පළවෙනි දවස එපා කරවන වැජිනිස්මස් : Fear For Sex - Vaginismus

අද කතා කරන්නේ දෙයියනේ කියලා තමන්ගේ පළවෙනි ලිංගික අත්දැකීම ගන්න යන හනිමුන් කපල් වලට එන ප්‍රශ්නයක් ගැන. ඒ තමා තමන්ගේ පළවෙනි ලිංගික එකතු වීම කරන්න බලන් ඉන්න ගැහැණු ළමයින්ට තියෙන වැජිනිස්මස් (Vaginismus) කියන ලිංගික බෙලහීනතාවය ගැන. 

මේකෙදි වෙන්නේ සෙක්ස් කරන්න හදද්දිම ගැහැණු කෙනාගේ කලවා, යෝනි ප්‍රදේශය වටේ තියෙන මාංශපේශි තද වෙන එක. ඒ තැන් වල මාංශපේශි තද වෙන හින්දා සංසර්ගය හරියට කරන්න බැරි වෙනවා. සමහර වෙලාවට පිරිමි කෙනාට යෝනි විවරයක් ඈත් කරලා හොයා ගන්න වත් බැරි වෙන විදියට යෝනිය ආශ්‍රිත මාංශ පේශි තද වෙන වෙලාවල් තියෙනවා.

ඒත් මේක යෝනි මාර්ගය අවට මාංශපේශි වලින් ඉබේම වෙන දෙයක්. ඒකට ඔයාට කරන්න දෙයක් නෑ. ඔයාට සෙක්ස් කරන්න ඕන උනත් පල්ලෙහා දොර වැහෙනවා.

මේ ප්‍රශ්නේ තියෙන අය ගොඩක් මානසිකව අවුලෙන් ඉන්නේ. තමන්ගේ පිරිමි සහකරුවා එක්ක තියෙන සම්බන්ධතා උනත් බිඳිලා යන්න පුළුවන් මේ දේ හින්දා. ඒ වගේම ළමයි හදන්න උනත් හරිම අමාරු වෙන්න පුළුවන්. පිරිමි කෙනා උනත් confused unga bunga වෙනවා අනේ ඇයි මේ එයා මට කරන්න දෙන්නෙක් නැත්තේ කියලා.

මේක වෙන්න එක එක හේතු තියෙන්න පුළුවන්.

ලොකුම හේතුව තමා එකතු වෙද්දී එන වේදනාව. ඉතින් වේදනාව එන්නත් එක එක හේතු තියෙන්න පුළුවන්. 

යෝනි මාර්ගයේ එන එක එක ආසාදන, ඒ තැන් වල තියෙන හමේ එක එක ප්‍රශ්න, තුවාල, යෝනි මාර්ගයේ ඇතුලේ ඉන්ද්‍රිය වල එක එක ප්‍රශ්න හින්දත් මෙහෙම වෙන්න පුළුවන්. 

ඒ වගේ අයට මේ ප්‍රශ්නය පළවෙනි පාර සෙක්ස් කරද්දීම එන්නේ නැති වෙන්න පුළුවන්. මීට කලින් සෙක්ස් කරලා හොඳ අත්දැකීම් තිබ්බත් පස්සේ කාලෙක Vaginismus එන්න පුළුවන්. 

ඔය මොන හේතුවක් හින්දා හරි සෙක්ස් කරන්න හදද්දී යෝනියෙන් වේදනාවක් එනවා නම්, ඒ වේදනාවට තියෙන බය හින්දා ගැහැණු කෙනාගේ යෝනි ප්‍රදේශය වටේ තියෙන මාංශපේශි තද වෙන්න ගන්නවා.

හැබැයි Vaginismus එන්නේ සෙක්ස් කරන්න හදද්දී යෝනියේ එන වේදනාව හින්දම නෙමේ. 

මිත්‍යා මත හින්දත් ඔය වැඩේ වෙනවා. 

