අපචාරයකින් බේරෙන හැටි ළමයට කියලා දෙන්න : Teach Your Child How to Escape from a Sexual Harassment




මේ දවස් වල එක ප්‍රවෘත්තියක් යනවා අවුරුදු 16 දරුවෙක්ව දුෂණය කරපු සිද්දියක් ගැන. 

ඒ සිද්ධිය වුනේ කොහොමද?, කලේ කවුද කියන එක අපි තාම දන්නේ නැහැ.

හැබැයි කුඩා දරුවන්ට වෙන අපචාර වළක්වා ගන්න දෙයක් කරන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා. ඒකට මුලින්ම දරුවන්ට හරි ලිංගික අධ්‍යාපනයක් දීලා තියෙන එක ගොඩක් වැදගත්. 

දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙනවා කිව්ව ගමන්ම මේ ගැන මිනිස්සුන්ගේ ලොකු විරෝධයක් එනවා. ඒ ළමයින්ට මේ දේවල් කියලා දුන්නම ළමයි මේ දේවල් වලට වැඩියෙන් යොමු වෙයි කියලා හිතලා. ඒත් වැරදි දෙයක් ගැන දැන ගත්තා කියලා ඒ දේට වැඩියෙන් යොමු වෙන්නේ නැහැ. ඒ වගේම අපචාර වගේ දේකින් ගැළවෙන හැටිත් දරුවන් දැන ගන්න එක හරිම වැදගත්.

📌 දරුවෙක් අපයෝජනයකින් වලක්වා ගන්නේ කොහොමද?

මේකට මුලින්ම කරන්න ඕන දේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන එක. ඒ කියලා ලිංගිකත්වය ගැන හැම දේම කියලා දෙන්න ඕන නෑ. ළමයි දැන ගන්න ඕන සරල දේවල් ටික කියලා දුන්න නම් ඇති. අපි බලමු පියවරෙන් පියවර තමන්ගේ දරුවට මේ දේවල් කියලා දෙන්නේ කොහොමද කියලා. 

▶ ළමයට දෙයක් කියලා තේරුම් කරන්න පුළුවන් වයස වෙද්දී මේ ගැන කියල දෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 4-5 වගේ වයස. කලින් කිව්වා වගේ මේවා ගැන හැම දෙයක්ම කියලා දෙන්න ඕනා නැහැ.

▶ මුලින්ම දරුවට එයාගේ පෞද්ගලික අවයව/ ප්‍රදේශ මොනාද කියලා උගන්නන්න. මේ විදියේ කියලා දෙන්න ඕනා පෞද්ගලික අවයව 3ක් තියෙනවා.

1. පපු ප්‍රදේශය.

2. තට්ටම්, පසුපස ප්‍රදේශය

3. ලිංගික, කකුල් අතර ප්‍රදේශය 

මේ සරල දේවල් 3 කියලා දෙන එක ඕනෑම දෙමාපියෙක්ට කියලා දෙන්න බැරි වෙන්න විදියක් නැහැ.

මේ අවයව 3 හඳුන්වලා දීලා ඉවර වෙලා ඒ අවයව වල වැදගත්කම ගැන කියලා දෙන්න.

මේ අවයව තමන්ට විතරක් අයිතියි කියල කියලා දෙන්න. තව කෙනෙක් ඒ අවයව ස්පර්ශ කරන්න ඕනා නෑ කියල කියලා දෙන්න.

දැන් දරුවා දන්නවා වැරදි පුද්ගලයෙක්ගෙන් ලැබෙන වැරදි ස්පර්ශයක් (bad touch)  කියන්නේ මොකද්ද කියලා.

▶ දෙවැනි පියවර තමයි දරුවාට කියලා දෙන්න කලින් කිව්ව විදියේ වැරදි ස්පර්ශයක් ලැබුණාම මොකද්ද කරන්න ඕනා කියලා. 

1. පළවෙනි දේ තමයි ඒ වගේ වෙලාවක කෑ ගහලා "එපා" කියන්න කියලා දෙන්න.

2. දෙවෙනි පියවර ඒ තැනින් ඉක්මනින් ඉවත් වෙන හැටි කියලා දෙන්න.

3. තුන්වෙනි පියවර දරුවාට කියලා දෙන්න හැකි ඉක්මනින් ආරක්‍ෂිත තැනකට හෝ ආරක්ෂිතයි කියලා වැඩිහිටියෙක් ගාවට යන්න. ආරක්‍ෂිත වැඩිහිටියා දෙමව්පියන් වෙන්න පුළුවන්, නැත්නම් පාසල් ගුරුවරු වෙන්න පුළුවන්. ඒ අය ගැන කියලා දෙන්න.

▶ හැබැයි මේ දේවල් එක පාරක් විතරක් කියලා දීලා බැහැ. නිතර නිතරම අභ්‍යාසයක් වගේ මේවා කියලා දෙන්න ඕනා. එහෙම වුනොත් විතරයි ඇත්තටම අපචාරයක් වගේ දෙයක් වුන වෙලාවට ඒකෙන් බේරෙන්න ළමයට පුළුවන් වෙන්නේ. 

මේ ගැන කලිනුත් පෝස්ට් එකක් දැම්මා. එක කියෙව්වේ නැති අය ගිහින් බලන්න.

👉 https://www.facebook.com/xeducationsl/posts/162483555634349

📌 සමහර දෙමාපියන් හිතනවා මේ විදියේ අපචාර වෙන්නේ ගැහැණු දරුවන්ට විතරයි කියලා  ඇත්තටම ඒක එහෙම නෙමේ. ඔබ හිතනවාට වඩා වැඩියෙන් පිරිමි දරුවනුත් මේ විදියේ අපචාර වලට ලක් වෙනවා. ඒ හින්දා ගැහැණු පිරිමි හැම දෙනාටම මේ ගැන කියලා දෙන එක හරිම වැදගත්.

📌 තව දෙයක් කියන්නම්, දැනට රටේ නඩු අහලා උසාවි වල නිතිය ක්‍රියාත්මක වෙන විදිය අනුව මේ වගේ ළමා අපචාරයක් ගැන නඩුවක් දැම්මොත් අවසන් තීන්දුව එන්න සාමාන්‍යයෙන් අවුරුදු 10-15 වගේ යනවා. 

ඉතින් කිසිම ගැහැණු දරුවෙක් කැමති නැහැ තමන්ගේ තරුණ කාලය, විවාහය, අධ්‍යාපනය වගේ දේවල් උසාවි ගානේ නඩු වලට කැප කරන්න. ඒ හින්දම ගොඩක් වෙලාවට මේ වගේ වෙන අපචාර වාර්තා වෙනවා හරිම අඩුයි. වෙච්ච දේ දරාගෙන එතනින් ඉස්සරහට යන්න ගොඩක් ගැහැණු ළමයි තීරණය කරනවා.  

📌 ඒ වගේම සමහර දරුවන් අපචාරයට ලක් වෙන්නේ බාහිර අයගෙන් නෙමේ, තමන්ගේ සමීපතම වැඩිහිටියන් අතින්. ඒ වගේ අයව පිටින් දැකලා වත් අඳුර ගන්න බැහැ. ඒ හින්දා දරුවා නිතර තනියෙන් ළඟ ඉන්න අය ගැන සැලකිලිමත් වෙන්න. 

තමන්ගේ දරුවා ව පරිස්සම් කර ගන්න. දරුවෝ කියන්නේ සම්පතක්.💗

Previous Post Next Post