ලෙඩ හදා ගන්නේ නැතුව සෙ.ක්ස් කරන්න ටිප්ස් 7 ක් : Tips for SAFE Sex without STDs


සෙ.ක්ස් කරන වෙලාවට ශරීර තරල හුවමාරු වෙද්දී ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග බෝ වෙන්න පුළුවන්. ශරීර තරල කියන්නේ රුධිරය, ශුක්‍රාණු, pre- cum සහ යෝනි මාර්ග ශ්‍රාව. ඊට අමතරව සම එකට ස්පර්ශ වෙද්දී බෝ වෙන රෝගත් තියෙනවා. 

බැක්ටීරියා වලින් හැදෙන රෝග තියෙනවා, තව වෛරස් වලින් හැදෙන රෝගත් තියෙනවා. බැක්ටීරියා වලින් හැදෙන රෝග නම් නිට්ටාවටම සුව කරන්න පුළුවන්, වෛරස් හින්දා හැදෙන රෝග සුව කරන්න බැරි උනත් ඖෂධ දීලා පාලනය කරන්න පුළුවන්. සමහර රෝග ශරීරයට ගොඩක් නරක විදියට බලපානවා. ඒ විතරක් නෙමේ ඔය රෝග වැළඳුන අයව මානසිකවත් ගොඩක් වැටෙන්න ඔය දේවල් හේතු වෙනවා. මොකද උණක්, හෙම්බිරිස්සාවක් වගේ ඕවා කාට හරි ගහින් කියන්නත් ලේසි නෑනෙ.

ඒ හින්දා වැඩියෙන්ම වැදගත් දේ තමා ඔය වගේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග හැදෙන්න කලින් වළක්වා ගන්න එක. ඉතින් ඒ කොහොමද කියලා බලමු මේ පෝස්ට් එකෙන්.
 
📌 කොන්ඩම් දැම්මා කියලා සේරගෙන්ම බේරෙන්න බෑ
 
ලිංගික ඉන්නන් කියන්නේ ලංකාවේ දෙවැනියට වැඩියෙන්ම සම්ප්‍රේෂණය වෙලා තියෙන ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගය. ලිංගික ඉන්නන් බෝ වෙන්නේ ආසාදනය වෙලා ඉන්න කෙනාගේ සම තමන්ගේ සම එක්ක තදින් ඝර්ෂණය වෙද්දී. කොන්ඩම් දාලා ගොඩක් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග බෝ වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒත් වැඩේ කියන්නේ කොන්ඩම් පාවිච්චි කළා කියලා ලිංගික ඉන්නන් ගෙන් 100% ක් බේරෙන්න බෑ. 30%- 50% ත් අතර වගේ ආරක්ෂාවක් තමා කොන්ඩම් වලින් ලිංගික ඉන්නන් ගෙන් බේරෙන්න හම්බෙනවා කියන්නේ.
ඒ කියන්නේ කොන්ඩම් පාවිච්චි කරලා කලත් ලිංගික ඉන්නන් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්න පුළුවන්.
 
හැබැයි බය වෙන්න එපා. රජයෙන් ලංකාවේ ඉස්කෝල වල ඉන්න අවුරුදු 10 ට වැඩි ගැහැණු ළමයින්ට ප්‍රතිශක්තිකරණ එන්නතක් දෙන්න ගත්තා. ඒ එන්නතෙන් ගැහැණු ළමයින්ට අනාගතේ එන්න පුළුවන් ගැබ් ගෙල පිළිකා වලටයි, ඔය ලිංගික ඉන්නන් හැදෙන එක නවත්ත ගන්නයි පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවා නම් පෞද්ගලික රෝහලකින් ඔය එන්නත ගිහින් විද ගන්න පුළුවන්. එතකොට එයාලටත් ඉස්සරහට ලිංගික ඉන්නන් හැදෙන්න තියෙන අවදානම නැති කර ගන්න පුළුවන්.
 
