අද පෝස්ට් එක, ගොඩක් දෙනෙක් කතා කරන්න අකමැති, ඒත් තියෙන අයට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් ගැන. ඒ තමා ගැහැණු අයගේ යෝනි මාර්ගය ලිහිල් (looseness) වෙන ප්‍රශ්නේ ගැන. Vaginal laxity කියලා තමා ඕකට කියන්නේ.
යෝනි මාර්ගය බුරුල් වෙන එක හින්දා ඒ ගැහැණු කෙනාට ලිංගික බෙලහීනතා උනත් එන්න පුළුවන්. ඒ වගේම සෙක්ස් කරන වෙලාවට දෙන්නගෙම ලිංගික තෘප්තිය අඩු වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට විවාහ ජිවිතේ පවා ප්‍රශ්න එන්න පුළුවන්. වතුරේ පා වෙන Iceberg එකක් වගේ පිටින් පෙන්නන් නැති උනාට මේ ප්‍රශ්නේ තියෙන අයට, ඒක හිත ඇතුලෙන් සෑහෙන ප්‍රශ්නයක්.
📌 මේ ප්‍රශ්නේ එක එක හේතු හින්දා වෙනවා.
▶ සාමාන්‍යයෙන් වයසට යද්දී ඇඟේ පටක ඇදිලා බුරුල් වෙනවා. යෝනි මාර්ගය හැදිලා තියෙන්නෙත් ඇඟේ අනිත් තැන් වගේම පටක වලින්. ඉතින් වයසට යද්දී යෝනි මාර්ගයේ තියෙන පටකත් ඇදිලා යෝනි මාර්ගය ලිහිල් වෙන්න පුළුවන්.
▶ ඒ වගේම දරු ප්‍රසුතියක් වුනාමත් යෝනි මාර්ගයේ පටක ඇදෙනවා. හැබැයි ගොඩක් දෙනාගේ යෝනි මාර්ගය දරු ප්‍රසුතියෙන් පස්සේ ආපහු තිබ්බ විදියටම හැදෙනවා.
▶ තව සමහර අයගේ ඇඟේ තියෙන පටක බුරුල් වෙන ජානමය ප්‍රශ්න තියෙනවා. ඔය දණිස් පනිනවා කියන එක වෙන අයගේ එහෙම ඒ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ ඇඟේ පටක බුරුල් වෙද්දී යෝනි මාර්ගයේ තියෙන පටකත් බුරුල් වෙන්න පුළුවන්.
▶ මුත්‍රාශය පාත් වෙන cystocele තත්වය හින්දත් ඕක වෙන්න පුළුවන්.
▶ ගර්භාෂය පාත් වෙන Uterovaginal prolapse තත්වය හින්දත් වෙන්න පුළුවන්. දරු ගැබ පාත් වෙනවා කියලා කියන්නෙත් ඒක.
▶ ඒවට අමතරව හිනා වෙද්දී, කහින වෙලාවට වගේ ඉබේම මුත්‍රා පිට වෙන ප්‍රශ්නේ තියෙන අයටත් මේක එන්න පුළුවන්.
📌 මොනාද කරන්න පුළුවන් දේවල්.
මේ ප්‍රශ්නේ තියෙනවා කියලා දැනෙනවා නම් ඉස්සෙල්ලම විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට යන එක තමයි හොඳම දේ. මොකද ප්‍රශ්නෙට ප්‍රතිකාර කරන්න කලින් මොකද්ද තියෙන ලෙඩේ කියලා අඳුර ගන්න ඕන හින්දා.
මේක ලැජ්ජා වෙන්න දෙයක් නෙමේ, ඔය ප්රශ්නය තියෙන ගොඩක් දෙනා දැන් දැන් ඉස්සරට වඩා වැඩියෙන් ප්‍රතිකාර ගන්න වෛද්‍යවරු ගාවට යනවා.
ඒ කොහොම හරි මේ ප්‍රශ්නේ කෙනෙක්ට තියෙනවා නම් දැන් බය වෙන්න දෙයක් නෑ. ඕකට ප්‍රතිකාර තියෙනවා.
ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම 3ක් තියෙනවා.
1. පළවෙනි ප්‍රතිකාර ක්‍රමය තමා Conservative management.
ඇත්තටම මේකෙදි මොකුත් ප්‍රතිකාරයක් කරන්නේ නෑ. ජිම් එකට ගිහින් ඇඟ හදා ගන්න ව්‍යායාම කරනවා වගේ යෝනි මාර්ගය අවට තියෙන මාංශපේෂි වලට කරන්න තියෙන වෙනම ව්‍යායාම තියෙනවා. Kegal exercises කියලා ඒවට කියන්නේ. (ඉස්සරහට ඒ ගැනත් වෙනම පෝස්ට් එකක් දාන්නම්.)
ව්‍යායාම කරලා යෝනි මාර්ගය අවට මාංශපේෂි ශක්තිමත් කරන එක තමා මේකේ අරමුණ.
හැබැයි නිතරම මේ ව්‍යායම කරන්න වෙනවා වගේම මේ ක්‍රමේ සාර්ථක බවත් ටිකක් අඩුයි. හැබැයි වෙන ප්‍රතිකාර ක්‍රමයක් එක්ක මේක කරනවා නම් වැඩි ප්‍රතිඵල ගන්න පුළුවන්.
2. දෙවෙනි ප්‍රතිකාර ක්‍රමය තමා ශල්‍යකර්මයක් කරන එක.
ඒ ශල්‍යකර්මය කරද්දී යෝනි මාර්ගයේ වැඩිපුර තියෙන යෝනි මාර්ග කොටස කපලා අයින් කරනවා. ඊට පස්සේ වටේ තියෙන මාංශපේශි ටිකත් එකට එකතු කරලා මහනවා. එතකොට යෝනි මාර්ගය වටේට තද වෙලා යෝනි මාර්ගය තද වෙනවා.
