සමලිංගිකත්වය (homosexuality) කියන්නේ කාලෙන් කාලෙට එක පාර උඩ එන දෙයක්. තමන්ට සමාන ලිංගික අවයව තියෙන අයට ලිංගිකව ආකර්ෂණය වෙන එකට තමා සමලිංගිකත්වය කියන්නේ. ලිංගික නැමියාව (sexual orientation) කියලා කියනවා ඒකට. ගොඩක් අය දන්නේ "ලෙස්බියන්" සහ "ගේ" විතරක් උනාට, දැන් වෙද්දී නම් LGBTQ+ කියලා කාණ්ඩ සෑහෙන ගොඩක් ඕකට ඇවිත් තියෙනවා. ඒ වගේම ඕව ගැන තියෙන සංවිධානත් සෑහෙන ප්‍රභලයි. මම ඒ වගේ එක ආයතනයක් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ සංවිධාන වලට එච්චර සල්ලි කොහෙන් එනවද කියලා හිතා ගන්න බෑ.
පෞද්ගලිකව, සමලිංගිකත්වය කියන එක ස්වභාවධර්මය විසින් තියන් යන එකේ අරමුණ මොකද්ද කියලා මට තේරෙන්නේ නෑ. සත්ත්ව ලෝකේ ඉන්නවා වෙනස් ලිංගික කාණ්ඩ වලට දාන්න පුළුවන් සත්තු. ඒ අය ගැන කියලා මගේ මතය මම කියන්නම්.
▶ මී මැස්සා
මී මාසි ජනපදයක මී මැස්සන් ජාති 3 ක් ඉන්නවා. ගැහැණු රැජිණක් ඉන්නවා. වැඩකාර මී මැස්සියන් ඉන්නවා. මි පැණි එකතු කරන පිරිමි මී මැස්සන් ඉන්නවා. ජනපදය ඇතුලේ සේරම වැඩ ටික කරන්නේ, යුද්ධ කරන්නේ සේරම ගැහැණු මී මැස්සියන්. මල් පැණි ටිකක් බීගෙන, රැජිණට සෙස් කර කර වර්ගයා බෝ කරන එක තමා පිරිමි මී මැස්සන්ගේ වැඩේ. රැජිණගේ ඇඟේ තමා තියෙන්නේ ඩිම්බ. රැජිණට පුළුවන් එයාගේ ඇඟේ තියෙන ඩිම්බ එයාට ඕන වෙලාවට සරු කරවන්න (egg fertilize). රැජිණ ඩිම්බ සරු කරනවා නම් මී මැස්සියන් හැදෙනවා. එහෙම කලේ නැත්නම් මී මැස්සන් තමා හැදෙන්නේ. එතකොට රැජිණ තමයි තීරණය කරන්නේ පිරිමි මී මැසි පැටව් හදනවද, ගැහැණු මී මැසි පැටව් හදනවද කියලා. ඇත්තටම බැලුවොත් එතකොට පිරිමි මී මැස්සන්ට තාත්තෙක් නෑ. ඒ කොහොම හරි කමක් නෑ මී මැස්සන් එහෙම බෝ වෙන්නේ තමන්ගේ ජනපදය හරි ගැහැණු - පිරිමි බැලන්ස් එකකින් තියා ගන්න.
▶ Clown-මාළුවා
පොඩි කාලේ Finding Nemo කියලා කාටුන් ෆිල්ම් එකක් එහෙම බැලුවා මතකද. අර තැඹිලි පාට ඉරි ඉරි වගේ ඇඟේ තියෙන මාළුවෙක්ගේ කතාවක් ආවේ. අන්න එකේ ඉන්නේ Clown-fish කෙනෙක්. ඒක බලලා පොඩි කාලේ දුක හිතිලා ඇඬුවත් එක්ක. 2000 ට කලින් ඉපදුනා නම් ගොඩක් වෙලාවට ඕක බලලා ඇති. 2003 ෆිල්ම් එක ආවේ. ඒ කොහොම හරි කමක් නෑ ඔය Clown-fish ලගේ රන්චුවකටම ඉන්නේ එකම එක ගැහැණු සතායි. අනිත් සේරම පිරිමි සත්තු. ගැහැණු මාළුවා තමා රංචුවේ ඉන්න ලොකුම මාළුවා. දවසක එයා මැරුණම ඒ මාළු රංචුවේ ඉන්න අනිත් පිරිමි සත්තුන් ගෙන් කෙනෙක් ඒ අඩුව පුරවනවා. Clown-fish පිරිමි සත්තුන්ට පුළුවන් ගැහැණු සතෙක් විදියට ලිංගිකත්වය මාරු කර ගන්න. (මේ පෝස්ට් එක ලියද්දි තමා තේරෙන්නේ Finding Nemo ෆිල්ම් එකේ තිබ්බේ තනිකර බොරුවක්නේ කියලා. අපරාදේ ඇඬුවත් එක්ක.)