📌 බැක්සයිඩ් නම් බුදාම්මෝ
 
ගැහැණු- පිරිමි අතරේ වගේම පිරිමි- පිරිමි අතරත් ගුද සංසර්ගය ගොඩක්ම වෙනවා. සමහරු නම් ඕකට කැමැතියි, එත් සමහරුන්ට ඕක හරිම වේදනාවක්. ඒ කොහොම හරි කමක් බැක්සයිඩ් කරන එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.
 
ගුද මාර්ගය කියන්නේ සෙක්ස් කරන්න හැදුන අවයවයක් නෙමේ. යෝනි මාර්ගය වගේ සෙ.ක්ස් කරන්න කලින් ගුද මාර්ගය ඔටෝ තෙත් වෙන්නේ නෑ. ඒ හින්දා ඕක ඇතුලේ ස්වභාවික ලිහිසිකාරක ගතිය නැතිම තරම්.
 
අනිත් දේ තමා ගුද මාර්ගයේ පටක පිහිටලා තියෙන්නේ ඇතුලේ තියෙන දෙයක් එළියට එන්න ලේසි වෙන්න මිසක් එළියෙන් දෙයක් ඇතුලට දාන්න නෙමේ. ගුද මාර්ගය හැදිලා තියෙන්නේ සෙ.ක්ස් කරන්න නෙමේ, වෙන වැඩකට. 
 
ඉතින් ඔය හේතු දෙක හින්දා ඇතුළට දාලා බැක්සයිඩ් කරද්දී ඇති වෙන ඝර්ෂණය හරිම වැඩියි. ඒ හින්දම ගුද මාර්ගය ඇතුලේ තියෙන පටක කැපීම්, සිරීම් වෙලා හානි වෙන්නත් පුළුවන්. කැපීම්, සිරීම් කිව්වට ඕවා මේ ලේ එන්න තරම් වෙන දේවල් නෙමේ. සමහර ඒවා පියවි ඇසට වත් පෙන්නේ නැති තරම් පොඩි ඒවා. ඒ කොහොම හරි ඔය කැපීම්, සිරීම් වලින් තව කෙනෙක්ගේ ලිංගික තරල හරිම ලේසියෙන් ශරීර ගත වෙන්න පුළුවන්. යෝනි මාර්ග සංසර්ගය කරනවාටත් වඩා බැක්සයිඩ් කරන අයට තමා ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග බෝ වෙන්න වැඩිම අවදානමක් තියෙන්නේ.
 
ඉතින් ඒ අවදානම අඩු කර ගන්න බැක්සයිඩ් කරද්දී අනිවාර්යෙන්ම කොන්ඩම් එකක් පාවිච්චි කරන්න.
 
