ලීක් උනොත් මොකද කරන්නේ? : What to Do After Your Nudes Get Leaked?

කාලෙන් කාලෙට අහන්න ලැබෙන දෙයක් තමයි තමන්ගේ නිරුවත් හෝ අසභ්‍ය ඡායාරුප අන්තර්ජාලයට දානවා කියලා තර්ජනය කරනවා, බය කරනවා සහ සල්ලි ඉල්ලලා කරන බ්ලැක්මේල් (blackmail) කරන එක.

ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වලට ගැහැණු අයව තමයි ගොදුරු වෙන්නේ. හැබැයි පිරිමින්ටත් ඒ වැඩේ වෙන වෙලාවල් තියෙනවා.

දෙන්න තියෙන පළවෙනිම අවවාදය තමා ඔයා කොච්චර විශ්වාස කලත්, කොච්චර ආදරේ කලත් නොදන්න අයට හෝ පෙම්වතාට හෝ පෙම්වතීයට හෝ සැමියට හෝ බිරිඳට වත් ඔයාගේ ප්‍රසිද්ධියේ පෙන්නන්න බැරි ෆොටෝ දෙන්න වත්, ෆෝන් එකෙන් යවන්න වත්, ඊමේල් කරන්න වත් එපා. ඔයාගේ ශරීරය ඔයාගේ අයිතියක්. ඒකට හානි කරන්න හරි ඔයාගේ චරිතයට හානි කරන්න හරි කාටවත් ඉඩ දෙන්න එපා. ඒ හින්දා ඒ වගේ ෆොටෝ යවන්න කලින් දෙපාරක් හිතන්න.

ඒත් බැරි වෙලාවත් ඒ වගේ ප්‍රශ්නයක් උනොත් මේ දේවල් කරන්න.

📌 නීතිඥ සහය ගන්න.

මේවගේ සිද්ධියක් උනාම නීතිඥ සහය ගන්න එක අත්‍යවශ්‍ය දෙයක්.

ඒකෙන් ඔයා මේකට සම්බන්ධ නීතිය මොකද්ද කියලා දැන ගන්නවා. අනිත් දේ තමා පොලිසිය එක්ක ගනුදෙනු කරද්දී ඔයා වෙනුවෙන් පෙනී ඉන්න ඔයාට සහය වෙන්න නීතිය දන්න කෙනෙක් ඔයා එක්ක ඉන්නවා.

ඒ වගේම වැරැද්ද කරලත් සමහර අය බය නැතුවම නීතිඥ සහය අරගෙනම තමයි පොලිසියට එන්නේ. ඔයාට උන දේ හංගන්නේ නැතුව හරියටම නීතිඥ වරයාට කියන්න. එතකොට උපදෙස් දෙනවා කරන්න ඕන දේවල් ගැන. ඔයාට නීතිඥ සේවයක් ගන්න සල්ලි නැත්නම් දැනුම් තේරුම් තියෙන, විශ්වාසවන්ත වැඩිහිටි කෙනෙක්ගේ උදව්ව ගන්න. 

📌නීතියට හැමෝම යටයි 

ඔයාට මේ විදියේ කරදරයක් උනාම මානසිකව වැටිලා සේරම ඉවරයි කියල හිතනවා නම්, නෑ එහෙම ඉවර නෑ. මතක තියා ගන්න සැකකරු කොච්චර වීරයෙක් උනත් පොලිසියට සහ නීතියට බයයි. එයාලා දන්නවා නීතිය ඉදිරියට ගියාම වෙන කරදරය. ඒ හින්දා ඔයා නීතිය ඉස්සරහට යන එක නවත්තන ගොඩක් දේවල් කරන්න උත්සාහ කරයි. අන්න ඒකට තමා බය වෙන්න හොඳ නැත්තේ.

