රැවුල වැවෙන්නේ නැති එක ගැන ගොඩක් පිරිමි අයට ප්‍රශ්න තියෙනවා. රැවුල වැවෙන්න කියලා රටේ නැති තෙල් බේත් වලට නිකරුනේ සල්ලි නාස්ති කර ගන්නවා. ඒ වගේම රැවුල වැවෙන්නේ නැති එක පිරිමි කමට අඩුවක් කියලත් හිතනවා. ඔය මොන ප්‍රශ්නේ හරි දැන් ඕව ගැන හිත හිත ඉන්න ඕන නෑ. වෛද්‍ය විද්‍යාත්මකව ඕවට කරන්න දේවල් තියෙනවා.
මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් යන්න ඕනා සමේ රෝග ගැන විශේෂඥ වෛද්‍ය වරයෙක් ගාවට.
වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඉස්සෙල්ලම ඒ කෙනාගේ රැවුල වැවෙන්නේ නැති වෙන්න හේතුව හොයලා බලනවා.
සමහර ඇඟේ තියෙන රෝග හින්දත් රැවුල වැවෙන්නේ නැති වෙනවා. ඒ කිව්වේ ජානගත රෝග තියෙන කෙනෙක් නම් උපතින්ම ඒ අයගේ ලිංගික හෝමෝන අඩු හින්දා රැවුල වැවෙන එකේ අඩුවක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා හඳුනා ගන්න වෛද්‍යවරු දන්නවා.
ඒ වගේම හෝමෝන වල ප්‍රශ්න හින්දත් රැවුල වැවෙන්නේ නැති වෙන්න පුළුවන්. රැවුල කියන්නේ ද්විතියික ලිංගික ලක්ෂණයක්නේ. එතකොට රැවුල වැවෙන්න නම් ඇඟේ ටෙස්ටොස්ටෙරෝන් හොඳට තියෙන්න ඕනා. ඒත් ලෝකේ පුරා කරලා තියෙන පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන දෙයක් තමා රැවුල වැවෙන්නේ නැති හැමෝගෙම රැවුල වැවෙන්නේ නැති ප්‍රශ්නෙට හේතුව ඇඟේ ටෙස්ටෙස්ටරෝන් අඩු කමම නෙමේ.
ඒක වෙන්නේ මෙහෙමයි. වැඩිවියට පත් වෙනවත් එක්කම ඒ අයගේ ඇඟේ හෝමෝන හොඳට ශ්‍රාවය වෙන එක වෙනවා. හෝමෝන හොඳට තියෙනවා හින්දා අනිත් ද්විතියික ලිංගික ලක්ෂණ හොඳට තිබ්බට රැවුල වැවෙන්නේ නැහැ.
හෝමෝන හොඳ මට්ටමේ තිබිලත් රැවුල වැවෙන්නේ නැත්නම් ඒකට හේතුව තමා ඇඟේ හෝමෝන වල සංවේදීතාව අඩු කම. රැවුල වැවෙන්න නම් රෝම කූප වල මුලට හෝමෝන ඇවිත් සම්බන්ධ වෙන්න ඕනා. ඒ විදියට රෝම කූප වල මුලට හෝමෝන සම්බන්ධ වුනාට පස්සේ එතන රසායනික ක්‍රියාවලියක් වෙලා තමා රැවුල වැවෙන්න ගන්නේ. රෝම කුප වල තියෙනවා ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිග්‍රාහක (testosterone receptors). ඒවගෙන් පුළුවන් හෝමෝන ඇදලා අරගෙන රෝම කුප වල මුලට හෝමෝන සම්බන්ධ කර ගන්න. සමහර අයගේ ඔය කිව්ව හෝමෝන ඇදලා ගන්න testosterone receptors එයාලගේ ඇඟේ තියෙන හෝමෝන වලට සංවේදී නැහැ.
ඔය කතාව තව ටිකක් තේරෙන විදියට සරලව උදාහරණයකින් කියන්නම්. හිතන්න ෆෝන් එකක් තියෙනවා, චාජර් එකත් තියෙනවා, කරන්ට් එකත් තියෙනවා. ඒත් චාජර් කේබල් එකයි ෆෝන් එකේ චාජින් පොර්ට් එකයි වෙනස් හින්දා ඒක ෆෝන් එකට කේබල් එක ගහන්න විදියක් නෑ. ඒ හින්දා කරන්ට් එක තිබිලත් ෆෝන් එක චාජ් වෙන්නේ නෑ.
අන්න ඒ වගේ තමා සමහර විට කෙනෙක්ගේ ඇඟේ කොච්චර හෝමෝන තිබ්බත් testosterone receptors වලින් කෙරෙන වැඩේ හරියට වෙන්නේ නැති හින්දා රැවුල වැවෙන එක හරියට වෙන්නේ නැහැ.
