මාස, අවුරුදු ගානක් තිස්සේ ආදරේ කරන දෙන්නෙක්ගේ අවසාන බලාපොරොත්තුව තමා විවාහ වෙලා හැමදාම එයා එක්ක සතුටින් ඉන්න එක. ඒත් සමහර විවාහ කාලයක් ගියාම දෙන්නටම එපා වෙලා මෙලෝ රහක් නැති වෙනවා. සමහර වෙලාවට ඔය දෙන්නා මැද්දට වෙන වෙන අයවත් පැටලෙනවා. අවසානේ දික්කසාද වෙනකල්ම යන ඒවත් තියෙනවා.
මේ පෝස්ට් එකෙන් බලමු විවාහක යුවලක් ඒ විවාහය එපා නොවී වැඩි කාලයක් තියා ගන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන. අලුතෙන් බඳින්න ඉන්න අයව, ළඟදී බැන්ද අයව එහෙම tag කරන්න. එයාලට මේක share කරන්න.
📌 ප්‍රශ්න එනවා කියලා දැනගන්න.
මුලින්ම දැන ගන්න ඕනා දේ තමා දෙන්නෙක් විවාහ වෙලා දිග කාලයක් එකට ජිවත් වෙන්න එනවා කියන එකම අවදානම් සහගත දෙයක්. මොකද තව කෙනෙක්ව තමන්ගේ ජීවිතේට ලං කර ගන්න එකෙන්ම තමන් තමන්වම අවදානමක දා ගන්නවා. හැම කෙනෙක්ටම තියෙනවා අතිශය පෞද්ගලික දේවල්, ලෝකය දකිනවට අකමැති දේවල්. එතකොට තමන්ගේ ඒ අතිශය පෞද්ගලික දේවල් අනිත් කෙනාට නිරාවරණය වෙන අවදානම තියෙනවා.
ඒ වගේම දෙන්නෙක් එකට ජිවත් වෙනවා කියන්නේ තමන්ට වඩා වෙනස් විදියට හිතන කෙනෙක්ව තමන්ගේ ජීවිතේට ලං කර ගන්නවා වගේ වැඩක්.
ඒ හින්දා දෙන්නෙක් දිගු කාලීන සම්බන්ධයක් පටන් ගන්නවා නම් ඒ දෙන්නා අතරේ ඉස්සරහට ප්‍රශ්න එන්න පුළුවන් කියන දේ දැනගෙනම ඒක පටන් ගන්න. එහෙම වෙන්න බෑ, මගේ ආදර සම්බන්ධය කිසිම ප්‍රශ්නයක් නැතුව තියාගෙන් යන්න පුළුවන් කියන මතේ ඉඳන් දෙන්නෙක් එකට ඉන්න හදනවා නම් ඉස්සරහට එන ප්‍රශ්න වලට මුහුණ දෙන එක වත් හරියට කරන්න බැරි වෙනවා.
ඒක උදාහරණයකින් කිව්වොත්, හිතන්න කොත්තුවක් දා ගන්න කඩේට යනවා නම් ඒ යන කෙනා දන්නවා කොත්තුව දාද්දි එන සද්දේ ගැන. හැබැයි කොත්තු දාද්දි එන සද්දේ ගැන නොදන්න කෙනෙක් කඩේට ගියොත් එයාට ඒ සද්දේ හෙන වදයක් වෙනවා. ඔය වගේම තමා දෙන්නෙක් එකට ඉන්න එකත්. ඉස්සරහට ප්‍රශ්න එනවා කියන එක දැනගෙන, ප්‍රශ්න වලට එකට මුහුණ දෙන්න හිතාගෙන ඉන්න.
📌 වෙනස් වෙන බව දැනගන්න.
දෙන්නෙක් දුරින් ඉන්නවා නම් ඒ දෙන්නට ආදරේ කරන එක ටිකක් ලේසියි. ඇත්තටම තව කෙනෙක්ට අපි ආදරේ කරන්නේ මම ආස මේ මේ දේවල් එයා ගාව තියෙනවා. මම ආස මේ විදියේ කෙනෙක්ට, වගේ ඒ කෙනා ගැන අපි අපේ හිතේ හදාගෙන ඉන්න ප්‍රතිරූපයට. සමහර විට අපි ඒ ආදරේ කරන්නේ ඇත්තටම ඒ කෙනාට නොවෙන්න පුළුවන්.
