මීට මාස ගාණකට කලින් YouTube එකේ trending උන "අන්සතු ඔබ" සින්දුවේ comments ටික කියෙව්වා නම් ලංකාවේ සෑහෙන දෙනෙක් ඔය අත්දැකීමට මූණ දීලා තියෙනවා කියලා තේරෙනවා.
තමන් ආදරේ කරන කෙනා අනියම් සම්බන්ධතා වල පැටළෙන එක හින්දා ඒ අයට මානසික ආතතිය, විෂාදය වගේ තත්ත්ව වෙනකල් එනවා. තමන්ගේ ගෙදර, රැකියාවේ, ළමයි බලා ගන්න එකේ පවා ප්‍රශ්න එනවා ඒ අයට.
අනියම් සම්බන්ධතාත් එක්කම මත්පැන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන එකත් ළඟ ළඟ යනවා. මත්ද්‍රව්‍ය සහ අනියම් සම්බන්ධතා කියන්නේ ගොඩක් වෙලාවට ගහට පොත්ත වගේ එකටම බැඳුණු කතාවක්, ඒ කියන්නේ මත්ද්‍රවය හින්දා අනියම් සම්බන්ධතා වලට යොමු වෙන්න ඉඩ තියෙනවා, අනියම් සම්බන්ධතා හින්දා මත්ද්‍රව්‍ය වලට යොමු වෙන ප්‍රවණතාවයක් තියෙනවා.
හැබැයි ගොඩක් අය ඔය වගේ අනියම් සම්බන්ධතාවක් පටන් ගන්නේ මුලින් එහෙම හිතලා ඕනකමකින් නෙමේ. හැමෝටම වගේ ඕනා තමන් දැනට ඉන්න relationship එක විතරක් තියාගෙන ඉන්න. ඒත් එයාලටවත් නොදැනුවත්ව තමයි එයාලා අනියම් සම්බන්ද වලට පැටලෙන්නේ. අන්තිමේ එයාලටවත් හිතා ගන්න බෑ ඇයි එයාලා ඒ වගේ දේකට පැටළුනේ කියලා.
දැන් බලමු තමන් ආදරේ කරන කෙනාව හරි තමන් බැඳලා ඉන්න කෙනාව ඒ විදියේ අනියම් සම්බන්ධයකට යන්න නොදී තියා ගන්න කරන්න පුළුවන් දේවල් මොනාද කියලා.
📌 මාස 6-7ක් වත් බඳින්න කලින් ආදරේ කරන්න.
ආදරේ කියන වචනේ ඇහුන ගමන් ඔළුවේ මැවෙන චිත්‍රය මොන වගේද. ඕක ගොඩක් වෙලාවට අපි ඉන්න වටපිටාවේ දකින දේවල් අනුව වෙනස් වෙනවා, බලන චිත්‍රපටි, සින්දු, Tik tok එකට වීඩියෝ කරලා දාන කපල්, instagram එකේ හැමදාම ලස්සනට ෆොටෝ දාන කපල් දේවල් වගේ දකින එක එක දේවල්. එතකොට ඕව දැක්කම හිතෙන්න ගන්නවා ආදරේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා.
"ආදරේ කියන්නේ එයා හැම වෙලේම මගේ ළඟම ඉන්න ඕනා, එයා නැතුව ජිවිතයක් නෑ, එයයි මමයි කියන්නේ දෙන්නම එක්කෙනක්" වගේ හිතෙන්න ගන්නවා. passionate love කියලා ඕකට ඉංග්‍රීසි වලින් කියන්නේ. ඒකට ගැළපෙන සිංහල තේරුමක් මොකක් හරි හිතා ගන්න.
කොහොම හරි ඔන්න දැන් තනිකඩව හිටපු එකා කවුරු හරි එක්ක යාලු වෙනවා. එතකොට මොළෙන් ශ්‍රාවය වෙන ඔක්සිටොසින් (Oxytocin) හෝමෝනත් එක්ක එයාටත් තේරෙන්න ගන්නවා, "අඩේ ඇත්ත නේන්නම්, අර ෆිල්ම් වල දකිනවා වගේ තමා, එයා තමා මගේ ජිවිතේ, එයා මම වෙනුවෙන්ම ආව කෙනෙක් නේද දෙය්යනේ" කියලා.