සමහරු හිතන් ඉන්නවා තමන්ගේ පළවෙනි ලිංගික අත්දැකීම රිදෙනවා කියලා. යාළුවා අරහෙම කිව්වා, එයාට රිදුනා, මෙයාට මෙහෙම උනා වගේ එක එක කතන්දර ගැහැණු ගැහැණු අතරේ කතා වෙනවනේ. ඉතින් ඔය එක එක්කෙනාට රිදුනා කියන සේරම කතා තමන්ගේ ඔලුවේ රෙජිස්ටර් උනාමත් මේ ප්‍රශ්නේ එන්න පුළුවන්.

තව සමහරු හිතන් ඉන්නවා මගේ කන්‍යා පටලය මීට කලින් කැඩිලා නෑ, ඒ හින්දා පළවෙනි පාර කරද්දී මං මෙච්චර කල් පරිස්සම් කරපු කන්‍යා පටලය කැඩෙන හින්දා රිදෙයි කියලා. ඒත් ඒක මිත්‍යාවක්. කන්‍යා පටලය කියන්නේ එහෙම කැඩෙන එකක් නෙමේ. ඇත්තම කිව්වොත් අපේ අය වන්දනා මාන කරලා පරිස්සම් කරන කන්‍යා පටලය කියන්නේ හරිම over-rated දෙයක්. 

තව සමාජේ තියෙන හිනායන මිත්‍යාවක් තමා කොහේ හරි දේවාලයක් අටෝගෙන ඉන්න කට්ටඩි මහත්තයෙක්ට කියලා කරවපු කොඩි විනයක් හින්දා සෙක්ස් කරන්න හදද්දිම ගැහැණු කෙනාගේ යෝනිය තද වෙනවා කියන එක. කොඩි විනේට නමකුත් තියෙනවා, කලවා බන්ධය කියලා කියන්නේ. 

ඉතින් ඔය වගේ රටේ නැති මනස්ගාත හිතේ තියන් ඉද්දිත් Vaginismus එන්න පුළුවන්.

සමහර ගැහැණු ළමයින්ට පොඩි කාලේ අපයෝජන වගේ දේවල් වෙලා තියෙනවා, එහෙම නැත්නම් මතක් කරන්න වත් අකමැති, අමිහිරි ලිංගික අත්දැකීම් ලැබිලා තියෙනවා වෙන්න පුළුවන්. කලින් වෙලා තියෙන ඒ වගේ දේවල් හින්දත් සෙක්ස් කරන්න කලින් මාංශ පේශි තද වෙලා සෙක්ස් කර ගන්න බැරි වෙන විදියට Vaginismus තත්වය එන්න පුළුවන්.

ඔය සේරටමත් පස්සේ බොහොම කලාතුරකින් සමහර ගැහැණු අයගේ උපතින්ම කලවා, යෝනිය අවට මාංශපේශි තදයි. ඉතින් ඒ වගේ අයටත් මේ ප්‍රශ්නේ එන්න පුළුවන්.

ඔය මොන හේතු හින්දා හරි මේ ප්‍රශ්නේ කෙනෙක්ට තියෙනවා නම් ඒ කෙනාට දැන ගන්න ඕනා මේකට ප්‍රතිකාර තියෙනවද කියලනේ. 

ඔව් ප්‍රතිකාර තියෙනවා. ඒ ප්‍රතිකාර වලින් පස්සේ වේදනාවක් නැතුව සෙක්ස් කරන්නත් පුළුවන් වෙනවා.

හැබැයි සිද්ධාලේප වගේ ඕන දේකට, ඕන කෙනෙක්ට හරියන්න කියලා කියන්න ප්‍රතිකාර ක්‍රමයක් කියන්න විදියක් නෑ. මොකද එක එක්කෙනාගේ හේතුව අනුව දෙන්න ඕනා ප්‍රතිකාර ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්.

මුලින්ම කිව්වනේ Vaginismus එන්නේ සෙක්ස් කරද්දී රිදෙයි කියලා එන බය හින්දා, යෝනිය අවට මාංශ පේශි තද වෙද්දී. එතකොට මේක නැති කර ගන්න නම් කරන්න ඕන දේ හරිම සරලයි. මොකද්ද? 

