ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය තමා පිරිමි කෙනෙක්ගේ ඇඟේ මාංශපේශි වර්ධනය, අස්ථි හැදිලා තියෙන විදිය, ලිංගික ආශාව, ශුක්‍රාණු නිපදවන එක වගේ පිරිමිකම තීරණය වෙන දේවල් පාලනය කරන්න ගොඩක්ම බලපාන හෝමෝනය. ඒ හින්දා මේ ටෙස්ටෙස්ටරෝන් වලට පිරිමි හෝමෝන කියලා කියන්න පුළුවන්.
හැබැයි මේ පිරිමි හෝමෝන හැමදාම එක වගේම තියෙන්නේ නෑ. පිරිමි හෝමෝන එක එක හේතු හින්දා අඩු වෙනවා. එහෙම ටෙස්ටෙස්ටරෝන් අඩු උනාම ඉතින් පිරිමි අයට තමන්ගේ ලිංගික ජිවිතේ පවා එක එක ප්‍රශ්න එන්න ගන්නවා. ඉස්සෙල්ලම බලමු එහෙම පිරිමි හෝමෝන අඩු වෙන්නේ මොන මොන හේතු හින්දද කියලා.
සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්ගේ වයස 30 වගේ පැන්නට පස්සේ පිරිමි හෝමෝන ටිකක් අඩු වෙන්න ගන්නවා.
එතකොට තමයි ඔය යාලු උන මුල් කාලේ නිකන් සිංහයා වගේ හිටිය කොල්ලෝ බැඳලා අවුරුදු කීපයකින් වයිෆ්ටත් බය බොහොම තැන්පත් පූස් පැටියෙක් වගේ වෙන්නේ. යාළු වුන මුල් කාලේ පුටින් න්‍යෂ්ටික බෝම්බයක් ගැහුවත් කෙල්ලව බේරගන්න ඒකටත් පපුව දෙන සීන් එකේ තමා කොල්ලා ඉන්නේ.
කොල්ලා තමා කෙල්ලව ආරක්ෂා කරන්නේ. කෙල්ලත්, කොල්ලට තුරුල් වෙලාම තමා බස් එකේ ගියත් යන්නේ.
ඔහොම ඉඳපු දෙන්නා බැඳලා ටික දවසක් එහෙම ගියාම ඔන්න දැන් හස්බන්ඩ්ගේ පිරිමි හෝමෝන ටික ටික අඩු වෙලා. එතකොට දැන් අර කලින් තිබ්බ සිංහ පාට් ටික ටික බලු වෙලා.
ඔය එක්කම වයිෆ්ගේ ඇඟේත් තව වෙනස්කමක් වෙනවා, ආදරේ කරන දෙන්නෙක් කාලයක් එකට ඉද්දි ගැහැණු කෙනාගෙත් ඇඟේත් තියෙන ටෙස්ටෙස්ටරෝන් හෝමෝනත් ටිකක් වැඩි වෙන්න ගන්නවා. පිරිමින්ගේ තරම් වැඩි වෙන්නේ නෑ. ඒත් වැඩි වෙනවා.
දැන් මාර ප්‍රශ්නේ. ඇයි දෙය්යනේ හස්බන්ඩ්ගේ පිරිමි හෝමෝන අඩු වෙලා.. වයිෆ්ගේ පිරිමි හෝමෝන වැඩි වෙලා..
ඔන්න දැන් කලින් හිටිය සිංහයා, පූස් පැටියා වගේ වෙන කාලේ. වයිෆ් පියාඹණ පීරිසි එහෙම "රුං" ගාලා උඩින් පා කරලා එවන කාලේ.
ඒ හැටි ඉතින්. ඒව දැනගෙන ජිවත් වෙන්න. එහෙම ඉන්න හස්බන්ඩ්ලට විහිලු කරන්න එපා.
වයසත් එක්ක පිරිමි හෝමෝන අඩු වෙනවා වගේම තව දියවැඩියාව තියෙනවා නම් පිරිමි හෝමෝන අඩු වෙන්න පුළුවන්. සමහර ගන්න බෙහෙත් වර්ග හින්දත් පිරිමි හෝමෝන අඩු වෙන්න පුළුවන්. තව වැඩියෙන්ම තියෙන ප්‍රශ්නයක් තමා තරබාරු කම. ඇඟේ තියෙන මේදය ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම එයාගේ ඇඟේ තියෙන පිරිමි හෝමෝන ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා.
ඕක නෙමේ කැතම වැඩේ. ඔය අලි බඩවල් තියෙන උන්දැලාගේ බඩේ තියෙන මේදය හින්දා එයාලගේ පිරිමි හෝමෝන ගැහැණු හෝමෝන (ඊස්ට්‍රජන්) බවට හැරෙනවා. ඒක මේ මම කියන එකක් නෙමේ. විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන දෙයක්.