ඉතින් විවාහ උනාට පස්සේ අපිට පේන්න ගන්නවා ඒ කෙනාගේ ඇත්තම ප්‍රතිරූපය මොකද්ද කියලා. අපි හිතන් හිටිය දේවල් කඩා වැටෙන බව තේරෙන්න ගන්නවා. ඕකට කියන්නේ disillusion කියලා. ඔන්න ඔය වෙලාවට තමා හිතෙන්නේ එයා දැන් වෙනස් වෙලා කියලා. සමහරු නම් ඇත්තටම වෙනස් වෙලා වෙන්න පුළුවන්, ඒත් වැඩි හරියක් දෙනාට වෙන්නේ අනිත් කෙනා වෙනස් වෙනවට වඩා එයා ගැන අපි හිතින් හදාගන හිටිය ප්‍රතිරූපය කඩාගෙන වැටෙන එක.
ඕකත් එක්ක ටික ටික අර මුලින් එයාට තිබ්බ ආකර්ෂණය නැති වෙන්න ගන්නවා. ඒ හින්දා ආදරේ කරපු මුල් කාලේ එයා ගැන ඔයා හිතන් හිටිය විදිය කාලෙත් එක්ක වෙනස් වෙන බව දැනගෙන ඉන්න. ඒ හින්දා හනිමුන් කාලේ දැනුන දේවල් හැමදාම නොලැබෙන බව දැන ගන්න.
📌 වෙනසක් කරන්න.
දෙන්නෙක් විවාහ වෙන්නේ සහ දිගු කාලින ආදර සම්බන්ධයකට යන්නේ අනාගතේ ගැන සුරක්ෂිත බවක් ඇති කර ගන්න. අනාගතේ ටිකක් හරි ස්ථාවර වෙයි කියන බලාපොරොත්තුවෙන්. මිනිස්සු විදියට අපි කැමතියි අනාගතේ සුරක්ෂිත වෙයි කියන හැඟීමෙන් ජිවත් වෙන්න. ඉතින් ඕකත් එක්ක විවාහ වුනාම දෙන්නගේ ජිවිතේ කරන දේවලුත් ටිකක් එකවගේ වෙන්න ගන්න.
ඒ වගේම මිනිස්සු කැමතියි හදිස්සියේ එක පාර වෙන දේවල් වලට. මිනිස්සු කැමතියි වෙනස් දේවල් කරන්න, adventures වලට, අලුත් දේවල් කරලා බලන්න.
ඒක හරියට ගෙදර ඉද්දි හිතෙනවා කොහේ හරි යන්න. කොහේ හරි ගියාම මතක් වෙනවා ගෙදර තියෙන ආරක්ෂිත බව. එතකොට මිනිස්සු කැමතියි ස්ථාවර වෙන්න වගේම වෙනස් වෙන්නත්.
ඔන්න ඔය දෙක බැලන්ස් කර ගන්න වෙනවා විවාහ වෙලා වැඩි කාලයක් තිස්සේ සතුටින් නම්. ඒ කියන්නේ ජිවිතේ ස්ථාවර කර ගන්න අතරේම එක එක වෙනස් දේවල් කරලා බලන්න.
📌 P0RN ඇත්ත නෙමේ.
ලෝකේ P0RN වීඩියෝ හැදෙන්නෙම perfect ඇඟවල්, perfect සෙක්ස් act එක්ක. එතකොට ඒ දේවල් තමා යතාර්ථය කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි P0RN වල දකින දේ යතාර්ථය කියලා හිතුවොත් ඒ කෙනාට හැමදාම ජිවත් වෙන්න වෙන්නේ අතෘප්තිමත්ව. ඒ හින්දා ඔය P0RN වල දකින්නේ රඟපෑමක් විතරක් කියලා හිතලා සැබෑ ලෝකේ ඔයාට ලැබෙන යතාර්ථයට මුහුණ දෙන්න.
📌 සමීප බව වැඩි කර ගන්න.
Intimacy කියලා තමා ඕකට කියන්නේ. ඒ කියන්නේ තව කෙනෙක් තමන්ට ලං වෙන එක කොච්චරක් දුරට ඔයාට ප්‍රශ්නයක් නැද්ද කියන එක. ඒත් කිසිම මනුස්සයෙක් ඉන්නේ තමන් ගැන තෘප්තිමත් බවකින් නෙමේ. එක්කෝ තමන්ගේ පෙනුම ගැන, එහෙම නැත්නම් තමන්ගේ වෙන මොකක් හරි දෙයක් ගැන හැමෝගෙම තියෙනවා අනිත් අයට පෙන්නන්න අකමැති දෙයක්. එතකොට තව කෙනෙක් එක්ක එකතු වෙද්දී තමන් ගොඩක් විවෘත වෙන්න වෙනවා. ඉතින් එහෙම විවෘත වෙන තැනට එන්න එක පාරම බෑ.
