කලින් පෝස්ට් එකක් දැම්මා පිරිමි අයට වැඩියෙන්ම එන ප්‍රශ්නයක් වෙච්ච ලිංගික අප්‍රාණිකත්වය (Erectile dysfunction) ගැන. එකේ තිබ්බේ ලිංගික අප්‍රාණිකත්වයට බලපාන මානසික හේතු ගැන. මේක ඒකෙ දෙවෙනි කොටස. මේ පෝස්ට් තියන්නේ ලිංගික අප්‍රාණිකත්වයට බලපාන්න පුළුවන් ශාරීරික හේතු (Physical health condition) මොනාද කියලා.
ලිංගික අප්‍රාණිකත්වය එන්න බලපාන ලොකුම හේතුව තමා රුධිර සංසරණ පද්ධතියේ තියෙන ප්‍රශ්න. රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩු වෙන්න කෙලින්ම බලපානවා අධික රුධිර පීඩනය, හෘදයාබාධ, දුම්පානය, තරබාරු බව, ව්‍යායාම අඩු කම වගේ හේතු. ඔව්වා ඉතින් මම මේ පැය ගණන් වෙලාව අරන් පෝස්ට් ලියලා කියන්න ඕන දේවල් නෙමේ. ඉස්කෝලෙ 9 වසරේ ළමයෙක් ගෙන් ඇහුවත් කියයි, ඕව් ඕවා හොඳ නැති දේවල් තමා කියලා. හැබැයි ඒ දේවල් බලපාන්නේ කොහොමද කියලා කියන එක තමා මම හිතන්නේ වැඩියෙන් වැදගත් දේ. මොකද ඉස්සෙල්ලම ප්‍රශ්නෙක දිග පළල හරියට දැන ගන්න ඕනා ප්රශේනෙන් ගොඩ එන්න නම්.
▶ ලිංගික අප්‍රාණිකත්වයට වැඩියෙන්ම බලපාන්නේ රුධිර සංසරණ පද්ධතියේ ප්‍රශ්න කියලා කිව්වනේ. ඒකට හේතුව මේකයි.
පුරුෂ ලිංගය ඇතුලේ තියෙනවා සිලින්ඩර් හැඩේට තියෙන ස්පොන්ජ් වගේ පටක 3 ක්. ඔය ස්පොන්ජ් වගේ ඒවා ඇතුලේ තමා රුධිරය තැන්පත් වෙන්නේ.
ඔන්න දැන් වෙලාව ආවම මොළෙන් පණිවිඩේ යවනවා ගැජට් එක පණ ගහලා ගන්න කියලා. එතකොට රුධිරය පොම්ප කරලා යවනවා පුරුෂ ලිංගය දිහාවට. ඒ හින්දා පුරුෂ ලිංගයේ තියෙන අර කලින් කිව්ව ස්පොන්ජ් පටක ඇතුළට රුධිරය පිරෙනවා. රුධිරය පිරෙන හින්දා ස්පොන්ජ් එක පිම්බිලා පුරුෂ ලිංගය කෙලින් වෙලා එනවා.
පුරුෂ ලිංගය ඇතුළට ගිය රුධිරය එළියට යන්න තියෙන වෑල් එකත් ඒ එක්කම වැහෙනවා. එහෙම කරලා පුළුවන් වෙනවා දිගටම පුරුෂ ලිංගය ඇතුළේ රුධිර පීඩනය තියාගෙන පුරුෂ ලිංගය දිගටම කෙලින් කරවලා තියාගෙන ඉන්න.
ඒ කියන්නේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන එක සම්පුර්ණන්ම රුධිරයෙන් වෙන දෙයක්.
ඉතින් ඒ යැවෙන රුධිර ප්‍රමාණය අඩු උනාම පුරුෂ ලිංගය හරියට ප්‍රාණවත් වෙන්නේ නැති වෙනවා. දැන් තේරෙනවනේ රුධිර සංසරණ පද්ධතිය හරියට වැඩ කරන්නේ නැති උනාම ලිංගික අප්‍රාණිකත්වය එන එකේ තියෙන සම්බන්ධය.