ජාන වලින් ගොඩක් වෙලාවට ඔය testosterone receptors වල සංවේදීතාව තීරණය වුනත් එකම පරම්පරාවේ තාත්තා පුතා, සහෝදරයින් අතරේ උනත් testosterone receptors වල සංවේදීතාව එකම විදියට නැති වෙන්නත් පුළුවන්.
දැන් මේ ටික හරියට කියෙව්වා නම් එක දෙයක් තේරෙන්න ඕනා. රැවුල වැවෙන්නේ නැති එක පිරිමි කමේ අඩුවක් නෙමේ. පිරිමි කම සහ අනිත් ද්විතිය්කික ලිංගික ලක්ෂණ වලට බලපාන්නේ ඇඟේ තියෙන ටෙස්ටෙස්ටරෝන් හෝමෝන මට්ටම. ඒත් රැවුල වැවෙන්නේ නැති එකට හේතුව පිරිමි හෝමෝන අඩු කමම නෙමේ. ඒ හින්දා රැවුල වැවෙන්නේ නැහැ කියලා ලිංගික හෝමෝන අඩුයි කියලා වත්, පිරිමි කම අඩුයි කියලා වත් කියන්න බැහැ.
රැවුල වැවෙන්නේ නැති එකට හේතුව මොනා උනත් දැන් ගොඩක් අයට දැන ගන්න ඕනා ඕකට කරන්න පුළුවන් දේවල්නේ.
ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඉස්සෙල්ලම මොකක් හරි රෝගයක් හින්දා රැවුල වැවෙන්නේ නැත්ද කියලා හොයලා බලනවා. තව ටෙස්ටෙස්ටරෝන් හෝමෝන පරික්ෂණ එහෙම කරලා බලනවා. කරන්න ඕන පරීක්ෂණය මොකද්ද කියලා වෛද්‍යවරයා තමා තීරණය කරන්නේ.
හේතුව හොයා ගත්තට පස්සේ අවශ්‍ය ප්‍රතිකාර දෙනවා.
කරන්න ඕන පරීක්ෂණ ටික කරලා රැවුල වැවෙන්නේ නැති එකට බලපාන ඇඟේ වෙන රෝගයකුත් නැත්නම්, ඇඟේ ලිංගික හෝමෝන ප්‍රමාණයත් සාමාන්‍යයි නම්, හෝමෝන ප්‍රශ්නෙකුත් නැත්නම් අන්න ඒ වගේ වෙලාවක නම් ප්‍රතිකාරයක් කරන්න බැරුව වෛද්‍ය විද්‍යාවෙනුත් පොඩ්ඩක් හිර වෙනවා.
මොකද කොන්ඩේ වවා ගන්න ක්‍රම තිබ්බත්, කොන්ඩේ වගේ නෙමේ රැවුල. කොන්ඩේ වවා ගන්න තියෙන ගොඩක් ප්‍රතිකර්ම රැවුල වවා ගන්න පාවිච්චි කරන්න බැහැ, මොකද මුණ සම්බන්ධ වෙලා තියෙන හින්දා.
ඒ වගේම තව ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමා රැවුල වවා ගන්න කියලා එක එක තෙල් වර්ග මුණේ ගානවා. සමහර විට කොන්ඩේ වැවෙන්නේ නැති එකට පාවිච්චි කරන දේවල් පවා රැවුල වැවෙන්න කියලා පාවිච්චි කරනවා. ඇත්තටම ඒ දේවල් නම් අනුමත කරන්න බැහැ. ඒ වගේ දේවල් වලින් සමහර විට සමේ අසාත්මිකතා ඇවිල්ලා රැවුල වැවෙන්නේ නැති එකටත් වඩා ප්‍රශ්න එන්න පුළුවන්.
Folliculitis වගේ ආසාදන ඇති වෙලා තියෙන රෝම කුප පවා විනාශ වෙන්න පුළුවන්.
මොකද මුහුණට හොඳ රුධිර සැපයුමක් තියෙන හින්දා දේවල් ඇඟට අවශෝෂණය කර ගන්න තියෙන හැකියාව සමේ අනිත් තැන් වලට වඩා වැඩියි. නොගැළපෙන දෙයක් අවශෝෂණය වුනොත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්.
ඒ හින්දා හිතුමතේ එක එක දේවල් පාවිච්චි කරන්න එපා.
ඔයාටත් රැවුල වැවෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් එක එක අය ගාවට යන්නේ නැතුව යන්න සමේ රෝග ගැන විශේෂඥ වෛද්‍ය වරයෙක් ගාවට.