පිරිමි හෝමෝන අඩු අයගේ සෙක්ස් කරන්න තියෙන ආසාව හරිම අඩුයි. ලිංගික අප්‍රාණිකත්වය වගේ ප්‍රශ්නත් ඒ එක්ක තියෙනවා. එයාලා සාමාන්‍යයෙන් හෙන කම්මැලියි, වැඩක් කරන්න කිසි උනන්දුවක් නෑ. ඔහේ ඉන්නවා.
පිරිමි හෝමෝන අඩු වෙන හින්දා ඔය උඩ කිව්ව ප්‍රශ්න එනවා උනාට ඒ ප්‍රශ්න තිබ්බා කියලා ඒ කෙනාගේ පිරිමි හෝමෝන අඩුයිමයි කියලා හරියටම කියන්න බෑ. ඒ කිව්වේ පිරිමි හෝමෝන අඩු වෙලාද කියලා පිටින් බලලා හරියටම කියන්න විදියක් නෑ. ඒක හරියටම දැන ගන්න නම් රුධිර පරීක්ෂාවක් කරලා ටෙස්ටෙස්ටරෝන් ලෙවල් එක බලන්න ඕනා.
එතකොට දැන් කාටහරි හිතෙන්න පුළුවන් ඇඟේ විටමින් අඩු කෙනෙක්ට විටමින් පෙති දීලා එයාගේ විටමින් ඌණතාව නැති කර ගන්නවා වගේ පිරිමි හෝමෝන අඩුයි නම් එයාට පිරිමි හෝමෝන ටිකක් දුන්නා නම් ප්‍රශ්නේ ඉවරයිනේ කියලා.
නෑ.. ඒකෙ ප්‍රශ්නයක් තියෙනවා.
ගොඩක් ජිම් වල එහෙම මේ වැරැද්ද එළිපිට ලොකුවට වෙනවා. ජිම් එකේ අයියා කිව්ව පළියට ඔය එක එක පෙති ජාති ගන්නවා, ඉන්ජෙක්ෂන් ගහ ගන්නවා. හැබැයි ඔය හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එක එක අයියලා කරන වැඩ කරන්න ගිහින් අන්තිමේ හෙන ප්‍රශ්න ගොඩක් තමා එන්නේ.
ඔය විදියට ජිම් වල ගහන ඉන්ජෙක්ෂන් එහෙම අයත් වෙන්නේ ඇනබොලික් ස්ටෙරොයිඩ් කියන කාණ්ඩයට. ඒවා තහනම් උත්තේජක. ඒවගෙන් ටෙස්ටෙස්ටරෝන් වැඩි වෙනවා කියලා තමා ජිම් එකේ අයියා කියන්නේ. ඔව් ඒවා ගත්තම හරි ඉක්මනට ඇඟ නම් හැදෙනවා තමා. ඒත් ඕවගේ අතුරු ප්‍රතිඵල මොනාද කියලා හරියට ඔය කවුරුත් දන්නේ නෑ. ඔය එක එක විදි වලින් පිරිමි හෝමෝන පිටින් ඇඟට දුන්නම, ඇඟ හිතන්න ගන්නවා "ආ.. මම දැන් පිරිමි හෝමෝන හදන්න ඕනේ නෑනේ. පිරිමි හෝමෝන නිකන් හම්බෙනවනේ.. මම මොකටද නිකන් මහන්සි වෙන්නේ" කියලා. ඉතින් ඔය විදියේ ඇඟ පිරිමි හෝමෝන හදන එක නැවත්තුවොත් එහෙම පහු කාලෙක ලිංගික බෙලහීනතා කෙලින්ම එන්න පුළුවන්. වෘෂණ කෝෂ ඇකිලෙනවා, ශුක්‍රාණු හැදෙන එක අඩු වෙනවා. එහෙම උනොත් ළමයෙක් හදල දෙන්නත් ජිම් එකේ අයියට තමා එන්න කියන්න වෙන්නේ. ලිංගික සෞඛ්‍යට විතරක් නෙමේ ඇඟේ තව තව function ගොඩකට ඕවා බලපානවා.
ඒ හින්දා ඔය ජිම් වල අයියලා දෙන දෙන එක සප්ලිමන්ට් පාවිච්චි කරන්න කලින් ඕවගේ තියෙන්නේ මොනාද කියලා පොඩ්ඩක් හොයලා බලලා ඉන්න.
හරි දැන් තියෙන ප්‍රශ්නේ තමා පිරිමිකම වැඩි කර ගන්නේ කොහොමද කියන එක.