එහෙම එයා ඔයාට කරදර කරනවා නම් ඒ කෙනාට කියන්න "මම මේ ගැන මගේ ලෝයර්ට කිව්වා. ඔයාට ඉස්සරහට ගොඩක් කරදර වෙයි. ලෝයර් පොලිසිය එක්ක වැඩ කරලා ඔයාට දෙන්න පුළුවන් හැම දඬුවමක්ම දෙනවා." කියලා. ඕක කිව්වම සැකකරුට බයක් එනවා. ඒ හින්දා එහෙම කියලා ඔයා නීතිඥ වරයෙක් ගාවට යන්නම ඕනා.

📌 කලබල වෙන්න එපා.

ඒවගේම ඔයාගේ ඡායාරූප කවුරු හරී ඔයාට හොරෙන් අරගෙන නම්, ඒක වහාම ක්‍රියාත්මක වෙන්න ඕනා තත්ත්වයක්. ඒක ඔයාගේ චරිතයට හානි වීමක් හින්දත් සහ මේ වගේ දෙයක් තව කෙනෙක්ට වෙන එක නවත්තන්නත් ඔයාට කරන්න පුලුවන් දේවල් තියෙනවා. ඒකට ඔයාට උදව් කරන්න පොලිසිය හා නීතිය තියෙනවා, ඒ හින්දා ඒකට මුහුණ දෙන්න ධෛර්යසම්පන්න වෙන්න ඕනා. ඔයාට උදව් වෙන අයව හොයාගෙන එහෙම අපරාධ කරන අයට එහෙම නොකරන්න පාඩමක් උගන්වන්න ඕනා.

මේ වගේ වෙලාවක ඔයා වෙච්ච හැම දේම එයාගෙන් දැනගන්න උත්සාහ කරන්න. තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකක්ද වුන සිද්ධිය, කොහොමද ඒව ගියේ කියල දැන ගන්න. ඔයා දුන්න නම් ඒව යවපු දිනය බලා ගන්න. ෆෝන් එක හදන්න දෙන්න එහෙම ගියා නම් ගියේ කවද්ද වගේ දේවල් හොයා ගන්න බලන්න.

📌උසාවි යන්න කැමති නැත්නම්, බය නම් ඒකටත් උත්තර තියනවා

ගොඩාක් අය උසාවියට යන්න කැමති නෑ. පොලීසියට යන්න කැමතිත් නෑ. මොකද ලැජ්ජාව හින්දා. එහෙම උනාම ඒ කරන කෙනා ආයෙත් වෙන කෙනෙක්ට ඒ දේම කරනවා. ගොඩාක් අය කියන්නේ මගේ ෆොටෝ ටික මකල දැම්මම ඇති කියල විතරයි. ඒක කර ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට පොලිසිය ඒක කරල දෙනවා.

ඒත් ඒක ආයෙත් තව කෙනෙක්ට යන එක වලක්වන්න පුලුවන්නම් තමයි හොඳ. මොකද ඒ ඔයාගේ ජීවිතය ගැන ප්‍රශ්නයක් හින්දා. ඒක වේදනාකාරී අත්දකීමක් හින්දා. 

දැන් මේ ගැන අපේ රටේ නීතීය කොහොමද කියලා බලමු.

අපේ රටේ නීතියේ තියෙන, 2014 අංක 24 දරණ පරිඝණක අපරාධ පනත, දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් හා අපහාස නිතිය භාවීතා කරන්න පුළුවන්.

වයස අවුරුදු 18 ට අඩු ළමයෙක්ගේ මේ වගේ ඡායාරූප අරගෙන ඒවා බෙදාහැරීමට, හෝ අන්තර්ජාලයට මුදා හරින්න කටයුතු කලොත් එතකොට ඒවා  දඬුවම් ලැබිය හැකි වරදවල් වෙනවා. ඒ වගේම බෙදාහරින්න හරි අන්තර්ජාලයට දාන්න කියලා හරි මුද්‍රණය කරලා හරි වෙන ඕන විදියකින් ළඟ තියා ගත්තත් ඒක වරදක් තමයි.

