ඔසප් වීම ගැන හැමදේම : Everything You Need to Know about Periods

📌 ඔසප් වීම කියන්නේ මොකද්ද?

සාමාන්‍යයෙන් වයස අවුරුදු 10-14 අතර කාලයේදී කාන්තා පිරිමි දෙපාර්ශ්වයම වැඩිවිය පැමිණීම සිදු වෙනව. කාන්තාවක් වැඩිවිය පැමිණීමත් සමගම ආර්තවය/ ඔසප් වීම ආරම්භ වෙනවා. 

ගර්භණී නොවන කාන්තාවකගේ දින 28ක කාලයක් තුල ඩිම්බ කෝෂ සහ ගර්භාෂයේ endometrium ව්‍යුහයේ සහ ක්‍රියාකාරීත්වයේ සිදු වන චක්‍රීය වෙනස් වීම් මාලාවක්  ඔසප් වීම කියල විද්‍යාත්මකව හඳුන්වනවා. 

වයස අවුරුදු 45-55 දී පමණ ආර්තවහරණය වන තුරුම මෙම ක්‍රියාවලිය දිගටම සිදුවෙනවා.

..........................

📌 ඔසප් වීම වේදනාකාරී ඇයි?

ගර්භාෂය ඇතුලේ දරු ගැබක් පිළිසිඳ ගැනීමට සුදුසු පරිසරයක් සෑදීම සඳහා ගර්භාෂ බිත්තිය ඇතුලින් තුනී සෛල ස්ථරයක් ස්ථාපිත වෙනවා. දින 28ක් සම්පුර්ණ වන විට මේ ගර්භාෂයේ ඇතුලේ තැන්පත් වුන ස්ථරය ගැලවී යනවා. 

එම ස්ථරය ගැලවීම සඳහා ගර්භාෂය විසින් ස්වයංව හැකිලීම සහ ලිහිල් වීම සිදු කරනවා. උදරයේ වේදනාව ඇති වන්නේ ඒ ගර්භාෂය හැකිළෙන සහ ලිහිල් වන නිසායි. එය සාමාන්‍යයි. 

..........................

📌 ඔසප් වීම ආශ්‍රිත සාමාන්‍ය තත්ත්ව 

පහත කරුණු වලට බිය වීමට අවශ්‍ය නැහැ.👇👇

✅ සාමාන්‍යයෙන් දින 28කට වරක් ඔසප් වීම සිදු වෙනවා. මෙය දින 21- 35 අතර කාලයක් තුල සිදු වීමද සාමාන්‍ය තත්වයක්. නමුත් වැදගත්කම කාරණය ඔසප් වන්නේ දින කීයකට වරක්ද යන්න දිගටම නොවෙනස්ව පැවතිය යුතුයි.

✅ සාමාන්‍යයෙන් ඔසප් වීම ආරම්භ වූ දින සිට දින 2-7 අතර කාලයක් ඔසප් වීම සිදු වීම සාමාන්‍ය දෙයක්. 

✅ ඔසප් වීමේදී ඇතිවන සමහර අක්‍රමිකතා ඔසප් වීම ආරම්භයේදී සහ අවසානයේදී සුලබව ඇති විය හැකියි. සාමාන්‍යයෙන් වැඩිවියට පත්වී මාස කීපයක් හෝ අවුරුදු 2ක් පමණ වන තුරු සහ ආර්තවහරණයට ආසන්නව (45- 55) මෙම අක්‍රමිකතාවන් හදුනා ගන්න පුලුවන්. මෙය සාමාන්‍ය තත්වයක්.

✅ ඔසප් වීම ආරම්භයට දින 2කට පෙර හෝ පසු ඇතිවන දරා ගැනීමට හැකි වේදනාවද සාමාන්‍ය තත්වයක්.

..........................

📌 ඔසප් වීම ආශ්‍රිත අසාමාන්‍ය තත්ත්ව 

පහත කරුණු සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍යයයි.👇👇

❌ දිගින් දිගටම ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, දරා ගැනීමට අපහසු අධික ඔසප් වේදනාව, අධික රුධිර වහනය සහ රුධිර කැටිති පිටවීම යම් රෝගයක පෙරනිමිත්තක් විය හැකියි. 