▶ ලිංගික අප්‍රාණිකත්වය එන්න තවත් හේතුවක් තමා දියවැඩියාව කියන්නේ. මේක කොච්චර නරක විදියට බලපානවද කියනවා නම් දියවැඩියාව තියෙනවා කියන එකම ලිංගික අප්‍රාණිකත්වය අත වන වනා ඉන්නවා වගේ තමා. සාමාන්‍ය කෙනෙක්ට වඩා දියවැඩියාව තියෙන කෙනෙක්ට ලිංගික අප්‍රාණිකත්වය එන්න 4 ගුණයක් විතර අවදානම වැඩියි කියලා තමා කියන්නේ. ඒකත් වෙන විදිය කියලා මම විස්තර කරලා කියන්නම්.
කලින් කිව්වනේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන එක වෙන්නේ කොහොමද කියලා. ඒ ටික ඔළුවේ තියාගෙනම මේ ටික කියවන්න හොඳේ.
පිරිමි කෙනෙක්ට ලිංගික උත්තේජනයක් ආවම nitric oxide කියලා රසායනිකයක් එයාලගේ රුධිර සැපයුමට නිකුත් වෙනවා. ඔය රසායනිකය රුධිරය අරන් යන නාල වලටයි, පුරුෂ ලිංගයේ මාංශ පේශි වලටයි පණිවිඩයක් යවනවා ඔන්න ඔයාලා පොඩ්ඩක් ලිහිල් වෙලා ඉන්න, අපි දැන් පුරුෂ ලිංගය කෙලින් කරවන්න රුධිරය එවන්නයි හදන්නේ කියලා. පණිවිඩේ යවලා එයාලව ලැස්ති කරවලා රුධිරය ටික යැව්වම ගාණට කෙලින් වෙලා එනවා.
හැබැයි දියවැඩියාව තියෙන කෙනෙක්ගේ ප්‍රශ්නේ තමා රුධිරයේ සීනි මට්ටම තියෙන්න ඕන ගාණට තියෙන්නේ නෑ. රුධිරයේ සීනි මට්ටම වැඩි උනාම nitric oxide අඩුවෙන් තමා හැදෙන්නේ. ඉතින් ඒ හින්දා පුරුෂ ලිංගයට යැවෙන රුධිරයත් අඩුවෙන් තමා යැවෙන්නේ. ඒ හින්දා දියවැඩියාව තියෙන කෙනෙක්ට පුරුෂ ලිංගය හරියට ප්‍රාණවත් වෙන එක නොවෙන්න පුළුවන්. දැන් තේරෙනවනේ හේතු එකකට එකක් බැඳිලා යන විදිය.
▶ හැබැයි කතාව ඔතනින් නතර වෙන්නේ නෑ. දියවැඩියාව ටිකක් දරුණු අතට හැරුනම ඒක ස්නායු වලටත් බලපානවා. ඒකට කියන්නේ Autonomic Neuropathy කියලා. ඒකත් වෙන විදිය මම කියන්නම්.
කාලයක් තිස්සේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩියෙන් තිබ්බම ස්නායු වලට ඕන කරන අත්‍යාවශ්‍ය පෝෂක යවන රුධිර නාල වලට හානි වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ස්නායු තන්තුත් හානි වෙලා, නැති වෙලාම යන්න පුළුවන්. ඔය ස්නායු තමා ඇඟේ තියෙන අවයව සහ ග්‍රන්ථි වලට ඕන කරන පණිවිඩ එහෙම යවන්නේ.
ඉතින් ඔය හින්දා තමා දියවැඩියාව හින්දා ස්නායු අකර්මන්‍ය වෙලා ලිංගික අප්‍රාණිකත්වය එන්න පුළුවන් කියන්නේ.
▶ දියවැඩියාව හින්දා පිරිමි අයගේ පිරිමි හෝමෝන (ටෙස්ටෙස්ටරෝන්) අඩු වෙන්නත් පුළුවන්. පිටියුටරි ග්‍රන්ථි වලින් වලින් නිකුත් වෙනවා LH (luteinizing hormone) කියලා රසායනිකයක්. ටෙස්ටෙස්ටරෝන් හැදෙන්නේ පිටියුටරි ග්‍රන්ථි වලින් LH හොඳට ශ්‍රාවය වෙනවා නම් විතරයි.