හැබැයි ඔය විදියේ අම්මට සිරි වෙන love එක දැනෙන්නේ මුල් මාස 6-7 ක් වගේ යනකම් විතරයි. ඊට පස්සේ ඔන්න අර තිබ්බ passionate ලව් එක ටික ටික අඩු වෙන්න ගන්නවා. සාමාන්‍ය ජිවිතේ මිනිස්සුන්ට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ ඔන්න දැන් තමා. එතකොට එන්න ගන්නවා "අනේ අර මුල් කාලේ තිබ්බ චූන් එක දැන් නෑනේ..." වගේ හැඟීමක්.
හැබැයි ඕක ඔයාගෙවත් ඔයා ආදරේ කරන කෙනාගේ වත් ප්‍රශ්නයක් නෙමේ, ඒක එහෙම තමා. ඔන්න ඔය දේ හරියට තේරුම් තේරුම් ගන්නේ නැති කෙනෙක්, අර මුල් කාලේ දැනුන feeling එක ආයේ ගන්න හිතාගෙන තුන් වෙනියෙක් ගාවට යන්න ලොකු ඉඩක් තියෙනවා.
ඒ හින්දා යාළු උන ගමන් හරි කෙනෙක්ව ගෙදරින් හොයලා දුන්න ගමන් හරි බඳින්නේ නැතුව ටික කාලයක් ඉඳලා බලන්න passionate love එකක් නැතුවත් ඔයාලා දෙන්නට එකට ඉන්න පුළුවන්ද කියලා.
📌 එයාව හොඳම යාළුවා කර ගන්න.
කලින් කිව්වනේ ආදරේ කරන මුල් මාස කිහිපයේ තියෙන passionate love එක ටික දවසකින් නැති වෙනවා කියලා. එතකොට ඔයා ආදරේ කරන්න පටන් අරන් දැන් මාස ගානක් ගිහින් නම්, "අර මුල් කාලේ වගේ ඔයා මට ආදරේ නෑනේ, ඇයි ඔයාට ඒ කලේ වගේ මට ආදරේ කරන්න බැරි" වගේ දේවල් කිය කිය ඉඳලා වැඩක් නෑ.
මොකද කොහොම කලත් ඒ කාලේ වගේ ආයේ දැනෙන්නේ නෑ. ඒ කියන්නේ passionate love එක හෙව්වට ඒක ආයේ ලැබෙන්නේ නෑ.
ඒ හින්දා මුල් මාස කිහිපයෙන් පස්සේ මුල් කාලේ තිබ්බ passionate love එක වෙනුවට එයා එක්ක compassionate love එකක් ඇති කර ගන්න. ඒ කියන්නේ ඔයාගේ ජිවිතේ ඉස්සරහට ඔයා එක්ක යන ගමන් සගයා එයා කර ගන්න. එහෙම කර ගත්තොත් passionate love එක නැතුවත් ගොඩක් කල් ඔයාලගේ ආදරේ ඉස්සරහට දුවන්න පුළුවන්.
📌 සතියට පැය දෙකක් වත් එක දිගට කතා කරන්න.
දෙන්නෙක් අතර තියෙන සන්නිවේදනයේ දුර්වලතා තව හේතුවක් විදියට කියන්න අනියම් සම්බන්දෙකට කෙනෙක් යන්න. ඔයාලා දෙන්නා අතරේ හොඳ සන්නිවේදනයක් නැත්නම් ඔයාලා දෙන්නගේ ඕන එපාකම් මොනාද, ලිංගිකත්වයෙන් ඔයාලා ආස දේවල් මොනාද, ඔයාලගේ ජිවිත වල වටින, කැමති දේවල් මොනාද කියලා හරියට දන්නේ නැත්නම් පිට කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති වෙන්න ඉඩ තියෙනවා.
පිරිමි කට්ටිය තමන්ගේ ලිංගික අවශ්‍යතා හොයාගෙන බාහිර සම්බන්ධ වලට යන්න ඉඩ වැඩියි.