▶ Banana slug
කහ පාට පණුවෙක් වගේ සතෙක් මේ. මෙයා ද්වී- ලිංගික සතෙක්. ලතින් භාෂාවෙන් De Loco Phallus කියලා තමා එයාට කියන්නේ. නමේ සිංහල තේරුම ගත්තොත්, De Loco කියන්නේ විශාල - Phallus කියන්නේ පුරුෂ ලිංගයට. Banana slug ව Google කරලා බලන්න. ඒ නම වැටිලා තියෙන්නේ ඇයි කියලා තේරෙයි.
මෙයා ද්වී- ලිංගික කියලා කිව්වනේ. එතකොට මේ කෙනෙක්ට පුරුෂ ලිංගයයි, ගැහැණු ලිංගික අවයවයි දෙකම තියෙනවා. ප්‍රජනනය කරන වෙලාවට මෙයාලා දෙන්නා කරන්නේ රවුමට වගේ හැදිලා මෙයාගේ එක අරයගෙ හිලේ ඔබනවා, අරයගෙ එක මෙයාගේ හිලේ ඔබනවා. හැබැයි සමහර වෙලාවට පිරිමි ලිංගික අවයවය ලොකු වෙලා, ගැහැණු කෙනාගේ අවයවය ඇතුලේ හිර වෙනවා. මෙයාලගේ පිරිමි ලිංගික අවයවය හරිම හෙල්ලයක් වගේ හරිම තියුණුයි. ඉතින් පුරුෂ ලිංගය හිර වුන වෙලාවට මොකද කරන්නේ හිර කර ගත්ත කෙනා එයාගේ පිරිමි ලිංගික අවයවයෙන් අනිත් සතාට ඇනලා මරලා දාලා හිර වුන එක එළියට ගන්නවා. ඒ විදියට ඒ දෙන්නගෙන් වැඩියෙන් ශක්තිමත් කෙනා ඉතුරු වෙලා එයාගේ ඇඟේ පැටියව හැදෙනවා.
මට ඔය සත්ත්ව ලෝකේ උදාහරණ 3 දීලා කියන්න ඕන උනේ මෙන්න මේ දේ.
ඔය සත්තු වර්ග තුනේම ලිංගිකත්වය කියන එක පැහැදිලිව කෙලින් ඉරක් ගහලා වෙන් කරන්න පුළුවන් විදියට ගැහැණු, පිරිමි විදියට වර්ග දෙකක් නෑ. ස්වභාවධර්මය විසින්ම ලිංගිකත්වයේ විවිධත්වයක් ඇති කරලා තියෙනවා. හැබැයි සත්ත්ව ලෝකේ තියෙන ඒ ලිංගික විවිධත්වයේ අරමුණක් තියෙනවා. ඒ තමා තමන්ගේ වර්ගයා බෝ කරගෙන ඉස්සරහට වර්ගයා අරන් යන එක. අන්න එතකොට මට තියෙන ප්‍රශ්නේ තමා මිනිස්සුන්ගේ ලිංගික විවිධත්වයේ අරමුණක් තියෙනවද කියන එක. දෙන්නෙක් සමලිංගික වෙලා ජිවත් උනා කියලා ස්වභාවිකව ඒ දෙන්නට දරුවක් හදන් මිනිස් වර්ගයා ඉස්සරහට අරන් යන්න දායක වෙන්න බෑනේ. එතකොට මට තේරෙන්නේ නෑ ඇයි ස්වභාවධර්මයා විසින් ඇයි එහෙම කරන්නේ කියලා. සමහර විට ඉස්සරහට ඒකට උත්තරයක් හම්බෙයි.
📌 සමලිංගිකත්වය ලෙඩක්ද?