වැඩේ කියන්නේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි අයගේ පිටියුටරි ග්‍රන්ථි වලින් LH අඩුවෙන් තමා හැදෙන්නේ. ඒ හින්දා පිරිමි හෝමෝනත් අඩු වෙනවා. ඔන්න ඔය විදියට තමා දියවැඩියාව පිරිමි හෝමෝන අඩු වෙන්න බලපාන්නේ. ඉතින් ඒ පිරිමි හෝමෝන අඩු වෙන එක ලිංගික අප්‍රාණිකත්වය එන්න කෙලින්ම බලපානවා.
▶ ලිංගික අප්‍රාණිකත්වයත් එක්ක ළඟ ළඟම යන තව රෝගයක් තමා හෘදයාබාධ කියන්නේ. හෘදයාබාධ හැදෙන්නේ හෘදයට යන රුධිර නාල අවහිර වෙන එක හින්දා. හරි දැන් ඔය රුධිර නාල තියෙනවනේ. ඕවගේ විෂ්කම්භය අරන් බැලුවම පේන දෙයක් තමා, පුරුෂ ලිංගයට රුධිරය අරන් යන රුධිර නාල වල විශ්කම්භය, හෘදයට රුධිරය අරන් යන රුධිර නාල වල විෂ්කම්භයට වඩා අඩුයි.
එතකොට ඇඟේ රුධිර නාල අවහිර වෙන එක වෙනවා නම් ඒක ඉස්සෙල්ලම වෙන්න පුළුවන් තැන තමා පුරුෂ ලිංගයට රුධිරය අරන් යන රුධිර නාල වල. සාමාන්‍යයෙන් පුරුෂ ලිංගයට යන රුධිර නාල ඉස්සෙල්ලම block වෙලා ඊට පස්සේ තමා හෘදයට යන රුධිර නාල block වෙන්නේ. ඒ කියන්නේ කාට හරි රුධිර නාල අවහිර වෙන එක හින්දා ලිංගික අප්‍රාණිකත්වයක් දැනට තියෙනවා නම් ඒ කෙනාට ඉස්සරහට හෘදයාබාධයක් එන්න පුළුවන් කියන ඉඟිය ඒකෙන් හම්බෙනවා. හෘදයාබාධ අවදානම එයාට තියෙනවා කියන සංඥාව සංඥාව තමා ඒ.
▶ සිගරට් බොන එක හින්දත් ලිංගික අප්‍රාණිකත්වය එනවා කිව්වනේ. සිගරට් බිව්වම වෙන්නෙත් සිගරට් වල තියෙන කෙමිකල් හින්දා පුරුෂ ලිංගයේ තියෙන රුධිර නාල හානි වෙලා යන එක. එතකොට පුරුෂ ලිංගයට රුධිරය පිරිලා ප්‍රාණවත් වෙන එක හරියට වෙන්නේ නැති වෙනවා. පුරුෂ ලිංගයට රුධිරය යවන්න කියලා මොළයෙන් පණිවිඩේ යැව්වත් රුධිර නාල හානි වෙලා තියෙන හින්දා කෙලින් වෙන්න ඕන එක හරියට වෙන්නේ නෑ.
මේ කිව්වේ සිගරට් බොන එක ලිංගික අප්‍රාණිකත්වයට කෙලින්ම බලපාන එක විදියක් විතරයි හොඳේ. සිගරට් කියන්නේ මුළු ඇඟටම හානි කරවන දෙයක්.
▶ තව වයසින් වැඩි අය ගන්න සමහර බෙහෙත් වර්ගත් මේකට හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. අධි රුධිර පීඩනයට ගන්න ඖෂධ වර්ග වලින් ලිංගික අප්‍රාණිකත්වය එන්න අවස්තාවක් තියෙනවා. තව එක එක මානසික රෝග, මානසික ගැටළු වගේ දේවල් වලට ගන්න බෙහෙත් වලිනුත් ඒකම වෙන්න පුළුවන්.
▶ තවත් හේතු ටිකක් කියනවා නම්, අපි වයසට ගියාම එන එක එක ස්නායු රෝගත් මේකට බලපානවා.
▶ ශ්‍රෝණිය (pelvis) ආශිතව කරන එක එක ශල්‍යකර්ම හින්දත් ඔය ප්‍රශ්නේ එනවා.
