මේ දවස් වල රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මට වගේම ඔයාලටත් මේ වෙලාවේ ආතතියක්/ ස්ට්‍රෙස් (stress) එකක් ඇවිල්ල ඇති. මේ දවස් වල රටේ ප්‍රශ්න වලට අමතරව ජොබ් එකේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, relationship වල තියෙන ප්‍රශ්න වගේ එක එක ප්‍රශ්න හින්දා ආතති එනවා. ඔය විදියේ සමහර ඇති වෙන ආතති ඇත්තටම ඇති වෙනවා නෙමේ අපිම දා ගන්නවා. "එහා ගෙදර එකා කාර් එකක් ගත්තා. මාත් ගන්න ඕනා.. යාළුවෝ සේරම ටික කසාඳ බැන්දා. මම විතරයි බැඳලා නැත්තේ.." ඔය වගේ අපිම හදා ගන්න එක එක ඉලක්ක හින්දා එන ස්ට්‍රෙස් එක ඇත්තටම අපිම හදා ගන්න ස්ට්‍රෙස් එකක්.
කොහොම හරි ඔය විදියේ ආතතිය හැමවෙලේම තියෙන්න ගත්තම ඒකට දීර්ඝ කාලීන ආතතිය (Chronic Stress) කියලා කියන්නේ. සාමාන්‍ය ස්ට්‍රෙස් එක දීර්ඝ කාලින ස්ට්‍රෙස් එකක් උනාම තමා ප්‍රශ්නේ ටිකක් බරපතල වෙන්නේ. අධි රුධිර පීඩනය, දියවැඩියාව, අංශභාග තත්ත්ව වගේ ප්‍රශ්නත් මේ දීර්ඝ කාලීන ස්ට්‍රෙස් එක හින්දා එන්න පුළුවන්. ඊට අමතරව ලිoගික ජීවිතේට ගොඩක් නරක විදියට බලපාන දෙයක් තමා ආතතිය කියන්නේ. ලිoගික ගැටළු වලට උපදෙස් ගන්න එන කපල් ප්‍රතිකාර ගන්න ආවම ගොඩක් වෙලාවට කියන දෙයක් තමා ඒ දෙන්නගේ සම්බන්ධයේ ප්‍රශ්න, ජොබ් එකේ ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, ළමයින්ගේ ප්‍රශ්න, සෞඛ්‍ය තත්වය වගේ එක එක ප්‍රශ්න හින්දා මානසික ආතතිය වැඩි වෙලා තියෙන්නේ කියන එක.
අපි පොඩ්ඩක් බලමු ලිoගික ජීවිතේට මේ ස්ට්‍රෙස් වැඩි වෙන එක බලපාන්නේ කොහොමද කියන එක.
මානසික ආතතියක් තියෙන වෙලාවට අපේ ඇඟේන් කෝටිසෝල් (Cortisol) හෝමෝනය ශ්‍රාවය වෙනවා. ඇඟේ වයර් වෙලා තියෙන්නේ හදිසි ආතතියක් ආව වෙලාවට ඉක්මනට ඒකට ප්‍රතිචාර දක්වන විදියට. ඒකට උදව් වෙන ඇඟේ ස්වභාවික එලාම් සිස්ටම් එකක් තමා කොටිසොල් හෝමෝන කියන්නේ. ඒ වෙලාවට හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් විදියට ඇඟ හදනවා. කෝටිසෝල් හෝමෝන ශ්‍රාවය උනාම ලේ වල ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙලා මොළේට යවන ලේ ප්‍රමාණය පවා වැඩි කරනවා. ඇඟේ රුධිර පීඩනය වැඩි කරලා මාංශ පේශි වලට යවන රුධිරය ප්‍රමාණය වැඩි කරවනවා. ඕන ගේමකට ලෑස්ති කරවන්න තමා එහෙම කරන්නේ. එතකොට ඒ වෙලාවට ඇඟ හිතන්නේ මේ හදිසි අවස්ථාවෙන් ගලවා ගන්න එක ගැන විතරයි.
📌 ස්ට්‍රෙස් වෙලාවට ශ්‍රාවය වෙන කෝටිසෝල් හෝමෝනය හින්දා ලිoගිකව එකතු වෙන්න තියෙන ආසාව අඩු වෙනවා, සෙ.ක්ස් කරන්න මූඩ් එකක් නෑ වගේ දැනෙන්න ගන්නවා. මොකද ඇඟ emergency mode එක දාගෙන ඉන්නේ ඒ වෙලාවට වෙන වෙන දේවල් අදාළ වෙන්නේ නෑ.
