HIV පරීක්ෂාවක් කර ගන්නේ කොහොමද? : How to Get Tested for a HIV Test?

HIV කියන්නේ වෛරසයකින් බෝ වෙන රෝගයක්.

මේක බෝ වෙන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා. 

👉 අනාරක්ෂිත ලිංගික සංසර්ග වලින් HIV බෝ වෙන්න පුළුවන්. ලංකාවේ 90% කටම වඩා HIV හැදෙන්නේ මේ හින්දා.

👉 HIV ආසාදනය වෙලා ඉන්න මවකගෙන් තමන්ගේ කුසේ ඉන්න දරුවාට HIV  බෝ වෙන්න පුළුවන්. 

👉 HIV ආසාදනය වෙලා ඉන්න කෙනෙක්ගේ රුධිරය තවත් කෙනෙක්ගේ ශරීරයට ඇතුල් වුනොත් HIV හැදෙන්න පුළුවන්.

▶ HIV බලපාන්නේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියට. වෛරස් එක ශරීරයට ඇතුල් වෙලා ටික ටික ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරනවා. මේ විදියට කාලයක් ගියාම ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වෙලා ගිහින් හොඳටම විනාශ වෙලා යනවා. ඒ තැනට ආවොත් එහෙම ශරීරයේ රෝග වලට සටන් කරන්න හැකියාව නැති හින්දා වෙන ඕනම රෝගයක් හරිම ලේසියෙන් හැදෙන්න පුළුවන්.

මෙන්න මේ තැනට ආවම තමා ඒක HIV AIDS කියලා කියන්නේ.

▶ එතොක්ට මේ HIV වෛරසයට ශරීරයට ඇතුල් වෙලා මේක HIV AIDS කියන තැනට එන්න අවුරුදු 2 ඉඳන් අවුරුදු 7ක් වගේ වෙනකම් කාලයක් ගත වෙන්න පුළුවන්.

හැබැයි HIV AIDS කියන තැනට එනකම්ම මේ කාලයේ එයා සාමන්‍ය කෙනෙක් වගේ තමා පිටට පෙනෙන්නේ. කිසිම රෝග ලක්ෂණයක් පෙන්නේ නැහැ.

ඒ හින්දා තමන්ට HIV තියෙනවද කියලා දැන ගන්න පුළුවන් එකම ක්‍රමය රුධිර පරීක්ෂණයක් කර ගන්න එක.

HIV වලට ඉස්සර වගේ නෙමේ දැන් ප්‍රතිකාර තියෙනවා. HIV හැදුන කෙනෙක්ටත් සාමන්‍ය කෙනෙක් වගේ දැන් ජිවත් වෙන්න පුළුවන්.✅

මේ වෛරසය තමන්ගේ ඇඟේ තියෙනවා කියලා ඉක්මනින් දැන ගන්න තරමට ප්‍රතිකාර කරලා මේක පාලනය කරන්න පුළුවන්.

ඒ වගේම ඉක්මනින් හඳුනා ගන්න තරමට මේක තව කෙනෙක්ට බෝ වෙන එක නවත්ත ගන්නත් පුළුවන්.

ඒ හින්දා රෝග ලක්ෂණ මතු වෙනකම් ඉන්නේ නැතුව තමන් මොකක් හරි අනාරක්ෂිත ලිංගික ඇසුරක යෙදුනා නම් පරීක්ෂාවක් කර ගන්න එක හරිම වැදගත්.

📌 කොහොමද HIV ටෙස්ට් එක කරන්නේ?

HIV ටෙස්ට් එක කරන්න යද්දී අනිවාර්යෙන්ම ඔයාගේ අවසරය, කැමැත්ත දෙන්න ඕනා. තමන්ගේ කැමැත්තක් නැතුව කාටවත් මේ ටෙස්ට් එක කරන්න බැහැ. HIV ටෙස්ට් එක කරන්න ඕන වෙන්නේ ඇඟිල්ලෙන් ගන්න එක ලේ බිඳුවකින් විතරයි.

ඒකෙන් පස්සේ විනාඩි 20 කින් වගේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන්.

📌 කොහෙන්ද HIV ටෙස්ට් එකක් කර ගන්න පුළුවන්?

රජයේ ලිංගාෂිත බෝ වන රෝග සායනකට ගියොත් මේ පරීක්ෂණය නොමිලේම කර ගන්න පුළුවන්. 

ඒ තැන් ගැන කලින් පෝස්ට් එකක් දැම්මා. ඕන කෙනෙක් ඉන්නවා නම් ඒක මෙතනින් බලන්න. 

👉 https://www.facebook.com/xeducationsl/posts/177121004170604

ඒ වගේම පෞද්ගලික රෝගල් වලිනුත් මේ ටෙස්ට් එක කර ගන්න පුළුවන්.

තමන්ගේ රහස්‍ය භාවය ගැන කිසිම බය වෙන්න දෙයක් නැහැ. සමහරු බයෙන් ඉන්නවා පරීක්ෂණයේ ප්‍රතිඵල තමන්ගේ ගෙදර අනිත් අයට හරි තමන් විවාහ වෙලා ඉන්න කෙනාට හරි යවනවා කියලා. ඇත්තටම ඒ වගේ දේවල් වෙන්නේ නැහැ.

📌 දවස් කියකින්ද HIV ටෙස්ට් එක කර ගන්න ඕනා?

සමහර විට කෙනෙක්ගේ ඇඟට HIV වෛරස් එක ඇතුල් වෙලා මාස 3ක් වගේ යනකම් ඒක පරීක්ෂණයකින් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා තමන් අනාරක්ෂිත ලිංගික එකතු වීමක යෙදිලා ටෙස්ට් එකක් කලාට පස්සේ මාස 3 කින් ආයේ පාරක් HIV ටෙස්ට් එකක් කර ගන්න. 

මේ දැනුම අනිත් අය අතරේත් share කරන්න🙏

Previous Post Next Post