▶ පිරිමි අයගේ පුරස්ථි ග්‍රන්ථි වල එන ප්‍රශ්නයක් තමා ඒවා ඉදිමෙන එක. එහෙම උනාම කරන්නේ ශල්‍යකර්මයක් කරලා පුරස්ථි ග්‍රන්ථි අයින් කරන එක. ඕක කරන වෙලාවට පුරුෂ ලිංගයට යැවෙන ස්නායු එහෙමත් හානි වෙන්න පුළුවන්. ඒ හේතුව හින්දත් ලිංගික අප්‍රාණිකත්වය එන්න පුළුවන්.
ඔය උඩ කිව්ව දේවල් ටික හරියට කියෙව්වා නම් ඔයාලට දැන් ලිංගික අප්‍රාණිකත්වය එන්න පුළුවන් හේතු ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා. දැන් බලමු මේ ප්‍රශ්නේ නැති කර ගන්නේ කොහොමද කියලා.
▶ පෝස්ට් එක කියවන් එද්දී රුධිර සංසරණ පද්ධතිය නිරෝගිව තියා ගන්න කොච්චර වැදගත්ද කියලා තේරෙන්න ඇති. ඒකට ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමා අපි කන බොන දේවල් ගැන බලා ගන්න ඕනා. මේ මාසේ ඉවර වෙන්න කලින් කෙට්ටු වෙන්න/ මහත් වෙන්න/ තමන්ගේ ඕන කරන විදියට ඇඟ හදා ගන්න, meal plan එකක් තමන්ම හදා ගන්න හැටි ගැන පෝස්ට් එකක් දානවා. ඒකෙ මේ කන්න බොන්න ඕන දේවල් ගැන විස්තර ඇතුව කියන්නම්.
▶ රුධිර සංසරණ පද්ධතිය හොඳට තියා ගන්න කෑම පාලනය කරන එකත් එක්ක ළඟ ළඟම යන දෙයක් තමා ව්‍යායාම කරන එක. ඔය ගැනත් උඩ දානවා කිව්ව පෝස්ට් එකේ දාන්නම්. දැනට කෙටියෙන් කියනවා නම් cardio exercises ඒකට ගොඩක් හොඳයි. රුධිර සංසරණය වෙන එක වේගවත් වෙලා සිස්ටම් එක හොඳට වැඩ කරන්න ගන්නවා.
▶ ලිංගික අප්‍රාණිකත්වයට හේතු කියද්දී මම උඩින් කිව්වා ගන්න සමහර බෙහෙත් හින්දත් ලිංගික අප්‍රාණිකත්වය එන්න පුළුවන් කියලා. ඔයා ඒ වගේ බෙහෙත් බොන කෙනෙක් නම් ඔයාටත් ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා නම් වෛද්‍යවරයා එක්ක ඒ ගැන කතා කරන්න. ඒ වෙනුවට වෙනත් ආදේශක බෙහෙත් දෙන්න වෛද්‍යවරු දන්නවා.
▶ දුම්පානය කියන්නෙත් ලිංගික අප්‍රාණිකත්වය එන්න තව හේතුවක් උඩම කිව්වනේ. ඒ පුරුද්ද තියෙනවා නම් නවත්තලා දාන්න. සිගරට් බොන එක ගැන කියද්දී අනිත් දේ තමා ඇල්කොහොල්. ඒ ගැන නම් කලින් පෝස්ට් එකක් දැම්මා. බොනවා නම් බොන්න ඕන ලිමිට් එක මොකද්ද, ඒ ලිමිට් එක පැන්නම ඒක ලිංගික ක්‍රියාකාරිත්වය අඩු වෙන්න බලපාන්නේ කොහොමද කියලා එකේ විස්තර ඇතුව තියෙනවා. කියවන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පළවෙනි කමෙන්ට් එකේ ඔන්න ලින්ක් එක දාලා තියෙනවා.
හැබැයි ඔය දේවල් සේරම දේවල් කරලත් ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් ගාවට යන්න. මොකද ලිංගික අප්‍රාණිකත්වය තව තව රෝග එක්ක බැඳිලා තියෙන්න පුළුවන්. ඒ දේවල් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ට මිසක් ඔයාට නිශ්චය කරන්න බෑ.
ලිංගික අප්‍රාණිකත්වයට පාවිච්චි කරන ප්‍රතිකාර ක්‍රම 4ක් ගැන කලින් පෝස්ට් එකක් දාලා තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් ඒකත් ගිහින් කියවන්න, ඔන්න කමෙන්ට් වල දාලා තියෙනවා.
#XeducationSL