ඒකට මෙන්න මේ දේවල් කරන්න.
📌 ව්‍යායාම කරන්න
පිරිමි හෝමෝන වැඩි කර ගන්න දැනට ලෝකේ හොයාගෙන තියන හොඳම ක්‍රමය තමා මේක. ව්‍යායාම කරනවා කියන්නේ හැන්දෑවට කොහේ හරි එළියට බැහැලා හෙඩ්සෙට් එකක් ගහන් දුවන්න යන එක වත් බල්ලෝ ඇවිද්දවන්න යන එක වත් නෙමේ. පිරිමි හෝමෝන වැඩි කර ගන්න නම් බරක් උස්සලා කරන ව්‍යායාම තමා වැඩියෙන් උදව් වෙන්නේ. ඒ කියන්නේ බරක් උස්සන්නම ඕනා නෑ. තමන්ගේ ඇඟේ බරෙන් කරන ව්‍යායාමත් කරන්න පුලුවන්. සතියට දවස් 3-4 ක් වත් බාර් එකක එල්ලිලා Pull-up ටිකක් ගහන්න. බිම දිගා වෙලා push- up ටිකක් ගහන්න.
ව්‍යායාම කරලා ඇඟේ තියෙන මේදය අඩු කර ගන්න පුළුවන්. එතකොට අර පෝස්ට් එකේ මුලින්ම කිව්ව කැතම වැඩේ වෙන එක නවත්ත ගන්න පුළුවන්. කැතම වැඩේ කිව්වේ මේදය ඇඟේ තියෙද්දී පිරිමි හෝමෝන ගැහැණු හෝමෝන බවට මාරු වෙන එක.
📌ආහාර රටාව වෙනස් කරන්න
වැඩියෙන් කෑම ගත්තා කියලා පිරිමි හෝමෝන වැඩි කර ගන්න බෑ. ඇඟට ඕන කරන තරමට වඩා වැඩියෙන් එන කැලරි සේරම මේදය විදියට ඇඟේ තැන් තැන් වල තැන්පත් වෙනවා. ඔය විදියට බඩේ තැන්පත් වෙන මේදය හින්දා මොකද වෙන්නේ කියලා ඔයාලා දැන් දන්නවා. (දන්නවා නේද? අර හෝමෝන මාරු වෙන එක)
දැන් කලින් කිව්වනේ මේදය වැඩි උනාම පිරිමි හෝමෝන ගැහැණු හෝමෝන වලට මාරු වෙනවා කියලා. ඒ හින්දා කෑම අඩු කරලා මේදය අඩු කර ගත්තොත් ඒ ප්‍රශ්නේ වෙන්නේ නැද්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. කෑම ගන්න ප්‍රමාණය අඩු කලාම ඇඟේ මේදය ප්‍රමාණය නම් අඩු වෙනවා තමා.
ඒත් ප්‍රශ්නේ කියන්නේ කෑම අඩු කරලා මේදය අඩු කරා කියලා පිරිමි හෝමෝන වැඩි කර ගන්න බෑ.
ඒ හින්දා සමබර ආහාර වේලක් ගන්න එක තමා කරන්න ඕන දේ.
(ඇඟේ බර අඩු කර ගන්න ඕන අයටයි, බර වැඩි කර ගන්න ඕන අයටයි එක එක්කෙනාට ගැලපෙන විදියට meal plan එකක් හදා ගන්න හැටි ඉස්සරහට පෝස්ට් එකක් දාන්නම්.)
කෑම ගැන කියද්දී පිරිමි හෝමෝන වැඩි කර ගන්න නම් ප්‍රෝටීන් තමා ගොඩක් වැදගත්ම දේ. අවාසනාවට ලංකාවේ ප්‍රෝටීන් තියෙන කෑම ජාති ටිකක් ගණන් වැඩියි. ඒ කිව්වේ මස් වර්ග මාළු වර්ග, බිත්තර, කිරි, ධාන්‍ය වගේ කෑම. සතියකට එක දවසක් මේවා කාලා වැඩක් නෑ. දවස ගානේ කන්න ඕනා. දැනට හොයාගෙන තියන විදියට දවසකට ගන්න කෑම වල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය ඒ කෑම වේලෙන් 30% කට වඩා වැඩියි නම් එයාලගේ පිරිමි හෝමෝන වැඩි කර ගන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.
ඒ වගේම ප්‍රෝටීන් වැඩි කෑම ගත්තම ඇඟේ තියෙන මේදය උනත් දිය කර ගන්න ඒක උදව් වෙනවා.
