ලිංගික අප්‍රාණිකත්වය නැති කර ගන්න හැටි : Get rid of (ED) Erectile dysfunction (Part 1)

 

ලිංගිකව එකතු වෙන වෙලාවට පිරිමින්ට වැඩියෙන්ම එන ප්‍රශ්න 2ක් තියෙනවා. එකක් තමා ඉක්මනට ශුක්‍රාණු පිට වෙන එක. අනික තමා ලිංගික අප්‍රාණිකත්වය Erectile dysfunction (ED). ගොඩක්ම තරුණ වයස් වල අයටත් මේ ලිංගික අප්‍රාණිකත්වය කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ හින්දම මේ ලිංගික අප්‍රාණිකත්වය නැති කර ගන්න හැටි ගැන විස්තර ඇතුව පෝස්ට් 2 ක් ළඟ ළඟ දාන්න ඉන්නේ. මේ පළවෙනි පෝස්ට් එක. 


ඉස්සෙල්ලම ශිෂ්ණය ප්‍රාණවත් වෙන එක වෙන්නේ කොහොමද කියලා බලමු. 


ශිෂ්ණය ප්‍රාණවත් වෙන එක ක්‍රම 3 කට වෙන්න පුළුවන්. මේ ක්‍රම වලින් ප්‍රධානම ක්‍රමය තමා ස්පර්ශයෙන්, භෞතිකව සමට දැනෙන උත්තේජනය හින්දා පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන එක.


දෙවෙනි ක්‍රමය තමා ගැඹුරු නින්දකදී පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන එක. පිරිමි ලමයි උදේට නැගිටිද්දී කුඩාරම ගහගනම නැගිටින්නේ ඔය හින්දා තමා. ඒක කිසිම රෝග ලක්ෂණයක් නෙමේ. හරිම සාමාන්‍ය දෙයක්. 


තුන්වෙනි ක්‍රමය තමා මනසින් අපිට දැනෙන මානසික උත්තේජන, මනෝ පාරවල් වගේ එව්වා හින්දා පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන එක. 

එතකොට ඔය දේ හරියට වෙන්න නම් මොළයේ ක්‍රියාකාරිත්වයත්, ස්නායු පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය සහ ඇඟේ හෝමෝන ටිකත් හරියටම වැඩ කරන්න ඕනා. මොළය තමා ඔය සේරම දේවල් සම්බන්ධිකරණය කරන්නේ. ඒ හින්දා මිනිසෙක් ගේ ප්‍රධාන ලිංගික අවයවය කියලා හඳුන්වන්නේ මොළය මිසක් වෙන ලිංගික අවයවයක් නෙමේ.


මේ පෝස්ට් ඒකෙන් කතා කරන්නේ මානසික තත්ත්ව හින්දා ඇති වෙන ලිංගික අප්‍රාණිකත්වය ගැන. ගොඩක් දෙනෙක්ට තියෙන්නේ මානසික තත්වයේ ප්‍රශ්න මිසක්, ඇඟේ මොනාවත් ප්‍රශ්න (physical health condition) නෙමේ.


▶ මානසික ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්න බලපාන හේතු වලින් ලොකුම හේතුවක් තමා anxiety කියන්නේ. ඒ කියන්නේ ලිංගික සංසර්ගය කරන වෙලාවේ එන අනිසි බයක්, සාංකාවක්, මට හරියට කර ගන්න පුළුවන් වෙයිද වගේ හැඟීමක් එන එක. කලින් පෝස්ට් එකක මේ ගැන වැඩි විස්තර දැම්මා. කියවන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ගිහින් පළවෙනි කමෙන්ට් එක බලන්න.