ගැහැණු අය "තමන් එක්ක කතා කරන්න කෙනෙක් නෑ, තමන්ගේ හැඟීම් තේරුම් ගන්න කෙනෙක් නෑ, තමන්ගේ හොඳක් කියන්න කෙනෙක් නෑ, තමන්ට තෑග්ගක් දෙන්න වත් කෙනෙක් නෑ" වගේ හේතු හින්දා තව කෙනෙක් ගාවට යන්න තියෙන අවස්තාව වැඩියි.
හැබැයි ඕක ඔහොමම වෙනවා කියලා නෑ, ගැහැණු, පිරිමි දෙකටම ඔය හේතු අදාළ වෙන්න පුළුවන්.
ඒ හින්දා තමන් ආස කරන, එපා කරන දේවල් නිතරම අනිත් කෙනා එක්ක කතා කරන්න.
සතියකට අඩුම තරමේ සතියට පැය 2ක් වත් ඔයාලා දෙන්නට කතා කරන්න තියා ගන්න. ඒ පැය 2 එක දිගට පැය දෙකක් වෙනවා නම් හොඳයි. ඒ කිව්වේ දවසකට විනාඩි 30 ගානේ දවස් 4ක් කතා කරන් නැතුව එක දිගට පැය 2ක්ම කතා කරන්න තියෙනවා නම් හොඳයි.
මොකද පැය 2ක් වත් කතා කරගෙන යද්දී තමා අර ඇතුලේ තියෙන දේවල් සේරම එළියට එන්නේ. හරිම නිදහස් බවක් දැනෙන්නේ.
📌 ගිනි දැල්ල පත්තු කරන්න.
කාවවත් ගිනි තියන්න කියලා නෙමේ මේ ගිනි දැල්ල පත්තු කරන්න කියලා කියන්නේ. spark කියන වචනේ තමා මට කියන්න ඕන වෙලා තිබ්බේ.
ඒ කියන්නේ මේකයි. මුලින්ම කිව්වනේ මුල් මාස කිහිපයෙන් පස්සේ අර තියෙන passionate love එක නැති වෙනවා කියලා. ඒක තේරුම් අරන් දැන් ඔයලා දෙන්නා හොඳම යාළුවො වගේ ඉන්න Compassionate love එකකුත් තියාගෙන දෙන්නා ඉන්නවා කියලා හිතමු. ඒත් වැඩේ කියන්නේ ඕකත් ටික දවසක් යද්දී මදි වෙනවා.
එතකොට නිකන් තේරෙන්න ගන්නවා ජිවිතේ එක තැන, කිසිම happening ගතියක් නෑ වගේ කියලා. ඔන්න ඕක නොදෙන්න සැරින් සැරේට අර නිවිලා ගිය ගිනි දැල්ල පත්තු කරන්න වෙනවා.
ඉඳලා හිටලා dinner එකකට එළියට යන්න, කොහේ හරි ඇවිදින්න යන්න, එයාට තෑග්ගක් දෙන්න, එයාට ආදරෙයි කියන්න වගේ දේවල් කරන්න වෙනවා. ලිංගිකත්වය ගැනත් අළුතෙන් දෙයක් try කරලා බලන්න පුළුවන්.
ඔය වගේ පොඩි පොඩි දේවල් කරලා මුල් කාලේ තිබ්බ passionate love එක සැරින් සැරේ පොඩ්ඩක් පත්තු කරලා ගත්තේ නැත්නම්, ඔයා ආදරේ කරන කෙනා ඒ දේවල් හොයාගෙන තව කෙනෙක් ගාවට යන්න අවස්තාවක් තියෙනවා.
📌 පොදු අරමුණු මොනාද කියලා තේරුම් ගන්න.
අපි හැමෝටම තියෙනවා අපිට අනාගතේ කරන්න තියෙන දේවල්, අපි වටිනාකම් දෙන දේවල් වගේ දේවල්.
ඔයාලා දෙන්නගේ ජිවිත වල ඒ වගේ පොදු හර පද්ධතියක් (core values) නැත්නම් අන්න ඒ වගේ වෙලාවක ඔයාලගේ ආදරේ ප්‍රශ්න ඇවිත් වෙන සම්බන්ධතා වලට යන්න පුළුවන්.