තව බැදපු කෑම, පිටි, සීනි වගේ තියෙන කෑම ගන්න එක අඩුම කරන්න. ඒව හින්දා තරබාරු වෙලා පිරිමි හෝමෝන අඩු වෙන්න ඉඩ තියෙනවා.
රටකජු, අලිගැටපේර වගේ කෑම හොඳයි. ඒවගේ තියෙන්නේ හිතකර මේදය.
ඔය කෑම ජාති වගේම සමහර සප්ලිමන්ට් ඇඟේ පිරිමි හෝමෝන වැඩි කරන්න උදව් වෙනවා කියලා හොයාගෙන තියෙනවා.
සින්ක්, විටමින් A, B, D තියෙන කෑම ජාති ගන්න. එහෙම නැත්නම් ඒවා තියෙන පෙති ගන්න.
තව පිරිමි හෝමෝන වැඩි කරන්න ඉඟුරු උදව් වෙනවා කියලා හොයාගෙන තියෙනවා.
අශ්වගන්ධ කියලා ජාතියක් තියෙනවා අහලා හරි දැකලා හරි තියෙනවද? ඉන්ටනෙට් එකෙත්, තැන තැන ලංකාවේත් ගන්න තියෙනවා ඕවා. හැබැයි ගාණ ටිකක් වැඩියි. ගන්න විශ්වාසවන්ත තැනක් දන්නෙත් නෑ හරියට. කොහොම හරි ඔය අශ්වගන්ධ වලින් පිරිමි හෝමෝන වැඩි කරනවා කියලා හොයාගෙන තියෙනවා.
ඉතින් ඔන්න ඔය දේවල් කරලා ඇඟට හිතකර විදියට පිරිමි හෝමෝන වැඩි කර ගන්න පුළුවන්.
හරි දැන් මෙහෙමයි. මේ පෝස්ට් එකේ කරුණු ටික පිළිවෙලට තමා හදලා තියෙන්නේ. ඒ කිව්වේ ඔන්න දැන් කවුරු හරි මේ පෝස්ට් එක කියවලා ෆාමසියකට ගිහින් සින්ක්, විටමින් A, B, D තියෙන පෙති ටිකක් ගෙනත් දවස ගානේ බිව්වා කියලා ඒකෙන් විතරක් පිරිමි හෝමෝන වැඩි වෙන්නේ නෑ. ව්‍යායාම සහ සමබර ආහාර වේල තමයි අංක 1. කම්මැලි කමට ඒවා නොකර සප්ලිමන්ට් අරන් විතරක් ටෙස්ටෙස්ටරෝන් වැඩි වෙයි කියලා හිතන්න නම් එපා.
ආ.. කැමට පස්සේ කරන්න ඕන තව වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමා නින්ද. පැය 7-8 ක් වත් අනිවාර්යෙන් නිදා ගන්න.
තව මානසික ආතතිය වගේ ප්‍රශ්න නැතුව ඉන්න එකත් ටෙස්ටෙස්ටරෝන් වැඩි කර ගන්න උදව් වෙනවා.
පිරිමි හෝමෝන අඩු වෙන්න බලපාන තවත් හේතුවක් තමා මත්පැන් සහ දුම්වැටි. ඒ හින්දා නිතර නිතර ඕවා ගන්න යන්න එපා. ඕනම නම් ඉඳලා හිටලා අඩියක් ගහලා සැපේ ඉන්න. මත්පැන් සහ දුම්වැටි වලින් සදහටම ඈත් වෙන එක ටෙස්ටෙස්ටරෝන් වැඩි කර ගන්න උදව් වෙනවා.
ඒ වගේම ටෙස්ටෙස්ටරෝන් සාමාන්‍ය මට්ටමේ නැත්නම් ඒකට වෛද්‍ය සහය ගන්න පුළුවන්. Testosterone replacement therapy වෛද්‍ය ප්‍රතිකාර විදියට ගන්න පුළුවන්. පිරිමි හෝමෝන අඩු වෙලා තියෙනවා නම් ඔය වගේ තෙරපි වලින් පස්සේ ආපහු කලින් තිබ්බ මට්ටමටම පිරිමි හෝමෝන ලෙවල් එක ගේන්න පුළුවන්. හැබැයි කලින් කිව්වා වගේ මේවා වෛද්‍ය උපදෙස් මතම විතරක් කරන්න ඕනා. එක එක්කෙනා කියන පළියට නම් කරන්න යන්න එපා.
හරි අදට ඔය ඇති. එහෙනම් අපේ පේජ් එකේ දාන පෝස්ට් වලට හැමදාම like කරන එල කොල්ලෝ ටික මේ උපදෙස් පිළිපැදලා ෆිට් එකේ ඉන්න ඕනා.