එතකොට ඔය විදියට කලින් දවසක, කවුරු හරි එක්කෙනෙක් එක්ක එකතු වෙන වෙලාවේදී anxiety එකක් හින්දා ලිංගික අප්‍රාණිකත්වය ඇති වුණා කියලා හිතමුකෝ. සමහර වෙලාවල් වලට කලින් දවසේ මුහුණ දුන්න මොකක් හරි කටුක අත්දැකීමක්, ඊලඟ දවසේ ලිංගිකව එකතු වෙන වෙලාවට මතක් වෙන්න පුළුවන්. කලින් දවසේ ප්‍රශ්නයක් වුන හින්දා අද නම් කොහොම හරි ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනා කියලා ඒ වෙලාවට හිතෙන්න ගන්නවා. ඔහොම වැඩියෙන් හිතන්න ගිහිනුත් anxiety ඇති වෙන්න පුළුවන්. ඔය විදියට anxiety එක හින්දා සන්සුන් බව නැති උනොත් අනිවාර්යෙන්ම ලිංගික අප්‍රාණිකත්වය එන්න පුළුවන්. 


ලිංගික සම්බන්ධයකදී ඇතිවෙන anxiety එක 👉 ලිංගික අප්‍රාණිකත්වය 👉 ලිංගික අප්‍රාණිකත්වය හින්දා ඇතිවෙන මානසික කඩාවැටීම

ඉතින් ඔය දේවල් 3 එකකට එකක් ඇඳිලා චක්‍රයක් වගේ යනවා.


▶ තව ඩිප්රෙෂන් එකත් මානසික ලිංගික අප්‍රාණිකත්වයට හේතුවක් වෙනවා. ඩිප්රෙෂන් සහ ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ එකට එකක් පෑහිලා යන දේවල්. ඒ කියන්නේ ඩිප්රෙෂන් හින්දා ලිංගික අප්‍රාණිකත්වය එන්න පුළුවන්, ලිංගික අප්‍රාණිකත්වය තියෙන කෙනෙක්ට ඒ ගැන හිතලා හිතලම ඩිප්රෙෂන් එන්නත් පුළුවන්.


තරුණ වයස් වල ගොඩක් දෙනාට මේ ප්‍රශ්නෙත් තියෙනවා. ඩිප්රෙෂන් තියෙන අය හැමවෙලේම ගොඩක් කනස්සල්ලෙන් තමා ඉන්නේ. ජිවිතේ ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන සුභවාදීව දකින්නේ නෑ. ගොඩක් වෙලාවට එයාලා ඉන්නේ ප්‍රශ්න ගොඩක. ධනාත්මක දේවල් හිතන්න බැරි තැනක තමයි එයාලා ඉන්නේ. කලින් ආසාවෙන් කරපු දේවල් පවා දැන් කිසි වැඩක් නෑ කියලා හිතලා අතෑරලා දාලා තමයි එයාලා ඉන්නේ. රස්සාව කරන තැන උනත් එපා වෙලා වගේ තමා ඉන්නේ. හැම වෙලේම මල පැනලා ඉන්න එක සහ නින්ද අඩු එකත් ඩිප්රෙෂන් තියෙන කෙනෙක්ගේ ලක්ෂණ. ඉතින් ඔය ලක්ෂණ තියෙනවා නම් ඉක්මනටම වෛද්‍ය උපදෙස් ගන්න යන එක තමා කරන්න තියෙන්නේ. මොකද එහෙම නොවුනොත් අවසානේ තමන්ගේ ජීවිතය පවා නැති වෙන්න පුළුවන්. 


මානසික ලිංගික අප්‍රාණිකත්වය එන්න පුළුවන් ප්‍රධානම හේතු 2 තමා ඔය. පළවෙනි කමෙන්ට් එකේ තියෙන පෝස්ට් එකේ ඕකට බලපාන්න පුළුවන් තවත් හේතු මොනාද කියලා විස්තර ඇතුව තියෙනවා. 


මේ විදියේ ලිංගික අප්‍රාණිකත්වයක් තියෙනවා නම් ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමා ඔය ප්‍රශ්නයේ මුල මොකද්ද කියලා හොයා ගන්න ඕනා. තමන්ට ලිංගික අප්‍රාණිකත්වය එන්නේ ඇඟේ රෝග තත්ත්ව, හෝමෝන වල ප්‍රශ්න වගේ හේතු හින්දද, එහෙම නැත්නම් මානසික ගැටළුවක් හින්දද කියලා හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන්.