ඒත් කෝටිසෝල් කියන්නේ ඇඟට ඕනේ නැති හෝමෝනයක් නෙමේ. ආතතියක් තියෙන වෙලාවට ඒකෙන් ගැළවෙන්න කෝටිසෝල් හෝමෝන ඕනා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ හැම වෙලේම ආතතියෙන් ඉඳලා කෝටිසෝල් හෝමෝන හැම වෙලේම වැඩි වෙන්න ගත්තම.
📌 තව ගැහැණු අයගේ ඔසප් චක්‍රයටත් මේ ස්ට්‍රෙස් හින්දා වැඩි වෙන කෝටිසෝල් හෝමෝනය බලපානවා. කලින් හැම මාසෙම ගාණට දිනේටම සිද්ද උන ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා. අවාරෙට පොල් වැටෙනවා වගේ එක එක දවස් වල ඔසප් වෙන එක සිද්ද වෙන්න ගන්නවා.
මේක නම් ගැහැණු අය අත්දැකීමෙන් දන්නවා ඇති. මොකක් හරි පෞද්ගලික ප්‍රශ්නයක්, විභාගයක් වගේ ලං උනාම ඔසප් වෙන දවස එක පාර අවුල් යනවා එක්කෝ ඒ මාසෙට ඔසප් වෙන්නෙම නෑ. ඒක අත්දැකලා ඇති ඔයාලා.
ඉතින් ඒ වගේ ඔසප් චක්‍රය අවුල් ගිහින් තියෙනවා නම් කිසිම වෙලාවක උපත් පාලන ක්‍රමයක් නැතුව නම් සෙ.ක්ස් කරන්න යන්න එපා.
මොකද ඔසප් චක්‍රය අවුල් වෙනවා කියන්නේ ඩිම්බ මෝචනය වෙන දවස් වෙනස් වෙනවා. ඒ කියන්නේ සරු දවස් මොනාද සෙ.ක්ස් කරන්න පුළුවන් සරු නැති දවස් මොනාද කියන එක හොයා ගන්න එක පොඩ්ඩක් අමාරු වෙනවා. අන්තිමට ඔසප් වුන දවසේ ඉඳලා දවස් ගාණ ගැනලා "ආ. අද සරු දවසක් නෙමේනේ" කියලා හිතලා මොකුත්ම නැතුව සෙ.ක්ස් කළොත් එහෙම නොසිතු දරු උපත් වලින් අනාගතේ අර්බුද වලට මුහුණ දෙන්න ඉඩ තියෙනවා ඔන්න. (එදා කොන්ඩම් එකක් නොදැම්ම හින්දා දැන් මේ ලංකාවට කරලා තියෙන දේ පේනවනේ)
📌 ඒ විතරක් නෙමේ ගැහැණු අයගේ සුරතාන්තය පරක්කු වෙන්න පුළුවන්, සමහර විට ස්ට්‍රෙස් වැඩි හින්දම සුරතාන්තය (orgasm) ලැබෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා.
ගැහැණු අයට විතරක්ම නෙමේ පිරිමි අයටත් ස්ට්‍රෙස් වැඩි කම හින්දා ක්ෂණික මෝචනය, ලිoගික අප්‍රාණිකත්වය වගේ ප්‍රශ්න එන්න පුළුවන්.
📌 දීර්ඝ කාලීන ස්ට්‍රෙස් එක හින්දා වෙන තව දෙයක් තමා ඇඟේ පරිවෘත්තිය ක්‍රියා (Metabolism) වෙනස් වෙනවා. (පරිවෘත්තිය ක්‍රියා කියන්නේ ජීවය පවත්වාගෙන යන්න ඇඟ ඇතුලේ සිද්ද වෙන රසායනික ක්‍රියාකාරිත්වය.) ආතතිය තියෙන වෙලාවට ඇඟේ පරිවෘත්තිය ක්‍රියා වල වෙන වෙනස හින්දා ඇඟේ මේදය තැන්පත් වෙන එකත් වැඩි වෙනවා. එතකොට ඉතින් ඇඟ මහත් වෙලා ටයර් එහෙම පැනගෙන එන්න ගන්නවා. හැබැයි මහත් වෙන ප්‍රශ්නේ එතනින් නතර වෙන්නේ නෑ.