ඒව තමයි ඔය සමහර අය කියන්නේ පොලිසිය ෆොන් අරගෙන පරික්ෂා කරනවා කියල. ඒ බලද්දී එහෙම තිබුනොත් ඒක වරදක්. ඒත් එහෙම ෆෝන් අරගෙන පොලිසියට බලන්න නීතියක් නෑ, ඒත් පොලිසියට කියන්න පුලුවන් පැමිණිල්ලක් මත බැලුවාය කියලා.

අනිත් අතට මේ නීතියේම සාකච්චා කරන්න ඕනා තමන්ට පුද්ගලික භාවිතයට නිරුවත් ඡායාරුප ළඟ තියා ගන්න නීතියේ බාධාවක් නෑ. ඒත් 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන පනතේ 2 වගන්තියෙන් සමහර සීමා පනවල තියනවා පුද්ගල නිදහසට.

ලිංගිකත්වය කියන්නේ පුද්ගලික දෙයක්. ඒත් වෙන වෙන අයගේ ලිංගිකත්වය රසවිඳිනවා කියන්නේ වෙන දෙයක්, අනුන්ගේ ලිංගිකත්වය රස විඳීම නීතියේ වරදක්. විශේෂයෙන්ම ඔවුන්ගේ අවසරය නැතුව. 

ඒත් මේ පුද්ගලිකත්වය ගැන ලංකාවේ නීතිය පැහැදිලි නෑ. මොකද ලංකාවේ පුද්ගලිකත්වයට නීතියක් (Privacy Law) නෑ.

📌කප්පන් ඉල්ලීම

ඒවගෙම නිතර අහන්න ලැබෙන දෙයක් තමයි මූල්‍යමය කප්පන් ඉල්ලීම. ඉස්සෙල්ලම පෙම්වතෙක් වගේ පෙනී ඉඳලා ඇවිල්ලා යම් යම් ලිංගික දර්ශන අරගෙන ඒව පෙන්වලා මුදල් කප්පම් ඉල්ලීමත් සුලභව අහන්න ලැබෙනව. 

ගොඩක් වෙලාවට මේවගේ වෙලාවට ගොඩක් අය කරන දේ තමයි ඉල්ලන ගාණක් කප්පන් දෙන එක. 

ඒත් කරන්න එපා. ඒකේ ඉවරයක් නැ. මේ සමහර අය සංවිධානාත්මකයි.

ඒ හින්දා ඔබ වැඩිහිටියෙක් එක්ක කතා කරත්, නීතීඥ සහය ගත්තත් පොලිසියට යන්න ඕනමයි. නැත්නම් වෙන්නේ ඔයාව වැඩියෙන් අසරණ වෙන එක, නීතිඥවරු එක්ක පොලිසියට ගියාම ඔයාට වැඩි ශක්තියක් තියෙනවා ඒ අවස්ථාවට මුහුණ දෙන්න.

දඬුවම් ලැබිය හැකි වරදක් තමා කාන්තාවක් සාපරාධී බිය ගැන්වීමකට ලක් කරලා කප්පන් ගැනීම.

📌නීතිය අනුව වරදවල් මොනාද?

මොනම විදියකට වත් කාන්තාවකට ලිංගික හිරිහැර කිරීම වරදක්. ඡායරුප හා වෙනත් අසභ්‍ය දර්ශන හෝ වීඩියෝ ලබාගැනීම දඬුවම් ලැබීය හැකී වරදක්. මේකෙදි කාර්යාලය ඇතුලේ, සේවා ස්ථානය ඇතුලේ වගේ තැන් වල කැමරා දාලා කරන බලපැම් වගේ දේවලුත් මේ නීතියට අහුවෙනවා. ගැහැණු කෙනෙක් දිහා වැරදි විදියට බැලීමත් මේ නීතිය යටතේ වරදක්.