දෙන්නෙක් අතර එක එක ප්‍රශ්න ඇති වුනාම තමන්ට අනිත් කෙනාගෙන් වුන ප්‍රශ්න හින්දා, තමන්ව අනිත් කෙනා රවට්ටපු දේවල් හින්දා වගේ දේවල් වලින් එක්කෙනක් පෙළඹෙනවා ඒ ප්‍රශ්න ටික වහගෙන අනිත් කෙනාට විවෘත නොවී ඉන්න.
නිතරම් රණ්ඩු වෙන දෙන්නම් නම් විවෘත නොවී ඉන්න එක නැති කරන්න හරිම අමාරුයි.
සමීප බව නැති උනාම වෙන්නේ ඒ දෙන්නට එක ළඟ ඉන්න වත් බැරි තත්වෙට එනවා. අනිත් කෙනාගේ මුණ බලන්න වත් බැරි තත්වයක් එනවා. අනිත් ගෙනා ගැන හිතෙන නෙගටිව් දේවල් ටික ටික එකතු වෙලා අවසානේ ඒ කෙනා එක්ක ජිවත් වෙන එකම අමාරු වෙන්වා.
සමීප බව වැඩි උනාමත් ප්‍රශ්නයක්.
සමීප බව අඩු උනාම ප්‍රශ්නයක් වෙනවා වගේම සමීප බව වැඩි උනාමත් ප්‍රශ්න වෙන වෙලාවල් තියෙනවා.
ඒ කියන්නේ හරියට ඒ දෙන්නා අතින් අල්ලන්, තුරුල් වෙලා වගේ ඉන්නවා, ඒත් ඉන් එහා sexual relationship එකක් ගැන හිතන්නේ නැහැ. ඒකට කියන්නේ platonic relationship එකක් වගේ කියලා. ඒ කියන්නේ ලිංගික සම්බන්ධයක් වෙන්නේ නැති ආදර සම්බන්ධයක් වගේ එකක්. සමහර කපල් වලට ඔය ප්‍රශ්නේ හින්දත් විවාහය එපා වෙන්න ගන්නවා කාලයක් ගියාම. ඒ වගේ දෙන්නෙක් නම් උපදෙසක් විදියට දෙන්නේ පොඩ්ඩක් ඈත් වෙලා බලන්න, ආකර්ෂණය වැඩි කර ගන්න.
📌 පවුල තනි වෙන එකට මුහුණ දෙන්න.
ඉස්සරට වඩා දැන් මිනිස්සු ජිවත් වෙන තැන වෙනස් කරනවා වැඩියි. එක්කෝ ලංකාවේ ඉගෙනගෙන පිට රට පදිංචියට යනවා. එහෙම නැත්නම් රැකියාව හින්දා වෙන ප්‍රදේශයකට පදිංචියට යනවා. ඔය සංක්රමනයත් එක්ක අපි කලින් හදාගෙන හිටිය බැඳීම් සේරම දාලා දෙන්නෙක්ට වෙනම තැනට තනි වෙන්න වෙනවා. එතකොට අර කලින් තිබ්බ බැඳීම් සේරගෙන්ම ලැබුන මානසික සතුට එක්කෙනෙක්ට දෙන්න වෙනවා. මේ හිර උන දෙන්නට සිද්ද වෙනවා කලින් අනිත් ආශ්‍රයන් නිසා දැනුන සේරම හැඟීම් ටික අනිත් කෙනා දෙයි කියලා බලාපොරොත්තු වෙන්න. ඒත් ඒවා එක්කෙනෙක්ට විතරක් දෙන්න පුළුවන් කියන එක කරන්න හරි අමාරු දෙයක්.
ඒ හින්දම අනිත් කෙනාට හිතෙන්න ගන්නවා මෙයාගෙන් මට ලැබෙන්න ඕන දේ ලැබෙන්නේ නෑනේ. මෙයා මගේ ජීවිතේට උදව් කරන්නේ නෑනේ. මෙයාව මට මදි වගේ දේවල්. සමහර විට කෙනෙක් එයාගේ උපරිමයෙන් කරත් ඒකත් අනිත් කෙනාට මදි වෙනවා. ඔය විදියේ ඉච්චා භංගත්වයට පත් වෙනවා.
ඒ හින්දා දෙන්නම ඒක තේරුම් අරන් ඒකට මුහුණ දෙන්න.
📌 මුලින් තමන් තමන්ට ආදරේ කරන්න
ඇමරිකාවේ හිටියා Ram Dass කියලා ආධ්‍යාත්මික නායකයෙක්. එයා මෙහෙම කියලා තිබ්බා.
"“I can do nothing for you but work on myself...you can do nothing for me but work on yourself!”