තමන්ගේ ඇඟ මහත් වෙලා ඇඟේ ශේප් එක අවුල් ගියාම ඒක ගැන හිතන්න ගිහින් තමන්ගේ ආත්ම විශ්වාසය අඩු වෙනවා. Poor Body Image කියලා කියනවා ඒකට. ඕක උනාම ඉතින් "එයාට මාව එපා වෙයිද දන්නේ නෑ.. මේ ඇඟ තියාගෙන කොල්ලෙක් වත් යාලු වෙන්න අහයිද?" වගේ ප්‍රශ්න හිතේ හොල්මන් කරන්න ගන්නවා. ඉතින් ඕවා හිතලම ඕක මානසිකව වද දෙන තැනට ආවොත් ඒක හින්දා ලිoගික බෙලහීනතා පවා එන්න පුළුවන්.
📌 එතකොට තව තියෙන ප්‍රශ්නයක් තමා ස්ට්‍රෙස් තියෙන අය ඒ ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න කියලා එක එක දේවල් වලට යොමු වෙනවා.
මත්පැන්, සිගරට් සහ එක එක ජාතියේ මත්ද්‍රව්‍ය පාවිච්චියට පුරුදු වෙනවා. ඉතින් ඒ දේවල් ලිoගිකත්වයට කොහොමත් නරක විදියට තමා බලපාන්නේ, ලිoගිකත්වය සහ ඇල්කොහොල් ගැන කලින් දාපු පෝස්ට් එක මෙතනින් බලන්න.
📌 ඒ වගේම ස්ට්‍රෙස් වැඩි උනාම කරන තව වැරද්දක් තමා අවදානම් ලිoගික චර්යාවන් වලට යොමු වෙන එක. ස්ට්‍රෙස් එක නැති කර ගන්න හිතාගෙන අනියම් අසුරවල් හොයාගෙන යනවා. සල්ලි වලට එක එක අය එක්ක සෙට් වෙනවා. ඉතින් ඒ වගේ අවදානම් චර්යා හින්දා එයාලට ලිoගිකව සම්ප්‍රේෂණය වෙන රෝග බෝ වෙන්න වැඩි අවදානමක් තියෙනවා. ස්ට්‍රෙස් අඩු කර ගන්න හිතාගෙන ඕවා කරන්න ගිහින් අන්තිමට ලෙඩත් හදාගෙන ස්ට්‍රෙස් තව වැඩි කර ගන්න තමා වෙන්නේ.
📌 තව ස්ට්‍රෙස් එක හින්දා සමහරුන්ට ගොඩක් තරහා යනවා. තමන්ගේ හස්බන්ඩ් වයිෆ්, යාළු වෙලා ඉන්න කෙනා එක්ක හැම වෙලේම රණ්ඩු ඇති කර ගන්නවා. ඉතින් ඕවා හින්දා දෙන්නගේ සම්බන්ධතාව පළුදු වෙලා යන්න පුළුවන්. ඒ වගේ දෙන්නා අතර තියෙන සම්බන්ධතාව දුරස් වෙලා ගියාම ඒකත් ඒ කෙනාගේ ලිoගික ජීවිතේට නරක විදියට බලපානවා.
ස්ට්‍රෙස් එක වැඩි වෙන හින්දා ඒක ලිoගික ජීවිතේට බලපාන්නේ කොහොමද කියලා ඔයා දැන් දන්නවා. දැන් තියෙන ප්‍රශ්නේ ඉතින් අඩු කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන එකනේ. ඔන්න පොඩි ටිප්ස් ටිකක් තියෙනවා ස්ට්‍රෙස් එක අඩු කරගෙන ජීවත් වෙන්න.
පළවෙනි ටිප් එක..
📌මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ.
ස්ට්‍රෙස් වැඩි උනාම ශ්‍රාවය වෙන හෝමෝනය කෝටිසෝල් කියලා ඔයාලා දැන් දන්නවා. ඔය කෝටිසෝල් හැදෙන්නේ වකුගඩු වලට උඩින් තියෙන අධිවෘක්ක ග්‍රන්ථි වල (adrenal glands). එහෙම හැදෙන කෝටිසෝල් රුධිරයට මිශ්‍ර වෙලා ඇඟ පුරා ගිහින් තමා ඇඟේ වෙන්න ඕන වෙනස්කම් ටික වෙන්නේ. ස්ට්‍රෙස් වෙලාවට තරහ අරන් අනිත් එකාගේ ඔළුව කන්නේ නැතුව තරහ ගිය වෙලාවට හිතන්න "දැන් මගේ අධිවෘක්ක ග්‍රන්ථි වල කෝටිසෝල් හෝමෝන ශ්‍රාවය වෙලා හින්දයි මෙහෙම තරහ යන්නේ. මේක මම තරහ අරන් දඟලන්න ඕන වෙලාවක් නෙමේ" කියලා. ඔයා ස්ට්‍රෙස් වෙලා කියලා දැන ගන්න එක තමා ස්ට්‍රෙස් එක අඩු කර ගන්න ඉස්සෙල්ලම කරන්න පුළුවන් දේ.