ඊට අමතරව පරිඝණක අපරාධ පනතේ 7 වගන්තිය යටතේ, නිරුවත් ඡායාරුප Upload කිරීම, විකිණීම වගේ දේවල් වලට චෝදනා කරන්න පුළුවන්. මේවගේ වරදවල් වලට දඬුවම් කරන්න පුළුවන්. එතනදී බලන දේ තමයි පරිඝණකයක් හෝ මොබයිල් ෆොන් එකක් පාවිච්චි කරලා මේ අසභ්‍ය ඡායාරූප edit කරලද කියන එක, සමහර විට කෙනෙක්ගේ මුහුණ දාල වෙන කෙනෙක්ගේ නිරුවත් ශරීරයක ඡායාරූප දාලා edit කරලා තිබ්බොත් එතැනදී ඉහත පනත ඉතා හොඳට භාවිතා කල හැකියි. 

එහෙම දෙයක් වාර්තා උනාම මේ ගැන පරීක්ෂණ කරලා කටුබැද්ද විශ්වවිද්‍යාලයෙන් හෝ කොලඹ විශ්වවිද්‍යාලයෙන් නිවැරදි වාර්තා දෙනවා.

එහෙම edit එකක් කරලා නම් ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. ඒවගේම දීර්ඝ කාලයක් මේ වගේ නඩුවකට ගන්නවා. මොකද විශ්වවිද්‍යාලයට ඒවා යවලා වාර්තා ගන්න එහෙම ඕනා නිසා, කොහොම උනත් කියන්න තියෙන්නේ ලංකාවේ උනත්, ලංකාවේ පිටත උනත්, ලංකාවේ අයට කරත්, විදේශිකයන්ට කරත්. මේව බරපතල වැරදි, උසාවියෙන් දඬුවම් ලැබෙනවාමයි.

ඒ හින්දා විනෝදයක් හැටියට මේවා දකින්න එපා. තාවකාලික සතුටක් හැටියට හෝ පළි ගන්න හෝ මුදල් උපයන්න මේවා කරන්න එපා.

📌ඔයාට ඒ වගේ ප්‍රශ්නයක් උනොත් මේ තැන් වලට යන්න. 

එහෙම උනාම ජීවිතේ නැති කරගන්න වගේ දේවල් කරන්න එපා. ජිවිතේ වටිනවා. 

▶ කොළඹ 12 ග්‍රෑන්ඩ්පාස් පාරේ අංක 14 තියෙනවා ළමා හා කාන්තා අපයෝජන වැළක්වීමේ කාර්යංශය කියල ඒකක්. 

ඕකට මේවගේ ප්‍රශ්න ගොඩක් දිනපතා එනවා. ඒවගේම ඔවුන් පුහුණුව ලත් අය. ඒ උනත් නීතිඥවරයෙක් එක්ක එතැනට ගියාම හොඳයි, එතැන ඉන්න OIC මහතාට හෝ වෙනත් කාන්තා නිලධාරිනියකට කියන්න. එහෙම නැත්නම් නීතිඥවරයා එක්ක කලින් හදා ගත්ත ලිඛිත පැමිණිල්ලක් අරගෙන ගිහින් පොලිස් පොතේ අලවන්න. ඒක ලේසියි.

ඒ ගියාම එයාලා පැමිණිල්ල විභාග කරන්න දවසක් දෙනවා. එයාලා අපරාධකරුවට බලපැම් කරලා එතනට ගෙන්න ගන්නවා. ඔය වෙද්දී අපරධකරු බය වෙලා ඉන්නේ. අපරාධ කරුවන්ව එතනට ගෙන්වා ගන්න එතැන ඉන්න නිලධාරින් දක්ශයි. සමහර විට අපරාධකරු එන්නෙත් නීතිඥ වරුන් එක්ක. ඒ හින්ද ඔබටත් නීති සහය ගන්න පුලුවන් නම් හොඳයි, නැත්නම් වැඩිහිටියෙක් එක්ක යන්න.

ඔබට නඩුවක් දාන්න ඕනේ නැත්නම්, ඔයාට ඕනා අසභ්‍ය දර්ශන විනාශ කරන්න විතරක් නම්, ඒක ඒ නිලධාරීන් කරලා දේවි. පොලිසියේ මුලිකම කාරණය නඩු දැමීම. ඒත් ඔයාට ඕනනම් ඔයාට ඕන දේ විතරක් කරගෙන සමත වෙන්නත් පුළුවන්.