"මට ඔයා වෙනුවෙන් මොකුත් කරන්න බෑ. මට පුළුවන් මාව වෙනස් කර ගන්න. ඔයාට බෑ මම වෙනුවෙන් මොකුත් කරන්න. හැබැයි ඔයාට පුළුවන් ඔයාව වෙනස් කර ගන්න." ඕක තමා සාමාන්‍ය තේරුම.
තමන්ට ආදරේ කරන්නේ නැති කෙනෙක් තව කෙනෙක්ට ආදරේ කරනවා කියන්නේ ඒ දෙන්නා සෑහෙන ප්‍රශ්න ගොඩක් ඇඟේ දා ගන්නයි යන්නේ. තමන්ට තමන් ගැන හිතලා සතුටු වෙන්න බැරි කෙනෙක් තව කෙනෙක්ව තමන්ගේ ජීවිතේට ලං කර ගන්නේ ඒ කෙනාගෙන් තමන්ගේ සතුට හොයන්න. ඇත්තටම ඒ වගේ කෙනෙක්ගේ තියෙන්නේ අනිත් කෙනාට ආදරයක් නෙමේ. තමන්ගේ අඩුවක් අනිත් කෙනාගෙන් වහ ගන්න තමයි ඒ වගේ කෙනෙක් ආදරේ කරන්න කෙනෙක් හොයන්නේ.
ඒ වගේ කෙනෙක්ට කොච්චර කලත් මදි. ඒ හින්දා තමන් තමන් ගැන සැහීමකට පත් වෙන්නේ නැත්නම් තව කෙනෙක්ගෙන් ඒ හිඩැස පුරවන්න නම් හිතන්න එපා.
📌 අනිත් කෙනාගේ personality එක මරන්න එපා.
අවසාන සහ වැදගත්ම දේ තමා මේක.
ආදරේ කරන කාලේ තව කෙනෙක්ට ආකර්ෂණය වෙන්න ඒ කෙනාගේ බාහිර පෙනුමට අමතරව තව දේවල් තියෙනවා. එයා කොච්චර දුරට නිදහස් කෙනෙක්ට, ඒ කෙනාගේ තීරණ ගැනීමේ හැකියාව වගේ ඒ කෙනාගේ personality එකත් බලපානවා.
කොහොම හරි සම්බන්ධයක් පටන් අරන් ටික කාලයක් යද්දී අනිත් කෙනාගේ ජිවිතේ තමන්ගේ ජිවිතේ කොටසක් කරන්න ගිහින් ආදරේ කරපු මුල් කාලේ හිටිය කෙනාව වෙනස් වෙනවා. අනිත් කෙනාගේ නිදහස, එයාගේ තීරණ ගන්න තිබ්බ හැකියාව වගේ දේවල් වලට සීමා වැටෙනවා. එතකොට ඒ කෙනාගේ අනන්‍යතාවය එයාටම නැති වෙනවා, එයාගේ ඇඟ ඇතුලේ හිටිය personality එක මැරෙනවා. එතකොට එයාට හිතෙනවා මම නිකන් උගුලක හිර වෙලා වගේ කියලා.
බැන්දට පස්සේ "ජොබ් එක නවත්තලා ගෙදර ඉන්න" කියන එක මේ කිව්ව එක තේරුම් ගන්න හොඳම උදාහරණයක්.
අනිත් කෙනාට සීමා දාන එක සීමා දාන කෙනාටත් බලපානවා. කලින් නිදහසේ එහෙ මෙහෙ ගිය කෙනාව දැන් වෙනස් කරලා හින්දා. කලින් ඒ කෙනාට තිබ්බ ආකර්ෂණය නැති වෙන්න ගන්නවා. සමහර විට මුල් කාලේ ආකර්ෂණ වුනේ එයාගේ මොන මොන ගති ගුණ වලටද කියලත් අමතක වෙනවා.
තව සමහරු කරන ලොකු වැරද්දක් තමා මුලින් තමන්ගේ personality එක නැති කරගෙන ඊළඟට කියනවා අනිත් කෙනාගේ personality එකත් වෙනස් කර ගන්න කියලා. උදාහරණයක් විදියට මෙහෙම කියමු.
"මම මගේ යාළුවෝ හම්බෙන්න යන්නේ නැති හින්දා ඔයා ඔයාගේ යාළුවො හම්බෙන්න යන්න ඕනත් නෑ. ගෙදරට වෙලා ඉන්න. ඔයාට යන්න ඕන ගමනක් තියෙනවා නම් මාත් එක්ක යන්න"
කිසිම වෙලාවක තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ ජිවිතේ වෙනස් කරන්න යන්න එපා. එයාගේ personality ය මරන්න එපා.