📌 මුඛ සංසර්ගයෙනුත් බෝ වෙනවා 
 
සමහර ලිංගිකව බෝ වෙන රෝග ඇත්තටම මුඛ සංසර්ගයෙන් බෝ වෙන්න පුළුවන්. ඒ කියන්නේ කටින්, දිවෙන් කරන ඒවා. කියන්න ඕන නෑ දන්නවනේ ඉතින්. 
හර්පීස් කියන රෝගය මුඛ සංසර්ගයෙන් බෝ වෙන්න පුළුවන්. ගොනෝරියා සහ ක්ලැමීඩියා කියන රෝග දෙකත් බැක්ටීරියා රෝග දෙකක්. ඒවත් මුඛ සංසර්ගයෙන් බෝ වෙන්න ඉඩ තියෙනවා.
මුඛ සංසර්ගය කළා කියලා HIV නම් බෝ වෙන්නේ නෑ. ඒත් ආසාදිත කෙනාගේ කටේ තුවාල තියෙනවා නම්, එයාගේ විදුරුමස් වලින් ලේ ගලනවා වගේ තියෙනවා නම්, ඒ කිව්වේ රුධිරය එක්ක මිෂ වෙන්න මොකක් හරි විදියක් තියෙනවා නම් HIV උනත් බෝ වෙන්න පුළුවන්. ඒත් කෙළ වලින් නම් HIV බෝ වෙන්නේ නෑ. 
ඉතින් ඒකට කරන්න තියෙන්නේ පිරිමි කෙනෙක්ට කටින් මුඛ සංසර්ගය දෙනවා නම් කොන්ඩම් එකක් දාලා ඕක කරන්න. ගැහැණු කෙනෙක්ට මුඛ සංසර්ගය දෙනවා නම් (දිව දාලා කරන එක) dental dam කියලා එකක් තියෙනවා පිරිමි කෙනාගේ දිවට දාන්න. ඒක දාලා කරනවා නම් රෝග වලින් පරිස්සම් වෙන්න පුළුවන්. ඒත් ලංකාවේ ඕවා ගන්න තියෙන තැනක් නම් හොයා ගන්න ටිකක් අමාරුයි. "how to make a dental dam at home" කියලා youtube එකේ search පාරක් දැම්මා නම් ගෙදරදීම කොන්ඩම් එකකින් dental dam එකක් හදා ගන්න විදිය තියෙන වීඩියෝ ඕන තරම් එනවා.
 
📌 අම්මගෙන් දරුවන්ට බෝ වෙනවද?    
 
හැම ලිංගිකව බෝ වෙන රෝගයක්ම අම්මගෙන් දරුවට හැදෙන්නේ නෑ. ඒත් HIV, Hepatitis B, ගොනෝරියා, ක්ලැමීඩියා සහ ගොනෝරියා සම්ප්‍රේෂණය වෙන්න ඉඩක් තියෙනවා. ඒ වගේම ඒ වගේ ලෙඩ රෝග හින්දා ඉපදෙන දරුවාගේ උනත් සංකූලතා එන්න පුළුවන්. අම්මා කෙනෙක්ට ඔය වගේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් තියෙනවා නම් ළමයා ලැබෙන්න කලින් ඉස්සෙල්ලම ඒ රෝගයට ප්‍රතිකාර අරන් ඉන්න. 
ළමයි හදන්න කලින් ඔයාට රෝග නෑ කියලා තහවුරු කරගෙන වෛද්‍යවරයා දෙන උපදෙස් අනුව ළමයෙක් හදන එක තමා හොඳ. මොන කාලෙටද බබෙක් හදන්න ඕනා වගේ දේවල් ඩොක්ටර් කියනවා. 
එහෙම කියලා දරුවන් හදන්නේ නැතුව ඉන්න වගේ අනවශ්‍ය බයක් තියා ගන්න ඕන නෑ. වෛද්‍ය උපදෙස් ඇතුව කරනවා නම් හොඳ නිරෝගී ළමයි හදන්න පුළුවන් එයාලටත්. 
 
📌 රූම්, ස්පා වල තුවා ඇඳ ඇතිරිලි වලින් ලෙඩ හැදෙනවද?
 
ඒ වගේ තැන් වල තියෙන දේවල් පාවිච්චි කළා කියලා තව කෙනෙක්ගේ ලිංගික තරල හුවමාරු වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි. ඒ හින්දා රූම් වල ස්පා වල වගේ තැන් වල තියෙන දේවල් පාවිච්චි කළා කියලා ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් බෝ වෙන්න ඉඩක් නැතිම තරම්. 
 
📌 මදුරුවන්ගෙන් HIV බෝ වෙනවද?
 
ආසාදිත කෙනෙක්ගේ ලේ තව කෙනෙක්ගේ ඇඟේ ලේ වලට මිශ්‍ර වෙලත් රෝග බෝ වෙන්න පුළුවන්. එතකොට කෙනෙක්ට සාධාරණ සැකයක් එන්න පුළුවන් ආසාදිත කෙනෙක්ගේ ඇඟේ මදුරුවෙක් කාලා ඒ මදුරුවා ඇවිත් අපේ ඇඟේත් කෑවොත් ලෙඩ හැදෙනවද කියලා. 
 
