ලිංගික අධ්‍යාපනය ලෙස අදහස් කරන්නේ පුද්ගලයෙකුගේ ජිවිතයේ ලිංගිකත්වය සම්බන්ධ වන විවිධ අවස්ථා වලදී අදාළ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතා ඇති කිරීමයි. දරුවෙකුට ලිංගික අධ්‍යාපනය ලබා දීම ලෙස අදහස් කරන්නේ එම දරුවාට ලිංගික ක්‍රියා වල යෙදීම සඳහා උපදෙස් දීම නොව එම දරුවාගේ වයසට හා මට්ටමර අනුව එම දරුවා දැන සිටිය යුතු දැනුම හා අවශ්‍ය කුසලතා ලබා දීමයි.
මෙලෙස දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දීම තුළින් ඔවුන් ලිංගික ක්‍රියා සඳහා නැඹුරු වන බවට සමාජයේ පවතින මිත්‍යා මතය කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයක් මඟින් සනාථ වී නැහැ. ලිංගිකත්වය පිලිබඳ අධ්‍යාපනය ලබා දීම තුලින් දරුවාගේ දැනුම සහ කුසලතාවක් වර්ධනය වෙනවා මිස දරුවා අනවශ්‍ය ලිංගික සම්බන්ධතා කරා යොමු වන්නේ නැහැ. කෙසේ වුවත් තම සංස්කෘතියේ වටිනාකම් ද රැක ගනිමින් මෙම දැනුම ලබා දීම වැදගත්. දෙමාපියන් මෙම දැනුම ලබා නොදීම සිදු කළහොත් දරුවන් තම සම වයසේ මිතුරන් සහ අන්තර්ජාලය ඔස්සේ මේවා ගැන වැරදි තොරතුරු ලබා ගැනීමක් විය හැකියි. එසේම ලිංගික දැනුම ලබා දීම ඉතා සංවේදීව සිදු කල යුතු වෙනවා. අර්ධ වශයෙන් දැනුම ලබා දීම නිසා දරුවා තුල කුතුහලයක් ඇති වීම තුලින් දරුවා එම ක්‍රියා ප්‍රායෝගිකව අත්හදා බැලීම් වලටද යොමු විය හැකියි.
දරුවෙක්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා නොදීම නිසා එහි ප්‍රතිවිපාක දරුවා කුඩා කාලයේ සිට වැඩි වියට පත් වන කාලය තුල ඕනෑම අවස්ථාවකදී දරුවාට අත් විඳීමට සිදු විය හැකියි. සමාජයේ බහුලවම සිදු වන ළමා ලිංගික අපචාර වලටද මෙම ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා නොදීම තුළින් තම සිරුර නිසි ලෙස ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිලිබඳ නිසි අවබෝධයක් දරුවන්ට නොමැති කම.
නිසි ලිංගික අධ්‍යාපනය නොමැති වීම නිසා නව යොවුන් වියට එළඹෙන දරුවන්ගේ ශරීරයේ සිදු වන වෙනස්කම් වලදී විශේෂයෙන්ම ගැහැණු දරුවන් තම ඔසප් වීම් සිදු වීම වැනි අවස්ථා වලදී බොහෝ සෙයින් අපහසුතාවයට පත් වෙනවා. එසේම එම වයසේ දරුවන් තම ශරීරය වෙනත් අයගේ ශරිරයන් හා සැසඳීම තුලින්ද ඔවුන් අපහසුතාවයට පත් වෙනවා. එසේම අඩු වයසින්ම ගැබ් ගැනීම් සහ විවිධ ලිංගාශිත රෝග වැළඳීමේ ද අවදානමක් තිබෙනවා.
දරුවාගේ වයස අවුරුදු 2-2.5 පමණ සිට දරුවන්ට මේ පිලිබඳ කුතුහලයක් ඇති වී ඔවුන් ප්‍රශ්න අසමින් දැනුම සෙවීම ආරම්භ කරනවා. එම අවධියේ සිටම දරුවාගේ මුල් ගුරුවරු ලෙස දෙමාපියන් දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දීම වැදගත්. එම අවධියේදී දරුවා නඟන ප්‍රශ්න වලදී අපහසුතාවයට පත් වීමෙන් තොරව අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා දෙමාපියන් පෙර සුදානමින් සිටිය යුතුයි. මෙම වයසේදී සියළු ලිංගික කාරණා ගැන දැනුම ලබා දීමක් අවශ්‍ය වන්නේ නැහැ. ක්‍රමානුකුලව දරුවාගේ වයස සහ වර්ධනය අනුව නිසි ලිංගික අධ්‍යාපනය ලබා දීම කල යුතුයි.