ඕක තව උදාහරණ වලින් කියනවා නම් මෙහෙමයි, එයාට ඉක්මනට බඳින්න ඕනා, හැබැයි ඔයාට දැන්ම එහෙම දෙයක් ඕන නෑ
එයා ආගමට දහමට ගොඩක් ලැදි ආධ්‍යාත්මික කෙනෙක්, හැබැයි ඔයා එහෙම නෑ.
ඔන්න ඔය වගේ ඔයාලා දෙන්නගේ අරමුණු එක පැත්තකට යන්නේ නැත්නම් ඔයා ආදරේ කරන කෙනා වෙන සම්බන්දෙකට යන්න ඉඩක් තියෙනවා.
ඒ හින්දා ඔයාලා දෙන්නගේ පොදු හර පද්ධති මොනාද කියලා හොයා ගන්න.
සමහර විට ඒක ඔයාලා දෙන්නා එකට කරන බිස්නස් එකක් වෙන්න පුළුවන්, ඔයාලා දෙන්නගේ ළමයි වෙන්න පුළුවන්, travel with wife වගේ එකට ට්‍රැවල් කරන එක වෙන්න පුළුවන්, ඔයාලා දෙන්නා ඔයාලගේ ජොබ් වලින් ඉහළට යන එක වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල්.
ඒ විදියට ඔයාලා දෙන්නගෙම අරමුණු එකම පැත්තකට යනවා නම් ඒ සම්බන්දය වැඩි කාලයක් තියාගෙන යන්න පුළුවන්.
📌 පෞර්ෂත්ව ආබාධ ගැන සැළකිලිමත් වෙන්න.
පෞර්ෂත්ව ආබාධ තියෙන අය නිතරම හොයනවා තමන්ව excite වෙන දෙයක්, හැම වෙලේම අලුත් දෙයක්, වෙනසක් හොයනවා. සතුටක් දැනෙද්දී මොළයෙන් ශ්‍රාවය වෙන ඩොපමින් හෝමෝන පස්සේ යනවා ඒ අය. ඩොපමින් ශ්‍රාවය වෙන්න නිතර අලුත් දේවල් ඕන වෙනවා එයාලට. serial adulterer කියලා කියනවා ඒ වගේ අයට. ඒ කියන්නේ නිතර නිතර ආදර සම්බන්ධතා පටන් ගන්නවා. එකක වැඩි කල් ඉන්නේ නෑ. එක පාර දෙක තුන රන් කරනවා. අන්න ඒ වගේ අය.
ඔයා ආදරේ කරන කෙනාගේත් ඒ වගේ ගති ලක්ෂණ තියෙනවා නම් උපදේශන සේවා තියෙනවා. ඒවාට දෙන්නම එකට යන්න.
📌 නිතර සැක කරන්න එපා.
සමහර කපල් ඉන්නවා දැකලා තියෙනවද හැම වෙලේම අනිත් කෙනා ගැන සැකෙන් මයි ඉන්නේ.
ඉතින් ඒ වගේ අය හැම වෙලේම වගේ අනිත් කෙනා ගැන තියෙන සැකය හින්දා එයාට අඩම්තේට්ටම්, නොන්ඩි කරනවා. ඔන්න ඔය විදියේ කරන අඩම්තේට්ටම් හින්දම එයා වෙන සමබන්දෙකට යන්න පුළුවන්.
ඒ කියන්නේ මුලින් එහෙම වෙන සම්බන්ධයක් තිබිලා නැතුවත් තමන්ගේ සහකාරයා තමන්ව සැක කරන්න ගන්නවා. ඒ සැක කරන එක ඉවසන් ඉන්න බැරි තැන, ඒක මානසික ආතතියක් වෙනකල් ඇවිත් යනවා වෙන කෙනෙක් හොයාගෙන.
ඔයාලා දෙන්නත් ආදරේ කරද්දී ඔය වගේ නිතර සැක කරන දෙන්නෙක් නම් පොඩ්ඩක් පරිස්සමින්.
ඒ වගේ පෞර්ෂත්ව ආබාධ, නිතර සැක කරන එක වගේ මානසික රෝග, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිය වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේ අය ප්‍රතිකාර වලට යන්න. ඒකෙන් ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න නවත්ත ගන්න ඒක උදව්වක් වෙයි.