උපත් පාලන ක්‍රම මොනවද? : What are the Birth Control Methods?


page එකට නිතරම ප්‍රශ්න සහ මැසේජ් යොමු යොමු වන්නේ උපත් පාලන ක්‍රම සහ ගැබ් ගැනීම් වලක්වා ගැනීම සම්බන්ධවයි.

මේ post එක මඟින් විස්තරාත්මකව ඒ ගැන කතා කරමු.

සරලවම උපත් පාලන ක්‍රම ලෙස හඳුන්වන්නේ අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇති නොවී ලිංගික සංසර්ගයේ යෙදීම සඳහා යොදා ගත හැකි ක්‍රමයි.

මෙරට පවතින උපත් පාලන ක්‍රම මොනවාද?

..........................................

👉 ස්වභාවික උපත් පාලන ක්‍රම

❌ ගැබ්ගැනීම් වලක්වා ගැනීම සඳහා කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රයේ සරු දවස් මඟ හැර ලිංගික සම්බන්ධ වල යෙදීම සහ ශුක්‍රාණු යෝනිය තුල පිට වීමට පෙර ඉවතට ගැනීම වැනි ස්වභාවික උපත් පාලන ක්රම අසාර්ථක වීමේ වැඩි හැකියාවක් පවතිනවා. 

කාන්තාව යනු නිශ්චිත දිනටම ඔසප් වීම සිදු වන යන්ත්‍රයක් නොවේ. ශරීරයේ විවිධ වෙනස්කම් නිසා ඔසප් වීමේ දිනය වෙනස් වීම හැකියි. එනිසා ඔසප් වීමේ දින බලා ලිංගිකව එක් වීම උපත් පාලන ක්‍රමවේදයක් ලෙස අසාර්ථක වීමේ වැඩි හැකියාවක් ඇත.

❌ තවත් ස්වභාවික උපත් පාලන ක්‍රමයක් ලෙස බොහෝ දෙනෙක් සිදු කරන ශුක්‍රාණු යෝනිය තුල පිට වීමට පෙර පුරුෂ ලිංගය යෝනියෙන් ඉවතට ගැනීම එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ. ශුක්‍රාණු පිට වීමට පෙර ශ්‍රාවය වන දියරයේ (pre-cum) හිද ශුක්‍රාණු අඩංගු විය හැකි නිසා එයින්ද ගැබ් ගැනීම් සිදු විය හැකියි. 

එනිසා එවැනි ස්වභාවික උපත් පාලන ක්‍රම වෙනුවට වෙනත් විද්‍යාත්මක උපත් පාලන ක්‍රම භාවිතය සහ ස්ථිර වන්ධ්‍යකරණ සැත්කම වඩා සාර්ථක උපත් පාලන ක්‍රම ලෙස හැඳින්විය හැකියි.

👉 කොන්ඩම්✅

පුරුෂයන් විසින් භාවිතා කල හැකි සාර්ථක සහ ඉතාමත් ප්‍රචලිත උපත් පාලන ක්‍රමවේදයක්. එසේම ලිංගිකව බෝ වන රෝග වලින් ආරක්ෂාවද ලැබෙනවා. කොන්ඩම් එකක් පැළඳීමෙන් ලැබෙන තෘප්තිය වැඩි කර ගැනීම සඳහා මතුපිට පෘෂ්ඨය විවිධ ස්වරුපයන්ගෙන් සහ විවිධ රසයන්ගෙන් යුක්ත කොන්ඩම් දැන් වෙළඳපලේ පවතිනවා. එසේම කාන්තාවන් ද පළඳින කොන්ඩම් වෙළඳපලේ පවතිනවා.

