ලෙඩක් කියලා වැරදියට වටහා ගන්න PPP : Diagnosing PPP Properly. Don't be Mistaken

page එකට එන මැසේජ් අනුව තේරෙනවා ගොඩක් පිරිමි ළමයින්ට තියෙන ප්‍රශ්නයක් මේක. Pearly Penile Papules පර්ලි-පීනයිල්-පැපියුල්ස්. PPP කියලා කෙටියෙන් කියන්නේ. පුරුෂ ලිංගයේ Coronal Sulcus කියන ප්‍රදේශයේ, ඒ කියන්නේ ශිෂ්ණ මුණ්ඩයේ දාරයේ හරියේ තිත් තිත්, ගැටිති වගේ තමයි මේවා ඇති වෙන්නේ. 

මේක ඇත්තටම එහෙම බය වෙන්න දෙයක් වත්, රෝගයක් වත් නෙමේ. ඒ වගේම මේක දුර්ලභ තත්වයකුත් නෙමේ. ලෝක ජනගහණයෙන් 15% කට වගේ මේ තත්වය තියෙනවා කියලා කියනවා. ඒ වගේම පෙරසම ඉවත් කරලා නැති පිරිමි අයගේ සහ කළු, දුඹුරු හමක් තියෙන අයගේ මේ තත්වය වැඩියෙන් ඇති වෙනවා. 

හැබැයි වෛද්‍ය සායන වලට එන තරුණ වයස් වල පිරිමි ළමයි නම් මානසික වදයක් වෙන තැනටම මේ ගැන හිතනවා.

මේක ඇති වෙන්න හරිම හේතුව මොකද්ද කියලා නම් තාම හරියට හොයාගෙන නැහැ.

✅ රෝගයක් නොවෙන හින්දම ප්‍රතිකාරයක් ඕන නැහැ. 

✅ පසුකාලීනව පිළිකා වලට හැරෙන්නේ නැහැ.

✅ තව කෙනෙක්ට බෝ වෙන්නේ නැහැ.

✅ ලිංගික තෘප්තියට බලපෑමක් වෙන්නෙත් නැහැ.

✅ දරුවන් හදන්න බලපෑමක් නැහැ.

කොහොම හරි මේක කෙනෙක්ට අයින් කර ගන්න ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. ඒත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. මොකද මේක සාමාන්‍ය තත්වයක් හින්දා.

එක එක්කෙනාගේ වයස සහ හෝමෝන අනුව මේවා මතුපිටට පේන ගතිය, නෙරා එන ප්‍රමාණය කාලෙන් කාලෙට අඩු වැඩි වෙන්න පුළුවන්. ඒකත් බොහොම සාමාන්‍යයි.

ගොඩක් අයට මේක උත්පත්තියෙන්ම එනවා. සමහර වෙලාවට වැඩි වියට පත් වෙන කාලේදී මතු වෙනවා. හැබැයි මේ තත්වය ඇති වුනාම අවාසනාවට වගේ ඉබේම නැති වෙන්නේ නම් නැහැ.

📌 PPP වලට කරන ප්‍රතිකාර

PPP කියන්නේ ලෙඩක් නොවුනත් ගොඩක් දෙනෙක්ට මේක අයින් කර ගන්න ඕනා වෙනවා. ඒ මේවා තිබ්බම පුරුෂ ලිංගය කැතට පේනවා කියලා හිතන හින්දා. 

▶ Cryotherapy- මේකෙදි කරන්නේ ද්‍රව නෛට්‍රජන් වලින් ඒ ප්‍රදේශය පුච්චන එක. ඒ වගේම PPP තියෙන්නේ හරිම කුඩාවට නම් ඇසිඩ් වලින් පුච්චන එක කරන්නත් පුළුවන්. 

▶ electrodessication- විද්‍යුත් ක්‍රමයෙන් තමා මේකෙදි PPP අයින් කරන්නේ.

▶ ලේසර් ක්‍රමය- දැන් ගොඩක් ජනප්‍රිය ම ක්‍රමය තමයි මේක. ගොඩක් දෙනෙක් බය වෙනවා ලේසර් කිව්වම ඇඟට හොඳ නැති දෙයක් කියලා. හැබැයි මේකෙදි ලේසර් කියන්නේ විකිරණ නෙමේ. මේක ඇත්තටම පිළිකා ප්‍රතිකාර වලදී සහ X- ray කරද්දී අපි නිරාවරණය වෙන විදියේ විකිරණයක් නෙමේ. මේක ලයිට් එකක්. දිගුකාලීනව පිළිකා හරි වෙන ප්‍රශ්න හරි ඇති වෙන්නේ නැහැ.