ඒක කරන්නේ මෙහෙමයි.


▶ ඇඟේ රෝග තත්ත්ව, හෝමෝන වල ප්‍රශ්න වගේ හේතු හින්දා එන ලිංගික අප්‍රාණිකත්වය ක්‍රම ක්‍රමයෙන් තමා එන්නේ (gradually). හැබැයි මානසික ලිංගික අප්‍රාණිකත්වය එක රැයින්, එක මොහොතෙන් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන් තමන්ට තියෙන ලිංගික අප්‍රාණිකත්වයට හේතුව මානසික ගැටලුවක් කියලා.


▶ ඒ වගේම මානසික ගැටළු හින්දා එන ලිංගික අප්‍රාණිකත්ව වල තියෙන තව ලක්ෂණයක් තමා, ලිංගික අප්‍රාණිකත්වයට එන්නේ ඒ වෙලාවට විතරයි (situational). ඒ අයට කිසිම ප්‍රශ්නයක් නැතුව ස්වයං වින්දනය කරන්න එහෙම පුළුවන්. හැබැයි වෙන කවුරු හරි එක්ක එකතු වෙන්න ගිය ගමන්ම ආපහු ප්‍රශ්නේ එනවා. 


එක්කෝ තමන් විවාහ වෙලා ඉන්න කෙනා එක්ක එකතු වෙද්දී ඔය ප්‍රශ්නේ එනවා. හැබැයි අනියම් කෙනා එක්ක සෙට් වෙද්දී ඔය ප්‍රශ්නේ එන්නේ නෑ. ඔය වගේ ලක්ෂණ තියෙනවා නම් ඒ ලිංගික අප්‍රාණිකත්වය මානසික හේතු හින්දා ඇති වෙන අප්‍රාණිකත්වයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.


▶ ඒ වගේම කුඩාරම් ගහගෙන උදේට ඇහැරෙන කෙනෙක්ට ලිංගික එකතු වීමකදී ලිංගික අප්‍රාණිකත්වය එනවා නම් ඒකත් ගොඩක් වෙලාවට මානසික හේතුවක් හින්දා තමා වෙන්නේ, මොකද ගැඹුරු නින්දකදී අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ නෑ. එහෙම වෙලාවකත් උදේට කුඩාරම ගහගෙන නැගිටින්න වෙනවා කියන්නේ ඇඟේ වැඩ කරන්න ඕන දේවල් ටික හරියට වැඩ කරනවා කියන එක.


ඔයාට මේ වගේ මානසික ප්‍රශ්න හින්දා ලිංගික අප්‍රාණිකත්වය එන ප්‍රශ්නේ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න යන්න, විශ්ලේෂණයක් (assessment) කර ගන්න. මොකද තමන්ට සමහර විට හිතෙන්න පුළුවන් අප්‍රාණිකත්වය ඇති වෙලා තියෙන්නේ මානසික හේතුවක් හින්දා කියලා, හැබැයි නිදන්ගත වෙලා තියෙන වෙනත් හේතු (underline) තියෙන්න පුළුවන්.


මේ වගේ මානසික ලිංගික අප්‍රාණිකත්වය තියෙන අයට ප්‍රතිකාර විදියට ඖෂධ දෙනවා, හැබැයි කෙටිකාලීනව. මේ වගේ දේවල් වලටම විශේෂ වුන මනෝ ලිංගික චිකිත්සක ක්‍රම (sex therapy) තියෙනවා. ඒ ක්‍රියාකාරකම් වල යෙදුනම මේ ප්‍රශ්නෙන් ලේසියෙන්ම ගැලවෙන්න පුළුවන්.


ඊළඟ පෝස්ට් ඒකෙන් දාන්නම් ලිංගික අප්‍රාණිකත්වයට බලපාන ඇඟේ තියෙන්න පුළුවන් අනිත් ප්‍රශ්න මොනාද කියලා.


#XeducationSL


Previous Post Next Post