ඒවගේම එතැනදී අපරධකරුට තදින් කියනවා පරීක්ෂණ ඉවර වෙනකම් මේ වගේ දෙයක් ආයේ උනොත් තදින් ඉන්නවා කියලත්.

එතන විස්තර තමයි මේ.

0112444444, 0112337029/ 30 ,0112337041. 

ඔය අංක වලට කතා කරන්න. නැත්නම් dir.cwbureau@police.lk ඊමේල් ලිපිනය එයාලගෙන් ඉල්ලගෙන e-mail යවලා හා පසු විපරම් (follow-up)   කරන්න. 

ඉස්සෙල්ලම කෙලින්ම එයාලට පැමිණිලි කලාම ලේසියි. නැත්නම් ගමේ පොලිසියට ගියොත් රජයේ ආයතන වල තියෙන අභ්‍යන්තර පටිපාටි හින්දා වටේ ගහලා එයාලා ගාවට පැමිණිල්ල එන්න ටිකක් කාලයක් යනවා.

▶ ඊට මතරව CID එකට පැමිණිලි කරන්න. ඒකත් නීතිඥවරුන් එක්ක ලිඛිතව කරන්න, එහෙම කලාම එයාලා ඔයාව කැඳවනවා ප්‍රකාශයක් ගන්න.

ඊටපස්සේ එයාලා පරීක්ෂණ පටන් අරන් අපරධකරුව කැඳවල කට උත්තරයක් ගන්නවා. ඊට පස්සේ අධිකරණයට ඉදිරිපත් කරනවා, මේක කරන්නේ CID සයිබර් අපරාධ ඒකකයෙන්.

▶ ඔයා කැමති නම් BMICH එකේ තියෙන CERT එකට, (ඒ කියන්නේ පරිඝණක වැරදි සම්බන්ධ ඒකකයටත්) පැමිණිලි කරන්න පුළුවන්. ඒත් එතන නීතිමය තත්වය අඩුයි.

මේ වගේ නඩුවක පොඩි ළමයෙක්ගේ නම් ප්‍රසිද්ධියේ ගන්නේ නෑ. ඒ වගේම මේ වගේ වැරදි වලදී මුදල් හුවමාරු වෙලා කප්පම් අරන් නම් ගොඩක් වෙලාවට මහාධිකරණයේ තමයි අහන්නේ, ඒ වැරදි ටිකක් බරපතල ගණයේ ඒවා.

කොහොම උනත් මේවගේ වරදක් ඔබට උනාම කට පියාන ඉන්න එපා. කප්පම් දෙන්න එපා, බය වෙන්න එපා. තැති ගන්න එපා. ලෝකෙම නැති උනා කියල හිතන්න එපා. 

අපරාධකරු ඔයාව බය කරනවා. එතැනදී ඔයා බය නෑ කියලා පෙන්නුවාම, ඔයා නීතිය ඉදිරියට යනවා කියලා පෙන්නුවාම අපරධකරු බය වෙනවා. 

ඔබට ඔබේ පෙම්වතියගේ හෝ පෙම්වතාගේ අසභ්‍ය දර්ශන ඔයාගේ පරිහරණයට තියා ගන්න පුළුවන්. ඒ වගේම inbox එකෙන් යවා ගන්න පුළුවන්. 

ඒත් වටේට බෙදාහරින්න බෑ. වෙන අයගේ ඒවා වත්, තමන්ගේ ඒවවත් බෙදා හරින්න බෑ. ඒ වගේම තමන්ට ලැබෙන දේවල් හිතු මතේ ඉබාගාතේ share කරන්නත් එපා.

XeducationSL වෙත තම නීතිඥ දැනුම ලබා දුන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාට අපගේ විශේෂ ස්තූතිය.

Previous Post Next Post