👉 ගර්භාෂයේ තුළ තැන්පත් කරන ලූප්✅

කොපර් ලූප් එකක් තැන්පත් කරන අයගේ ලිංගික තෘප්තිය වැඩි වන බව සොයාගන තිබෙනවා. ලූප් එකේ කෙලවර ලිංගික සම්බන්ධ වලදී පුරුෂ ලිංගයේ ගැටීම සිදු නොවන අතර, ගර්භාෂයෙන් එළියට පැමිණෙන නූල් දෙකක් පැවතීම ලිංගික සම්බන්ධ සඳහා කිසිවිටෙක ගැටළුකාරී වන්නේද නැහැ. ඒ සඳහා නිසි ස්ථානයේ ලූප් එක ස්ථානගතව පවතින බව තහවුරු කර ගත යුතුයි.

👉 ගිලින පෙති✅

හෝමෝන දෙකක සංයුතියෙන් මෙම පෙති නිපදවා තිබෙනවා. මෙම පෙති ලබා ගැනීමෙන් ඉස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන දෙකේ වෙනස් වීම නිසා ලිංගික තෘප්තියට/ ආශාවට යම් බලපෑම් ඇති විය හැකියි. නමුත් මෙම තත්වය සෑම දෙනාටම අත් විඳීමට සිදු නොවන තත්වයක් බව ප්‍රකාශ කල යුතුයි. 

උපත් පාලන පෙති ලබා ගන්නා නිසා කාන්තාවන්ට සැලසෙන අමතර වාසියක් ලෙස ඔසප් දින වල සාමාන්‍යයෙන් කාන්තාවකට ඇති වෙන යටි බඩේ වේදනාව අඩු වීම හැඳින්විය හැකියි.

කෙසේ වෙතත් සමහර කාන්තාවන්ට ඔසප් වීමේ අක්‍රමිකතා, හිසරදය, පියයුරු වල තද බව, ඔක්කාරය, මානසික තත්වය (mood) වෙනස් වීම වැනි තත්ත්ව ඇති විය හැකියි. බොහෝ විට මාස 2-3 කින් මෙවන් ගැටළු නැති වී යනවා. දිගින් දිගටම එවැනි ගැටළු ඇති වේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න

👉 උපත් පාලන එන්නත් සහ අත යට තැන්පත් කරන කරල්✅

DMPC (Depo-Provera) එන්නතේ අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිසා ලිංගික ආශාව යම් අයුරකින් අඩු වීමක් සිදු විය හැකියි. එසේම සමට යටින් අත යට තැන්පත් කරන කරල් වලද ඇතුලත් වන්නේ මෙම හෝමෝනයම නිසා එහිදීද ලිංගික ආශාව යම් අයුරකින් අඩු වීමට හේතු විය හැකියි. නමුත් අනිවාර්යෙන්ම ප්‍රකාශ කල යුතු දේ මෙම තත්වය ඇති වන්නේ සෑම කාන්තාවටම නොව සමහර කාන්තාවන්ට පමණයි.

👉 අනපේක්ෂිත ලිංගික එක වීමකින් පසු හදිසි උපත් පාලන ක්‍රම✅

මෙවැනි පෙති, හදිසි අවස්තාවකදී  පමණක්ම භාවිතා කල යුතුයි. නිතර නිතර භාවිතා කිරීම කිසිසේත් නොකළ යුතුයි. 

පළමු පෙත්ත පැය 12ක් ඇතුලතත්, දෙවන පෙත්ත පැය 72ක් ඇතුලත ලබා ගන්න ලෙස එහි නිර්දේශ කර තිබෙනවා. ලබා දී ඇති නිර්දේශයන්ට අනුකුල නොවීම එම පෙත්තෙහි සාර්ථකත්වය වීම අඩු කිරීමට හේතු වෙනවා සහ ඉක්මනින් ලබා ගන්නා තරමට එය වැඩි වශයෙන් .සාර්ථක වීමට හැකියාවක් ඇත. ඔක්කාරය, වමනය, කෙටිකාලීනව ඔසප් චක්‍රයේ ඇතිවන අක්‍රමිකතා, හිසරදය, අක්‍රමවත් රුධිර වහනය වැනි තත්ත්ව මෙම පෙති භාවිතයේ තාවකාලික අතුරු ප්‍රතිඵල ලෙස සමහරුන්ට ඇති වෙනවා. ඊට අමතරව එම පෙත්ත ලබා ගැනීම දිගු කාලිනව දරුවන් නොලැබීමට හේතු වන බව විද්‍යාත්මකව සනාථ වී නැහැ.