ඊට පස්සේ ඇයි ස්ට්‍රෙස් වෙන්නේ කියලා බලන්න. ඔයා ස්ට්‍රෙස් වෙලා තියෙන හේතුව හොයා ගන්න. ස්ට්‍රෙස් වෙලා තියෙන හේතුව නැති කර ගන්න එක තමා ස්ට්‍රෙස් නැති කර ගන්න කරන්න තියෙන හොඳම දේ.
📌 හිතේ හිර කරන් ඉන්න එපා
ඔය ගොඩක් අය ඩිප්‍රෙශන් (Depression) තියෙනවා කියලා හිතාගෙන හිටියට ඒ කියන ගොඩක් අයට තියෙන්නෙ බරපතල දුකක්, වේදනාවක්. ඒ වගේ දුක්වෙලා, වේදනාවට පත්වෙලා ඉන්නකොට ළඟ ඉන්න කෙනෙක්ට කතා කරාම හිත හැදෙනව.
ඩිප්‍රෙශන් කියන්නෙ වෙනම සීන් එකක්. ඒක මොළයේ නියුරෝන පරිපථ වල සංකූලතාවක්. ඒක සනීප කරන්න සංවිධානාත්මක වෛද්‍ය ප්‍රතිකාර ඕන.
ඉතින් ස්ට්‍රෙස් වගේ කියලා දැනුනම ඒක හිතේ තියාගෙන ඉන්න නැතුව ඒක හිතවත් කෙනෙක්ට කියන්න. තමන්ගේ හස්බන්ඩ් වයිෆ් ට ඒ දේවල් කියන්න, එහෙම නැත්නම් ආදරේ කරන කෙනාට කියන්න, හොඳම යාලුවෙක් එක්ක ඔයාගේ ප්‍රශ්න ගැන කතා කරන්න. එහෙම කලාම දැනෙන ආතතිය ටිකක් අඩු කර ගන්න පුළුවන් කම ලැබෙනවා. ස්ට්‍රෙස් එක අඩු කර ගන්න වගේම තමන්ගේ ප්‍රශ්න අනිත් කෙනා එක්ක කතා කළාම ඒ දෙන්නගේ සම්බන්ධයත් වැඩි කර ගන්න පුළුවන් වෙනවා.
📌 ව්‍යායාම කරන්න
ස්ට්‍රෙස් එක අඩු කර ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමා ව්‍යායාම කරන එක. ජිම් එකකට යන්න පුළුවන් නම් හොඳයි. මේ දවස් වල යන්න පොඩ්ඩක් අමාරුයි නම් ගෙදරම එළියට බැහැලා ව්‍යායාම ටිකක් කරන්න. යෝගා වගේ ව්‍යායාම මනස ගොඩක් සන්සුන් කරන්න උදව් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. Relaxing Exercises කියලා Youtube එකේ ගහලා බැලුවනම් ඕන තරම් දේවල් එනවා.
📌 ඔයා කැමති දේ කරන්න
එක එක්කෙනාට තම තමන් කැමති දේවල්, විනෝදාංශ තියෙනවනේ. සමහරු කෑම කන්න ආසයි, සින්දු අහන්න ආසයි, ට්‍රැවල් කරන්න ආසයි ඔය වගේ එක එක දේවල් වලින් අපි සතුටු වෙනවා. ස්ට්‍රෙස් වෙලාවට තමන් කැමති ඒ වගේ දේවල් කරන එකෙන් ස්ට්‍රෙස් එක ටිකක් අඩු කර ගන්න පුළුවන්.
ඔය සේරම දේවල් ටික කරලත් මානසික ආතතියෙන් නම් ඉන්නේ ඒක අඩු කර ගන්න ක්‍රම තියෙනවා. වෛද්‍ය උපදේශන සේවයකට ගියොත් ඕන මගපෙන්වීම කරනවා. එහෙම අය ඉන්නවා නම් ගිහින් ප්‍රතිකාර ගන්න.
මේ දවස් වල රටේ තියෙන තත්ත්වේ හින්දා ඔයාලගේ ආතතිය වැඩි වෙලා තියෙනවා නම් ගෝටා ගෝ ගමට වත් ගිහින් එතන වෙන දේට සහභාගී වෙලා එන්න. ඔය තියෙන ස්ට්‍රෙස් එක පොඩ්ඩක් අඩු කර ගන්න පුළුවන්. යනවනම් කානිවල් බලන්න යනවා වගේ යන්න එපා. ඒක කරන අරමුණ හිතේ තියාගෙන යන්න.
#XeducationSL