අවුරුදු 3,000,000 විතර කලින් පරිණාමනය වෙමින් හිටිය අපේ ආදී කාලින මානවයෙක්ගේ උස අඩි 4ක් විතර තමා වෙලා තිබිලා තියෙන්නේ.
තව අවුරුදු 1,500,000 කට විතර පස්සේ හිටපු හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ උස අඩි 5'7 ක් විතර උනා.
තවත් අවුරුදු 30,000 කට විතර පස්සේ ගල් යුගයේ හිටිය මානවන්ගේ උස අඩි 6ක් වගේ වෙලා තියෙනවා.
හැබැයි දැන් ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය උස ගත්තොත් ඒක අඩි 5 යි අඟල් ගානක්.
ඒ කියන්නේ දැන් ඉන්න මිනිස්සුන්ට උස කියන සාධකය, අර දඩයම් යුගයේ ජිවත් වුන මිනිස්සුන්ට තරම් තීරණාත්මක සාධකයක් නෙමෙයි.
උපතින් හම්බෙන ජාන වලින් බලපෑමක් කරනවා කෙනෙක්ගේ උස තීරණය වෙන්න. ඒත් ජාන වලින් කෙනෙක්ට ලැබෙන උස අපිට වෙනස් කර ගන්න බෑ.
හැබැයි ගොඩක් දෙනෙක් වැඩිය හිතුවේ නැති උනාට ජාන වලට අමතරව උස කියන දේ තීරණය වෙන්න තව බලපාන දේවල් තියෙනවා.
උදාහරණයක් කියනවා නම් දකුණු කොරියාවේ සහ උතුරු කොරියාවේ ඉන්න මිනිස්සුන්ගේ ජාන ගොඩක් දුරට සමානයි.
හැබැයි පුදුම හිතෙන දේ තමා සාමාන්‍ය උස ගත්තොත් දකුණු කොරියාවේ මිනිහෙක්, උතුරු කොරියාවේ මිනිහෙක්ට වඩා සෙන්ටිමීටර් 3 - 8 ක් විතර උසයි.
ඒ දත්ත වලින් කියන්න පුළුවන් අපි ජිවත් වෙන පරිසරයේ ජිවන රටාව සහ ගන්න ආහාරත් උස කියන දේ තීරණය වෙන්න බලපානවා කියලා.
අස්ථි වල කෙළවර හරියේ තියෙනවා growth plate (physis) කියලා කොටසක්. ඔය growth plate හැදිලා තියෙන්නේ කාටිලේජ වලින්. එතන තියෙන කාටිලේජ වලින් තමා අලුත් අස්ථි පටක හැදී හැදී අස්ථි වල දිග වැඩි වෙලා උස වැඩි වෙන එක වෙන්නේ.
වැඩි වියට පත් වෙනවත් එක්ක ඇඟේ වෙන හෝමෝන වෙනස්කම් හින්දා උස වේගෙන් වැඩි වෙන්න ගන්නවා. ඒ වයස ඉවර උනාම growth plate වල වර්ධනය නැවතිලා උස වැඩි වෙන එක ඉවර වෙනවා. එහෙම වෙන්නේ නැත්නම් අපි හැමෝම වයසට යනකල්ම එක දිගට උස යන්න ඕනා. ඒත් එහෙම වෙන්නේ නෑනේ. ඒ කියන්නේ අවුරුදු 20 වගේ පහු උනාම ගොඩක් වෙලාවට පිරිමි කෙනෙක්ගේ නම් උස වැඩි වෙන එක නතර වෙනවා.
අවාසනාවට ඒ වයස් සීමාව පැන්නට පස්සේ ඇඟට හෝමෝන දුන්නත් උස වැඩි කර ගන්න නම් බැහැ.
ජිම් එකේ ස්කොට්, පුල්-අප් ගැහුවා කියලවත් උස වැඩි කර ගන්න බෑ.
හැබැයි ඔයාගේ උස යන කාලේ ඒ කියන්නේ අවුරුදු 20 වගේ වෙනකම්, ජාන වලින් ඔයාට යන්න පුළුවන් උපරිම උසට යන්න කරන්න දේවල් තියෙනවා.