ශල්‍යකර්ම ප්‍රතිකාර ක්‍රමයෙන් යෝනි මාර්ගය තද වෙන වැඩේ නම් හරියට වෙනවා. හැබැයි මේ ක්රමයේ අවාසියකුත් තියෙනවා.
ඒ මෙහෙමයි. යෝනි මාර්ගය කියන්නේ ගොඩක් විසබීජ තියෙන තැනක්. ඒ හින්දා ශල්‍යකර්මය හින්දා ඇති වෙන තුවාලය පැසවන්න පුළුවන්. ඒ වගේම හොඳ වෙන්නත් සෑහෙන කාලයක් යන්න පුළුවන්. තුවාලය හොඳ උනත් තුවාලය හොඳ උනාට පස්සේ ඉතුරු වෙන කැළල හින්දා ලිංගික සංසර්ගය කරද්දී සමහර විට වේදනාව එන්න පුළුවන්.
3. එතකොට තුන් වෙනි ප්‍රතිකාර ක්‍රමය තමා ලේසර් ප්‍රතිකාර ක්‍රමය.
ලේසර් ප්‍රතිකාරයක් කරන්න යන වියදම, සාමාන්‍යයෙන් පෞද්ගලික රෝහලකින් කලින් කිව්ව ශල්‍යකර්මයක් කර ගන්නවටත් වඩා අඩුයි. ඒ වගේම ලේසර් ප්‍රතිකාර ක්‍රමය යෝනි මාර්ගය ලිහිල් වෙන ප්‍රශ්නෙට ගොඩක් සාර්ථකයි.
හැබැයි ලේසර් කියන වචනේ ඇහුණ ගමන් ගොඩක් අය බය වෙනවා පිළිකා හැදෙන්න පුළුවන්ද? අරකද, මේකද කියලා.
ඒ වගේම ගොඩක් දෙනෙක් හිතන්නේ ලේසර් ප්‍රතිකාර කරනවා කියන්නේ ලයිට් එකකින් පුච්චනවා වගේ දෙයක් කියලා.
ලේසර් ප්‍රතිකාර ක්‍රමයට ගන්නේ සාමාන්‍ය ලයිට් එකක් වගේ ලයිට් එකක්. ඒකෙන් මොකුත් වෙන්නේ නෑ. මේ ක්‍රමයෙන් කරන්නේ යෝනි මාර්ගයේ තියෙන පටක ආයේ හැදෙන්න ගන්නවා. එතකොට යෝනි මාර්ගය කුඩා වෙනවා. ඒ නැතුව හම පුච්චනවා වගේ දෙයක් වෙන්නේ නෑ. ඔන්න ඕක තමා ලේසර් ප්‍රතිකාර ක්‍රමයෙන් වෙන්නේ.
ඒ වගේම තව තියෙන වාසි තමා ලේසර් ප්‍රතිකාරය කලාම කිසිම වේදනාවක් නෑ, කිසිම කැපුමක්, මැහුමක් දාන්නේ නෑ. ඒ හින්දා තුවාලයක් වෙන්නෙත් නෑ.
ලේසර් ප්‍රතිකාරය කරලා ලිංගික සංසර්ග උනත් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
වාර කිහිපයක් මේ ලේසර් ප්‍රතිකාර කර්මය කලාම පටක හැදිලා ආයේ යෝනි මාර්ගය කුඩා වෙනවා. ලංකාවේ වැඩිය ජනප්‍රිය නැති උනාට පිටරට කාන්තාවන් අතර නම් මේ ක්‍රමේ ගොඩක් ජනප්‍රියයි. එයාලා වයසට ගියත් ලංකාවේ ගැහැණු අයට වඩා ලිංගික තෘප්තිය අත්විඳිනවා. ලංකාවෙත් දැන් මේක ජනප්‍රිය වීගෙන යනවා.
ඒ වගේම අර කලින් කිව්ව මුත්‍රාශය පාත් වෙන එක, ගර්භාෂය පාත් වෙන එක, ඉබේ මුත්‍රා පිට වෙන එක වගේ ප්‍රශ්න වලටත් මේ ලේසර් ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.
තව තියෙන වාසියක් තමා ලේසර් ප්‍රතිකාරයක් කරද්දී, ශල්‍යකර්මයක් කරද්දී වගේ නොකා ඉඳලා, දවසක් රෑ නැවතිලා ඉඳලා වගේ දේවල් කරන්න වෙන්නේ නෑ.
ලේසර් ප්‍රතිකාරය කරන්න සාමාන්‍යයෙන් විනාඩි 15- 20ක් වගේ තමා යන්නේ. ඒ වගේ වාර කිහිපයක් (6ක් වගේ) ගිහින් ලේසර් ප්‍රතිකාරය කර ගන්න ඕනා. පිටරට නම් මේ වගේ ප්‍රතිකාර ක්‍රම වලට කියන්නේ Lunchtime Procedure කියලා. ඒ කියන්නේ ඔෆිස් එකේ lunch එක ගන්න වෙලාවේ උනත් එළියට ගිහින් ලේසර් ප්‍රතිකාරය කරගෙන එන්නත් පුළුවන්.
ඒ හින්දා ලේසර් ක්‍රමය යෝනි මාර්ගය ලිහිල් වෙන එකට තියෙන හොඳම ප්‍රතිකාර ක්‍රමය කියලා කියන්න පුළුවන්.
XeducationSL වෙත තම විශේෂඥ දැනුම ලබා දුන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජගත් හේරත් මහතාට අපගේ විශේෂ ස්තුතිය.