HIV කියන නමෙන් කියවෙන්නේ human immunodeficiency viruse කියලා. ඉතින් ඔය නමේම තියෙනවා මිනිස්සුන්ට තමා ඕක හැදෙන්නේ කියලා. ඒත් සමහර රෝග සත්තුනේ ඇඟේනුත් මිනිස්සුන්ට බෝ වෙනවා, උදාහරණයක් විදියට කියනවා නම් කෝ.රෝනා වවුලෙක්ගේ ඇඟේන් මිනිස්සුන්ට බෝ වුනා වගේ. 
 
ඒත් ඒ විදියට සත්තුන්ගෙන් රෝගයක් බෝ වෙන්න නම් ඒ සතාගේ ඇඟ ඇතුලේ ඒ ලෙඩේ හදන වෛරස් එක ජීවන චක්‍රයේ කොටසක් ගත කරන්න ඕනා, ඒ කිව්වේ සතාගේ ඇඟ ඇතුලේ වෛරස් එක අලුතෙන් හැදිලා වෛරස් එක වර්ධනය වෙනවා වගේ වෙන්න ඕනා, ඒත් HIV මිනිසා හැර කිසිම සතෙක්ගේ ඇඟේ කිසිම ජිවන චක්‍රයක් ගත කරන්නේ නෑ. ඒ හින්දා කියන්න පුළුවන් සත්තුන්ගෙන් මිනිස්සුන්ට HIV බෝ වෙන්නේ නෑ. ඒ කියන්නේ ආසාදිත කෙනෙක්ගේ ඇඟේ මදුරුවෙක් කෑවා කියලා ඒ මදුරුවාට බෑ වෙන කාටවත් රෝගය අරන් යන්න.
 
📌 ඔය සේරටමත් වඩා ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයකින් බේරෙන්න තියෙන හොඳම ක්‍රමය තමා කා එක්කවත් සෙක්ස් නොකර ඉන්න එක. ඒත් හැමෝම ජිවිතේ මොන වයසේදී හරි එක පාරක් හරි ඕක කරනවනේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට ලෙඩ හදා ගන්නේ නැතුව ඉන්න නම් කරන්න තියෙන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග නැති කෙනෙක් එක්ක සෙක්ස් කරන එක. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ පිටින් බලලා "මෙයාට නම් මොකුත් ලෙඩක් නැතුව ඇති" කියලා කියන්න විදියක් නෑ. මොකද කාලයක් යනකම් සමහර රෝග වල රෝග ලක්ෂණ පෙන්නනෙත් නෑ. 
 
උදාහරණයක් විදියට ලිංගික ඉන්නන් ගමු. ලිංගික ඉන්නන් බෝ වෙන වෛරස් එක කෙනෙක්ගේ ශරීරයට ගියා කියලා ඒක හොයා ගන්න කිසිම විදියක් නෑ. ලිංගික ඉන්නන් හැදිලා තියෙනවා කියලා දැන ගන්න නම්, ලිංගික ඉන්නන් ශරීරයෙන් මතු වෙනකල්ම ඉන්න ඕනා. ඒත් ඔය වෛරස් එකට පුළුවන් කාලයක් යනකම් සද්ද නැතුව කොඳු ඇට පෙළ ආශ්‍රිතව හැංගිලා ඉන්න. ඉතින් ඒ කාලේ කිසිම රෝග ලක්ෂණයක් නැතුවත් ඒ කෙනාගේ ඇඟේ ඔය වෛරස් එක තියෙන්න පුළුවන්.
 
ආසාදිත කෙනෙක් කවුද කියලා දැන ගන්න අමාරු උනාට එයාගේ චර්යාව පොඩ්ඩක් බැලුවා නම් පොඩි අදහසක් ගන්න පුළුවන් එයාට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් තියෙනවද කියලා. ඔයා සෙක්ස් කරන්න කලින් ඒ කෙනා මෙන්න මේ වගේද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.
 