සෙක්ස් කරද්දී රිදෙනවා කියලා හිතේ තියෙන බය නැති කර ගන්න.

හරියට බැලුවොත් ඉතින් යෝනි මාර්ගය කියන්නේ දරුවෙක් ඇඟ ඇතුලෙන් එලියට එන්න ඕන තරමට උනත් ලොකු වෙන්න පුළුවන් දෙයක්. ඉතින් එහෙම එකකට අඟල් ගානක් ලොකු එකක් ඇතුල් කර ගන්න බැරි වෙන්න කිසිම හේතුවක් නෑ.  

හැබැයි ගොඩක් ගැහැණු ළමයි ඇත්තටම දැනෙන වේදනාවටත් වඩා වැඩියෙන් බය වෙලා තමා ඉන්නේ. ඉස්සෙල්ලම relax වෙන්න කලබල වෙන්න එපා.

මුලින්ම මහ ලොකු ප්‍රතිකාර මේකට ඕන නෑ. මුලදී කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. එතැනදී වෛද්‍යවරයා වෙන්න ඕනා තමන්ගේ සහකාරයා. එයාට කරන්න role එකක් තියෙනවා. ගැහැණු කෙනාගේ ලිංගික උත්තේජනය වැඩි කරලා, සෙක්ස් කරන්න කලින් ඔයා එක්ක වැඩි වෙලාවක් ඉඳලා, කතා බහ කරලා ලේසියෙන්ම මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්.

හැබැයි එහෙම කරලත් වැඩේ හරි යන පාටක් නැත්නම් වෛද්‍ය වරයෙක් ගාවට යන්න වෙනවා. ඖෂධ වර්ග, භෞත චිකිත්සක ක්‍රම (Physiotherapy) , සම්බාහන ක්‍රම, ව්‍යායාම වගේ ප්‍රතිකාර තියෙනවා. මේකට දෙන එක ප්‍රතිකාර ක්‍රමයක් කියලා දෙයක් නෑ. ඔය වගේ ප්‍රතිකාර දෙක තුනක කලවමක් තමා ප්‍රතිකාර විදියට දෙන්නේ. ඒ විදියට ප්‍රතිකාර කරන එක සාර්ථකයි කියලා තමා දැනට හොයාගෙන තියෙන්නේ.

මේක හරිම සංවේදී ප්‍රශ්නයක් හින්දා ගැහැණු අය වෛද්‍ය ප්‍රතිකාර ගන්න එන්නෙත්, පිරිමි අය තමන්ගේ සහකාරියට වෛද්‍ය සහයක් ගන්න ඕනා කියලා තේරුම් ගන්නෙත් හරිම අඩුවෙන්. ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ තියෙන අයට හිතෙන්නේ "අනේ ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ, අනිත් අය හැමෝම කිසි ප්‍රශ්නයක් නැතුව හොඳට සෙක්ස් කරනවනේ" කියලා. අනේ එහෙම දෙයක් නම් නෑ. වෛද්‍ය ප්‍රතිකාර ගන්න එනවා අඩු උනාට ගැහැණු අයට මේ ප්‍රශ්නේ තියෙනවා.

මේ ප්‍රශ්නේ එක්ක අවුරුදු ගානක් දුක් විඳපු අය පවා වෛද්‍යවරු ගාවට එනවා. ඒ එද්දී එයාලා එයාලගේ ජිවිත වල වටින ගොඩක් දේවල් නැති කරගෙන ඉවරයි. ඉතින් මම කියන්නේ ඔය වගේ ප්‍රශ්නත් එක්ක තමන්ගේ පවුල් අවුල් වෙන තැන වෙනකල් ඉන්න එපා. තමන්ගේ ඇඟේ තියෙන ප්‍රශ්නෙකට ප්‍රතිකාර ගන්න යන්න බය වෙන්න වත්, ලැජ්ජා වෙන්න වත් එපා.

Previous Post Next Post