක් ගබ්සාවට අවසර දීලා අත්සන් කරන්න ඕනා. 

හැබැයි මේකට වෛද්‍යවරු අත්සන් කරන්නේ අධිකරණයකින් එතන ස්ත්‍රී දුෂණයක් වුණා කියලා තීන්දු කලොත් විතරයි. සාමාන්‍යයෙන් ස්ත්‍රී දුෂණයක් උනොත් නඩු අහලා ඉවර කරලා අවසන් තීරණය දෙන්න අවුරුදු ගාණක් යනවා. ඉතින් ගබ්සාවක් කරන්න නම් අඩුම තරමේ සති ගාණකින් වත් අධිකරණ තීරණයක් එන්න ඕනා. ඒ හින්දා ස්ත්‍රී දුෂණයක් උනත් ගබ්සාවක් කර ගන්න ඉඩකඩ හම්බෙන්න තියෙන අවස්තාව හරිම අඩුයි.

ලංකාවේ ගබ්සාව කරන එකටත් වඩා මෙතන ගැටළුව තියෙන්නේ ඒක කරන විදිය ගැන. ඒක කරන තැන් වල හරියට පිරිසිදුව ඒක වෙනවද සහ නිසි සුදුසුකම් ලත් අය ඒක කරනවද කියන එකයි ප්‍රශ්නේ. 

ඒ හින්දම මේ විදියේ ගබ්සාවක් හින්දා කාන්තාවන්ට ගොඩක් ගැටළු ඇති වෙන්න ඉඩ තියෙනවා. සමහර කාන්තාවන්ට වේදනා සමනය කර ගන්න දේවල් දෙන්නෙත් නැහැ. ඒ හින්දා ගබ්සාවක් කළා කියන්නේ ඒක ඒ ගැහැණු කෙනාට හරිම අප්‍රසන්න අත්දැකීමක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. 

ගබ්සාව ගැන මම ඊට වඩා කතා කරන්නේ නැහැ. මොකද ගබ්සාව ගැන සමාජයේ කතිකාවක් ඇති කරනවට වඩා අපි කරන්න ඕනා ගබ්සාවක් නොකර හදිසි උපතක් වලක්වා ගන්න පුළුවන් අනිත් ක්‍රම ගැන සමාජය දැනුවත් කරන එක. 

ලිංගික එකතු වීමක් වෙලා දවස් 5ක් යනකල්ම ගැබ් ගන්න එක නවත්ත ගන්න පුළුවන් කියලා දැනගෙන ඉන්නේ කීයෙන් කී දෙනාද? සමහර විට මේක කියවන ඔයා ඒක දැනගත්තෙන් මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ වෙන්න ඇති.

ඒත් මතක තියා ගැන මේ පෝස්ට් එකේ කිව්ව ක්‍රම එකකින් වත් 100% ආරක්ෂාවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා විවාහ නොවී සෙක්ස් කරනවා නම් සෙක්ස් කරන්න කලින් අනිවාර්යෙන් වෙන උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්නම ඕනා. අඩුම තරමේ කොන්ඩම් එකක් වත් දාන්න. 

මේ දැනුම අන් අය අතරත් share කරන්න🙏

Previous Post Next Post