ලේසර් මඟින් තුවාලයක් ඇති වෙන්නෙත් නැහැ. ඒ වගේම හරිම ඉක්මනින් ආපහු තමන්ගේ සාමාන්‍ය ජීවිතේට පත් වෙන්න පුළුවන්, වැඩි කල් පරිස්සම් වෙන්න දෙයක් නැහැ.

ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය මොන ක්‍රමයෙන් ඕවා ඉවත් කලත් ඒවා තිබ්බ තැන් වල හමේ තුවාලයක් හැදිලා පස්සේ කුඩා කැළලක් හිටින්න පුළුවන්. 

ඒ හින්දා සමහර විට ඕවා  අයින් කර ගන්න ගිහින් කලින් තිබ්බටත් වඩා අවලස්සන, අසාමාන්‍ය විදියට පේන්න පුළුවන්. 

ඕක අයින් කරන එක ගැන හිතනවට වඩා ඒක සාමාන්‍ය තත්වයක් කියලා තේරුම් අරන් ඕක ඔහේ තියෙන්න අරින එක තමයි හොඳම දේ.

📌 PPP වගේම තවත් රෝග කියලා වැරදියට වටහා ගන්න චර්ම රෝග සහ වෛරස් ආසාදන තියෙනවා. ඒවා ගැනත් බලමු.

▶ ලිංගික ඉන්නන්- ලිංගික ඉන්නන් වල මුල් තත්වය ගොඩක් වෙලාවට PPP තත්වය වගේ තමයි බැලුවම පේන්නේ. ඒ වගේ කෙනෙක් නම් වෛද්‍ය වරයෙක් ලඟට ගිහින් ප්‍රතිකාර ගන්න ඕනා.

▶ කිරි ඉන්නන්/  MOLLUSCUM CONTAGIOSUM- කිරි ඉන්නන් ගෙත් මුලික අවස්තාව PPP වගේ තමයි පේන්නේ. මේවා ඉක්මනින් ආසාදනය වෙන්න පුළුවන්. ස්පර්ශ කිරීම, මිරිකීම, රෝම ඉවත් කිරීම වගේ දේවල් වලින් සමේ අනිත් තැන් වලටත් බෝ වෙන්න ඉඩ තියෙනව. ඒ වගේම තමන්ට තියෙන කිරි ඉන්නන් තමන්ගේ ලිංගික සහකරු ටත් බෝ වෙන්න පුළුවන්.  ඒ හින්දා මේ තත්වයටත් ප්‍රතිකාර ගන්න වෙනවා.


▶ Fordyce spots- හමේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි වල විකරණය හින්දා තමා මේක වෙන්නේ. සම ඇතුලේ තියෙන ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි මතුපිටට පේන්න ගන්න එක තමයි මේකෙදි වෙන්නේ.

මේක නම් හැබැයි ගැහැණු අයටත් ඇති වෙන්න පුළුවන්. බැලු බැල්මට ලෙඩක් වගේ පෙනුනට මේකත් ඇත්තටම ලෙඩක් නෙමේ, බොහොම සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර ගැන හිතන්න දෙයක් නැහැ.

▶ Scrotal calcinosis- මේක ඇත්තටම වෘෂණ කෝෂ වල ගැටිති විදියට තමයි එන්නේ. මේ එන ගැටිති බොහොම තදයි. ගොඩක් වෙලාවට සුදු පාටයි. මේක ඇති වෙන්න හේතුව නම් තාම හොයාගෙන නැහැ. ඒත් මේකත් බය වෙන්න දෙයක් නෙමේ. ඒත් මේකත් කෙනෙක්ට කැතයි කියලා හිතනවා නම් ශල්‍යකර්මයක් කරලා අයින් කර ගන්න පුළුවන්.

▶ Lichen nitidus- මේකෙදි ශිෂ්ණයේ කඳ කොටසේ තමයි ඇති වෙන්නේ. කණ්ඩයම් විදියට තමයි තැන් තැන් වල හැදෙන්නේ. මේ හින්දා කැසීමක් එන්න පුළුවන්.

ඉතින් මේ තත්ත්ව තියෙනවා කියලා දැන ගන්න නම් චර්ම රෝග පිලිබඳ වෛද්‍යවරයෙක් හරි ලිංගික රෝග ගැන වෛද්‍යවරයෙක් හමු වෙන්න වෙනවා.

මේ PPP හින්දා කැසීමක්, රිදීමක් වගේ රෝග ලක්ෂණ මොකුත් එන්නේ නැහැ. හැබැයි කෙනෙක්ට PPP හින්දා කැසීමක්, රිදීමක් වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් එහෙම කෙනෙකුත් වෛද්‍යවරයෙක් ගාවට යන්න.

Previous Post Next Post