❌ ඔසප් චක්‍ර 2ක් අතර සිදුවන රුධිර වහනයද අසාමාන්‍ය තත්වයක් ලෙස සැලකිය හැකියි.

❌ ලිංගික සංසර්ගයකින් අනතුරුව යම් රැධිර වහනක් සිදු වේ නම් එයත් වඩාත් සැලකිලිමත් විය යුතු තත්වයක්.

❌ අධික ඔසප් වේදනාවද අසාමාන්‍යතාවයක් ලෙස හදුන්වනවා. මෙය ප්‍රාථමික සහ ද්විතීක ලෙස ආකාර දෙකකින් යුක්ත වෙනවා. ප්‍රාථමික අවස්ථාවේදී ඇති වන වේදනාව ඔසප් චක්‍රය ආරම්භයේ සිටම පවතින්නක්. 

ද්වීතික තත්වය යනු සාමාන්‍ය ලෙස ඔසප් වීම සිදු වී පසුව ඔසප් වේදනාව වර්ධනය වීමයි.

..........................

📌 ඔසප් වීමේ අසාමාන්‍යතා ඇති වීමට හේතු

මානසික ආතතිය, ශරීර බර අධිකව වෙනස් වීම, ස්ථුලතාවය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෝමෝන අසමතුලිතතා සහ වෙනත් රෝග තත්ත්ව වැනි හේතු ගණනාවක් බලපානවා.

..........................

📌 ඔසප් වීමේ ගැන සමාජයේ ඇති විවිධ මත

❌ ඔසප් චක්‍රයේ දින බලා සරු, නිසරු දවස් තෝරාගෙන ලිංගික සංසර්ගය සිදු කිරීම උපත්පාලන ක්‍රමයක් ලෙස සමහරු යොදා ගන්නවා. නමුත් මෙය 100% ක් ආරක්‍ෂිත නැහැ. 

එවැනි උපත් පාලන ක්‍රම අසාර්ථක වීම් සුලබ නොවුනත් එසේ ගැබ් ගැනීම් සිදු වූ අවස්ථා වාර්තා වී තිබෙනවා. එම නිසා ඔසප් දින වලදී ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ නම් උපත් පාලන ක්‍රමයක් යොදා ගැනීමට බව බලා ගන්න. 

❌ ඔසප් චක්‍ර 2ක් අතර සිදුවන රුධිර වහනය ඔසප් වීමක් ලෙස වරදවා වටහා නොගත යුතුයි. එවැනි අවස්තාවක් ඔසප් වීමක් ලෙස සලකා ලිංගිකව එක් වුවහොත් ගැබ් ගැනීමක් සිදු වීමට ඉතා ඉහල සම්භාවිතාවක් තිබෙනවා.

❌ ඔසප් දින වලදී ස්නානය කිරීම නුසුදුසුය යන්නේ කිසිදු විද්‍යාත්මක සත්‍යතාවයක් නැහැ. ඔසප් දින වලදී හොදින් ස්නානය කර පිරිසිදුව සිටීම සෞඛ්‍ය සම්පන්නව සිටීමට උදව් වෙනවා. ආසාදන වලට ගොදුරු වීමට ඇති ඉඩකඩ මෙයින් අවම වෙනවා.

..........................

✅ ඔසප් වීම ප්‍රමාද කර ගත හැකියි.

විශේෂ අවස්ථාවක්, තරඟ විභාග වැනි අවස්තාවක් ඔසප් වීමට නියමිත දින වල යෙදී ඇත්නම් ඔසප් වීම ප්‍රමාද කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබා ගත හැකියි. 

මේ සදහා යම් කාලයක් අවශ්‍ය නිසා ඔසප් වීම හෙට තිබියදී අද ගොස් ඖෂධ ලබා ගැනීමට නොහැකි බවත් මතක තබා ගන්න.

Previous Post Next Post