👉 එයාව අහඹුවෙන් හදිස්සියේ මුණ ගැහුන කෙනෙක්ද?
👉 එයාව social media වලින් මැසේජ් කරලා සෙට් වුන කෙනෙක්ද? 
👉 එයාව බස් එකේ කෝච්චියේ යද්දී එක පාර අහඹු විදියට හමුවුන කෙනෙක්ද? 
👉 එයා සල්ලි වලට සෙක්ස් කරන කෙනෙක්ද? 
👉 ඔයා කොච්චර හොඳට දන්නා කෙනෙක් උනත් එයාට වෙන වෙන සම්බන්ධතා තියෙනවද?
👉 එයා බැඳපු කෙනෙක්ද? 
👉 එයා තමන්ගේ වයසට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක්ද? (අක්කලා, ඇනිටිලා තමා ජිවිතේ කියලා අදහන මල්ලි බබාලා පරිස්සමින් ආ..)  
 
ඔන්න ඔය කාණ්ඩ වල කට්ටිය අවදානම් පුද්ගලයින් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක සෙක්ස් කකරනවා නම් අනිවාර්යයෙන් ආරක්ෂිතව ඔයාලගේ ලිංගික සම්බන්ධය පවත්වන්න.
 
📌 ඔය සේරමත් හරි දැන් කොහොම හරි ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් හැදුනද කියලා දැන ගන්න මොනාද කරන්න පුළුවන්.
 
කවුරු එක්ක හරි ලිංගික එකතු උනාට පස්සේ ලෙඩක් හැදුනද දන්නේ නෑ කියලා සැකයක් වගේ තියෙනවා නම් මේ වෙබ්සයිට් එකට ගිහින් බලන්න.   ඔයාට ඒ රෝග වැළඳිලාද කියලා ගෙදරදීම ස්වයං තක්සේරුවක් (self Assessment) කර ගන්න පුළුවන්. භාෂා 3න් ම තියෙනවා.
 
👉 https://know4sure.lk/
 
ඊට අමතරව නොමිලේ ඔය රෝග පරීක්ෂණ කර ගන්න පුළුවන් රජයේ ලිංගික සෞඛ්‍ය සායන ගැන විස්තර දාලා කලින් පෝස්ට් එකක් දැම්මා. ඒකත් ඕනනම් කමෙන්ට් වල දානවා.
 
කොහොම හරි වෛද්‍ය පරීක්ෂණයකට ගියාට පස්සේ ඔයා මොන විදියටද එකතු උනේ කියන එක බලලා තමා ඒ අනුව මොකද්ද කරන්න ඕන පරීක්ෂණය කියලා බලන්නේ. ඒ කිව්වේ බැක් සයිඩ් කළා නම් ගුද මාර්ගයෙන් සාම්පල් ගන්නවා. ඒ වගේ මුත්‍රා වලින්, මුත්‍රා මාර්ගයෙන්, උගුරෙන් සහ ලේ වලින් සාම්පල් අරන් ටෙස්ට් කරලා බලනවා.
 
රෝග පරීක්ෂාවක් කර ගන්න යනවා නම්, ලිංගික සම්බන්ධය වෙලා සති 2 කට පස්සේ ගිහින් ටෙස්ට් එකක් කර ගන්න. හැබැයි සමහර රෝග ලක්ෂණ මතු වෙන්න කල් යනවා. ඒ හින්දා පළවෙනි ටෙස්ට් එක කරලා ඒක නෙගටිව් උනොත් මාස 3 කට පස්සේ ගිහින් ආයේ පාරක් ටෙස්ට් එකක් කරගෙන බලන්න.
 
රෝග ලක්ෂණ මතු වෙනකම් ඉන්න එපා. පොඩි හරි සැකයක් තියෙනවා නම් යන්න. 
 
#XeducationSL 

Previous Post Next Post