👉 දුම් පානය කරන එක නතර කරන්න. දුම්බීම ශරීර වර්ධනය අඩු කරනවා කියලා හොයාගෙන තියෙනවා. ඔයා දුම් පානය කරන්නත් එපා, ඒ වගේම දුම් පානය කරන අය නිතරම ඔයා ළඟ ඉන්නවා නම් ඒ අවට ඉන්නත් එපා.
එයාලා බොන සිගරට් දුමේන් පුළුවන් තරම් ඈත් වෙන්න.
👉 නිරෝගී සමබර ආහාර වේලක් කන්න. ප්‍රෝටීන් එහෙම ඇති වෙන්න ගන්න ඕනා. ඒත් ලංකාවේ මස්, මාළු, කිරි, බිත්තර වගේ ප්‍රෝටීන් තියෙන කෑම අනිත් රටවල් වලට සාපේක්ෂව නම් ටිකක් ගණන්. ඒ හින්දම ගොඩක් දුරට ප්‍රෝටීන් නම් ලංකාවේ ළමයින්ට හම්බෙන්නේ හරිම අඩුවෙන්. ඒ වගේම විටමින්, කැල්සියම් වගේ අනික් Micronutrients කෑමට එකතු කර ගන්න.
අලුත් ඉපදුන බබෙක් ගේ නම් එයාට මුල් කාලේ දෙන පෝෂණය ඒ ළමයා ලොකු වෙලා කොච්චර උස යනවද කියන එකට ගොඩක් තීරණාත්මකව බලපානවා.
👉 ප්‍රමාණවත් තරම් නින්ද ගන්න. නිදාගෙන ඉන්න වෙලාවට තමා අපේ ඇඟේ වැඩිම වර්ධනයක් වෙන්නේ. වර්ධන හෝමෝන ගොඩක් නිකුත් වෙන්නේ ඒ වෙලාවට. ඔයාගේ වර්ධනයේ උපරිමයටම යන්න නම් ඇති වෙනකම් නින්දක් ගන්න ඕනෑමයි. පැය 7-8 අතර නින්දක් ගන්න කියලා තමා කියන්නේ.
👉 ව්‍යායාම කරන්න. ව්‍යායාම කරාම ඇඟේ තියෙන හෝමෝන බූස්ට් වෙනවා. ආහාර දිරවීම වෙනස් කරනවා. ඇඟේ වර්ධනය වෙන එකට ගොඩක්ම බලපාන්නෙත් ව්‍යායාම කරන එකම තමයි. ඇඟේ පෙනුම වගේම උස ටත් ව්‍යායාම කරන එක බලපානවා.
උස යන කාලේ පහු උනාට පස්සේ උස වැඩි කර ගන්න බැරි උනාට ඔයාගේ උස අනිත් අයට ටිකක් වැඩියෙන් පේන්න කරන්න පුළුවන් තව පොඩි පොඩි ටිප්ස් ඉන්ටනෙට් එකේ ඕන තරම් තියෙනවා. ඒ විදියේ හම්බුන ටිප්ස් ටිකක් පෝස්ට් එකේ තියෙනවා. ඒවත් කරලා බලන්න.
ඔයා ඔයාගේ උස ගැන සෑහීමකට පත් වෙන්නේ නැති කෙනෙක් නම් ඔයාට කියන්න තියෙන්නේ ඔයාව තව කෙනෙක් එක්ක සසඳන්න යන්න එපා. ඒ වගේම ඔයා හිතට ගන්න ඕනා තමන්ගේ පිරිමිකම එන්නේ උසින් නෙමේ. උස කියන දේට ගැහැණු පිරිමි දෙගොල්ලන්ම කැමති වෙන්නේ ඒක භෞතික සාධකයක් විදියට විතරයි. සාර්ථක සම්බන්ධයකට වැඩියෙන් වැදගත් වන්නේ උස, පෙනුම වගේ බාහිර සාධක වලට වඩා හොඳ ගතිගුණ තියන කෙනෙක්ව.
ඉතිහාසයේ තමන්ගේ නමට වෙනම පරිච්චේදයක් ලියා ගත්ත මිනිස්සු කිහිප දෙනෙක් ගැන විස්තර පෝස්ට් එකේ දාලා තියෙනවා. ඒ ටික දැක්කම තේරෙයි උස කියන්නේ තමාව පොරක් කරන දෙයක් නෙමේ කියලා.