ලිංගික ශක්තිය වැඩි කරන කෑම : Foods to Boost Your Sexual Health

 

මුලින්ම කියන්න ඕනා ලිංගික ශක්තිය වැඩි කරන කෑම කියලා විශේෂ කෑම වත් රහස් කෑම වට්ටෝරු වත් නෑ. අපේ සාමාන්‍ය සෞඛ්‍ය හොඳින් තියා ගන්න ගන්න කෑම වලින්ම තමයි ලිංගික සෞඛ්‍ය හොඳින් තියා ගන්න පුළුවන් වෙන්නේ. තව කියනවනම් දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘදයාබාධ වගේ ලෙඩ වලින් ඈත් වෙන්න කන කෑමම තමයි ලිංගික සෞඛ්‍ය වැඩි කර ගන්නත් හොඳ කෑම වෙන්නේ.

ලිංගික ශක්තිය වැඩි කරන්න උදව් වෙන කෑම වර්ග දෙකක් ගැන අපි දැන් බලමු.

📌 පළවෙනි දේ තමයි ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය වැඩි කර ගන්න කෑම වර්ග.

මේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය තමයි ගැහැණු, පිරිමි දෙගොල්ලන්ගේම සෙක්ස් හෝමෝන් එක. එතකොට ටෙස්ටෙස්ටරෝන් හෝමෝන වැඩි වෙන කෑම කන එකෙන් ලිංගික ශක්තිය වැඩි කරන්න පුලුවන්.

ටෙස්ටෙස්ටරෝන් වැඩි කරන්න නම් ගොඩක් උදව් වෙන්නේ මස්, මාළු, කිරි, බිත්තර වගේ ප්‍රෝටීන් තියෙන කෑම. කෑම වේලෙන් 1/3 ක් වත් ප්‍රෝටීන් තියෙන කෑම තියෙනවා නම් හොඳයි.

ප්‍රෝටීන් වගේම මේකට තවත් උදව් වෙන දෙයක් තමයි සින්ක් කියන්නේ. සින්ක් වැඩියෙන් තියෙන කෑම තමයි බෙල්ලෝ, ඉස්සෝ, මාළු වගේ මුහුදු ආහාර. මස් වර්ග වලත් මේ සින්ක් වැඩියෙන් තියෙනවා. රටකජු වගේ ඇට වර්ග වලත් සින්ක් වැඩියෙන් තියෙනවා.

ඒ වගේම ටෙස්ටෙස්ටරෝන් වැඩි කරන්න උදව් වෙන තව විශේෂම දෙයක් තමයි අශ්වගන්ධ කියන්නේ. අශ්වගන්ධ ශාකයේ කොටස් වලින් ඇඟේ ටෙස්ටෙස්ටරෝන් වැඩි කරන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. අශ්වගන්ධ පවුඩර් වගේ එක එක නිෂ්පාදන ලංකාවෙත් නම් ටිකක් වැඩි ගානට ගන්න තියෙනවා, ඒ උනාට ඒවගේ විශ්වාසනීයත්වය ගැන නම් කියන්න දන්නේ නෑ.

📌 මේ පොස්ට් එකේ කතා කරන දෙවෙනි දේ තමයි ලිංගික ප්‍රදේශයට යවන රුධිරය ප්‍රමාණය වැඩි කරන කෑම වර්ග.

පිරිමි කෙනෙක්ගේ පුරුෂ ලිංගය ප්‍රාණවත් කරන්න වගේම ගැහැණු අයටත් යෝනිය හොඳට තෙත් වෙලා සෙක්ස් කරන එක හොඳට කර ගන්න ලිංගික ප්‍රදේශයට යවන රුධිර සැපයුම වැඩි කරන එක උදව් වෙනවා.

පිරිමි කෙනෙක් නම් පුරුෂ ලිංගය හොඳට ප්‍රාණවත් වෙලා තියෙන්නේ පුරුෂ ලිංගයට ඇතුළට රුධිරය පිරෙන හින්දා. මෙතනදී වෙන්නේ එතන තියෙන රුධිර නාළ වලට රුධිරය පොම්ප වෙලා ඇවිත් රුධ්ර නාල විශාල වෙන එක. ඔන්න ඔය රුධිර නාල ප්‍රසාරණය වෙන්න නයිට්‍රික් ඔක්සයිඩ් වායුව තමයි උදව් වෙන්නේ.

ඔය කලින් කිව්ව ඇඟේ ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය වැඩි කරන එක සහ ලිංගික ප්‍රදේශයට යවන රුධිරය ප්‍රමාණය වැඩි කරන්න කියන දෙකටම උදව් වෙන දෙයක් තමා නයිට්‍රික් ඔක්සයිඩ් වැඩියෙන් තියෙන කෑම කියන්නේ. / High Nitric Oxide Foods

නයිට්‍රික් ඔක්සයිඩ් වායුව විමෝචනය කරන්න පුළුවන් ප්‍රධානම සංඝටක 2ක් තියෙනවා. ඒ තමා agginine සහ citrulline කියන දෙක.