පළමු පියවර ලෙස තම ශරීර අවයව සහ ඒවා හඳුන්වන නම් ආදිය දරුවාට කියා දිය හැකියි. දරුවා නාවන අවස්ථාවේදී සහ ඇඳුම් මාරු කරවන අවස්තාව මේ සඳහා යොදා ගත හැකියි.
දෙවන පියවර ලෙස දරුවාගේ පෞද්ගලික අවකාශය (personal space) පිලිබඳ දැනුවත් කිරීම කල හැකියි. එහිදී බාහිර පාර්ශවයන් ට තම ශරීරයේ අවයව ස්පර්ශ කිරීමට අවසර දෙන ස්ථාන, තම අවසරයකින් තොරව එලෙස ස්පර්ශ කිරීමට ඉඩ නොදිය යුතු ස්ථාන සහ හොඳ ස්පර්ශ මොනවාද නරක ස්පර්ශ මොනවාද යන්න ගැන දරුවා දැනුවත් කල යුතුයි.
පසුව දරුවා තමා මෙලොවට ඉපදුනේ කෙසේද දරුවන් බිහි වන්නේ කෙසේද යන්න ගැනත් ප්‍රශ්න කරනවා. එම අවස්ථාවේදීද දෙමාපියන් අපහසුතාවයට පත් වීමෙන් තොරව දරුවාගේ කුඩා මනසට ගැලපෙන පරිදි අවශ්‍ය උත්තරයක් දීමට දෙමාපියන් සුදානමින් සිටිය යුතුයි. මුලිකවම දෙමාපියන් මෙම කාරණා ගැන නිසි දැනුමක් ලබා තිබීම වැදගත්. එම අවස්ථාවේදී බොහෝ දෙමාපියන් ලජ්ජාවට සහ අපහසුතාවයට පත් වෙනවා. එසේ වුවත් ඒ බව දරුවාට නොපෙන්විය යුතුයි. බොහෝ විට එවැනි අවස්ථා වල දෙමාපියන් දරුවාට තරවටු කිරීම, ප්රශ්නය මඟහැරීම, සමච්චලයට ලක් කිරීම සිදු කරනවා. නමුත් කිසි විටෙකත් මේවා නොකළ යුතුයි. එමඟින් සිදු වන්නේ දරුවා දෙමාපියන් සමඟ ඇති කර ගන්න සම්බන්ධතාව උපන්ගෙයි ම මරා දැමීමක්. එසේම සත්‍ය නොවන දේ සහ මනඃකල්පිත දේ ද දරුවාට පැවසීම නොකළ යුතුයි. බොහෝ දරුවන් එම අවස්ථාවේදී දෙමාපියන් ලබා දෙන සරල පිළිතුරකින් සෑහීමකට පත් වෙනවා.
දරුවා නව යොවුන් වියට පැමිණීමත් සමඟ ශරීරයේ අවයව වල සිදු වන වෙනස් වීම, ඔසප් වීම, ශුක්‍ර මෝචනය, ස්වයං වින්දනය වැනි කරුණු ගැන දරුවා දනුවන් කිරීම වැදගත්. එසේම දරුවන් සාදන ආකාරය, දරු උපත් පාලනය කර ගන්නා ආකාරය, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් වැළකෙන අකාරය ගැනද විද්‍යාත්මකව දැනුවත් කිරීම අවශ්‍යයි.
දරුවන් හට ලිංගික අධ්‍යාපනය ලබා දීම දෙමාපියන්ගේ සහ පාසල් යන සමයේදී ගුරුවරුන්ගේද වගකීමක් වෙනවා. මෙම ලබා දෙන දැනුම දරුවාගේ ළමා කාලය, නව යොවුන් විය, තරුණ විය සහ විවාහයෙන් පසුව ගත කරන ජීවිතය සඳහාද උපයෝගී වෙනවා. මෙම දැනුම ලබා දීම එදිනෙදා ජීවිතයේම කොටසක් කර ගත හැකියි. මාර්ගයේ ගමන් කිරීමේදී දකින පුද්ගලයින්, ප්‍රදේශයේ සහ නෑදෑයන්ගේ පවුල් වල ඇති වන සිද්ධි සහ අසන්නට ලැබෙන පුවත් දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා අවස්තාවන් බවට පත් කර ගත හැකියි. වගකීමක් ඇති දෙමාපියන් ලෙස දරුවාගේ මෙම අනාගත ආයෝජන අවස්තාව අහිමි කර නොගන්න.