එසේම වෛද්‍ය නිර්දේශය මත ලබා දෙන ගර්භාෂය තුළ තැන්පත් කරන ලූප් එක (කොපර් කොයිල්) එක තැන්පත් කිරීම තුළින් එවැනි හදිසි අවස්ථාවකදී දින 5ක් දක්වා ගැබ්ගැනීමකින් ආරක්ෂාවක් ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.

ඔබට වඩාත් සුදුසු ක්‍රමය කුමක්ද?

..........................................

👉 විවාහ නොවී ලිංගික සම්බන්ධ වල යෙදෙන යුවලක් නම්.

එසේනම් ඔබ දෙදෙනා අතර කිසිසේත් ගැබ්ගැනීමක් සිදු නොවිය යුතුයි. කාන්තාව විසින් හෝමෝනමය උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරන ගමන් පුරුෂයාත් කොන්ඩම් එකක් භාවිතා කිරීම කල හැකියි.

👉 අලුත විවාහ වූ යුවලකට,

උපත් පාලන අවශ්‍යතාවය ඇත්තේ මාස කිහිපයක් සඳහා නම් උපත් පාලන පෙති හෝ ඉහත සඳහන් කල ඕනෑම ක්‍රමයක් භාවිතා කල හැකි වෙනවා.

වසර කිහිපයක් සඳහා වන උපත් පාලන ක්‍රමයකට යොමු වීමට අවශ්‍ය නම් අත් යට සමට ඇතුළින් තැන්පත් කරන කරල් වැනි ක්‍රමවේදයකට යොමු විය හැකියි.

👉 වයස 40 පමණ ඉක්මවූ කාන්තාවකට, 

මෙම වයසේ බොහෝ කාන්තාවන් තමාට දැන් දරුවන් සැදීමේ හැකියාවක් නැතැයි සිතා උපත් පාලන ක්‍රම වලින් ඉවත් වීමට පටන් ගත්තත් කාන්තාවකගේ ආර්තව හරණය සිදු වන තෙක් එනම් වයස අවුරුදු 50 පමණ වන තෙක් ගැබ්ගැනීම් සිදු වීමේ යම් හැකියාවක් තිබෙනවා. 

එම නිසා යළි දරුවන් සැදීමේ අවශ්‍යතාවක් නොමැති නම් වෛද්‍ය නිර්දේශ මත දිගුකාලින උපත් පාලන ක්‍රමයකට යොමු විය හැකියි.

..........................................

එකිනෙකාගේ ස්වභාවයන් අනුව මේ සෑම ක්‍රමයක්ම සැම දෙනාටම පොදුවේ ගැළපෙන්නේ නැති බවද තේරුම් ගත යුතුයි..

උපත් පාලන ක්‍රම යනු ලංකාව තුල ඉතාම අවම වියදමකින් ඕනෑම වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් ලබාගෙන පිළිපැදිය හැකි ඉතාමත් සාමාන්‍ය දෙයක්. මෙරට තුල ගබ්සාවද නීති විරෝධී නිසා අනවශ්‍ය ගැබ් ගැනීම් වලට යොමු වී මවගේ සහ දරුවාගේ යන දෙදෙනාගේම ජිවිත වලට හානිකර දේවල් සඳහා මඟ පාදා නොගෙන සාර්ථක උපත් පාලන ක්‍රම ගැන සමාජය දැනුවත් කළ යුතුයි.

Previous Post Next Post