පළතුරු වල එහෙම ඔය සංඝටක තියෙනවා. පැනිකොමඩු වල ඔය දෙකම තියෙනවා කියලා හොයාගෙන තියෙනවා.

බිට්රුට් සහ බිත්තර වල agginine තියෙනවා.

ඒ වගේම පිරිමින්ගේ ලිංගික අප්‍රාණිකත්වය නැති කර ගන්න ෆෝලික් ඇසිඩ් ප්‍රතිකාරයක් විදියට ගන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ගර්භණී අම්මලාට මුල් මාස 3 දී එහෙමත් මේ ෆෝලික් ඇසිඩ් අනිවාර්යෙන් දෙනවා. ෆෝලික් ඇසිඩ් වලින් නයිට්‍රික් ඔක්සයිඩ් වායුව හදලා ඒකෙන් තමා රුධිර නාල ප්‍රසාරණය කරන වැඩේ පටන් ගන්නේ.

ඒ හින්දා ලිංගික අප්‍රාණිකත්වය නැති කර ගන්න ෆෝලික් ඇසිඩ් ගොඩක් වැදගත් වෙනවා. හැබැයි එහෙමයි කියලා හිතු මනාපෙට ෆෝලික් ඇසිඩ් ගන්න බැහැ. ඔයා ගන්න අනිත් ඖෂධත් එක්ක අන්තර් ක්‍රියා කරලා එක එක ප්‍රශ්න එන්න පුළුවන්. ඒ හින්දා තමන්ට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් වෛද්‍ය නිර්දේශයක් මතම විතරක් මේ වගේ දේවල් ගන්න ඕනා.

ඒ හින්දා ෆෝලික් ඇසිඩ් තියෙන ස්වභාවික කෑම කන්න. ධාන්‍ය වර්ග, බිත්තර, කෙසෙල්, පීකුදු වගේ කෑම වල පළා වර්ග සහ කොළ පාට එළවලු වලත් ෆෝලික් ඇසිඩ් තියෙනවා.

ඒ වගේම රුධිර සැපයුම වැඩිකරන්න උදව් වෙනවා ප්‍රතිඔක්සිකාරක/ antioxidant ගුණය තියෙන කෑම වර්ග. 

ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩියෙන් තියෙන කෑම විදියට විටමින් C තියෙන කෑම ඒ කිව්වේ දොඩම් වගේ පැඟිරි කුලයේ ආහාර හොඳයි.

ඒ වගේම විටමින් E වැඩියෙන් තියන කෑම, ඒ කියන්නේ රටකජු වගේ ඇට වර්ග, අලිගැටපේර වගේ කෑම ගන්න පුළුවන්.

ඔය කිව්ව කෑම වර්ග ආහාර වේලට එකතු කර ගන්නවා නම් ලිංගික ප්‍රදේශයට යවන රුධිරය ප්‍රමාණය වැඩි කරලා ලිංගික ශක්තිය වැඩි කර ගන්න පුළුවන්.

ලංකාවේ ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා වැල්පෙනෙල, දුරියන් වගේ කෑම වලින් ලිංගික ශක්තිය වැඩි කරනවා කියලා. ඒත් ඒ කෑම වලින් ලිංගික ශක්තිය වැඩි වෙනවද කියලා හරියටම කියන්න විදියක් නෑ. මොකද ඒවා ගැන තාම හරියට විද්‍යාත්මක පරීක්ෂණ වෙලා නැති හින්දා.

එක එක රටවල් වල ලේසියෙන් හොයා ගන්න පුළුවන් මේ වගේ කෑම ගොඩක් තියෙනවා. ඉන්ටෙනෙට් එකේ search කලොත් තව ඒ වගේ කෑම ඕන තරම් හොයා ගන්න පුළුවන්. මේකේ තියෙන කෑම ටික ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් අපි එදිනෙදා කන කෑම වර්ගම තමයි. ඒ හින්දයි මුලින්ම කිව්වේ ලිංගික ශක්තිය වැඩි කරන්න කියලා විශේෂ කෑම නෑ කියලා.

කෘතීම ආහාර පුළුවන් තරම් අඩු කරන්න ස්වභාවික ආහාරම පුළුවන් හැම වෙලාවකම කන්න බලන්න. ස්වභාවික කෑම වලින් ඒ පෝෂණය ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අතිරේක පෝෂක/ සප්ලිමන්ට් වලින් ඒ පෝෂණය ගන්නත් පුළුවන්.

Previous Post Next Post