සමලිංගිකත්වය ගැන තමන්ට ප්‍රශ්න තියෙන අය පේජ් එකට මැසේජ් කරලා අහන්නේ මේක නැති කර ගන්න බෙහෙතක් කියන්න කියලා තමා. හැබැයි අද ලෝකේ කිසිම වෙලාවකදී වෛද්‍යවිද්‍යාවෙන් මේක මානසික රෝගයක් කියලා සළකන්නේ නෑ. එතකොට මේක ලෙඩක් නෙමෙයි හින්දා එහෙමෙ බෙහෙත් දීලා හොඳ කරනවා කියලා එකක් කරන්න බෑ. තව ගොඩක් අය දන්නේ නැති දෙයක් තියෙනවා ලිංගික නැමියාව කියන එක තමන්ගේ ජිවිත කාලේ ඇතුළත එක එක පැත්තට වෙනස් වෙන්න පුළුවන්. විෂම ලිංගික කෙනෙක් උනත් පස්සේ කාලෙක සමලිංගික හැසිරීම් වල යෙදෙන්න පුළුවන්. එතකොට සමලිංගික හැසිරීම් වල කිසිම වැරද්දක් කියන්නත් බෑ.
හැබැයි අපේ රටේ සංස්කෘතියට අනුව නම් මේක සෑහෙන නරක දෙයක් විදියට තමා දකින්නේ. සංස්කෘතිය පැත්තකින් දාමු, ලංකාවේ නීතිය අනුවත් සමලිංගිකත්වයේ හැසිරෙනවා කියන්නේ වරදක්. දණ්ඩනීති සංග්‍රහයේ 365 අ වගන්තියේ තියෙන විදියට “ප්‍රසිද්ධියේ හෝ අප්රසිද්ධියේ වෙනත් තැනැත්තෙකු සමඟ දැඩි අශිෂ්ඨ ක්‍රියාවක් කරන තැනැත්තෙක් වරදකරුවෙක් වෙනවා” කියලා තියෙනවා. ඕක තමයි සමලිංගික අයට ලංකාවේ පාවිච්චි කරන නීතිය. හැබැයි කලින් නම් තිබ්බේ පුරුෂයෙක් තවත් පුරුෂයෙක් එක්ක දැඩි අශිෂ්ඨ ක්‍රියාවක් කරනවා නම් ඒක වරදක් කියලා. හැබැයි පස්සේ කාලෙක “පුරුෂයෙක්” කියන එක වෙනුවට “වෙනත් තැනැත්තෙක්” කියලා ඕක සංශෝධනය කරලා තියෙනවා. එතකොට දැන් පිරිමි - පිරිමි සහ ගැහැණු - ගැහැණු එක්ක කරන ලිංගික සම්බන්ධත් මේකට අදාළ වෙනවා.
📌 සමලිංගිකත්වයේ තියෙන ප්‍රශ්න මොනාද?
සමාජයෙන් සමලිංගික අයව කොන් කරන හින්දයි, නීති රාමුව ඇතුළෙත් එයාලට ප්‍රශ්න තියෙන හින්දයි ගොඩක් වෙලාවට මේ වගේ සමලිංගික සම්බන්ධ හොර රහසේ තමා තියන් යන්නේ. පිරිමි - පිරිමි අතරේ වෙන සම්බන්ධ වලදී ගොඩක් වෙලාවට එක්කෙනා සහකරුවන් කිහිප දෙනෙක් (multiple partners) එක්කම එකතු වෙන වෙලාවල් තියෙනවා. මේක සෑහෙන අවදානමක් තියෙන හැසිරීමක්. මොකද පිරිමි - පිරිමි ලිංගික සම්බන්ධ වලදී වෙන ගුද සංසර්ගය හින්දා තමා HIV වගේ රෝග බෝ වෙන්න වැඩිම අවදානමක් තියෙන්නේ. ඉතින් සහකරුවන් කිහිප දෙනෙක් එක්ක ඉන්න කෙනෙක්ට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග බෝ වෙන්න තියෙන අවධානම නම් හරිම වැඩියි. සංඛාලේඛන වලිනුත් තහවුරු වෙලා පේන දෙයක් තමා ලංකාවේ HIV වැඩි වශයෙන් ආසාදනය වෙලා තියනෙවා පිරිමි - පිරිමි සම්බන්ධ වලින් කියලා. ලංකාවේ සමලිංගික සමබන්ධ වල නිරත වෙන පිරිමි පුද්ගලයන් 40,000 ක් වගේ ජිවත් වෙනවා කියලා කියලා ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. ඉතින් ඔය 40,000 HIV වලට වැඩිම අවදානමක් තියෙන කට්ටියක්.
නරකම දේ තමා ඔය ප්‍රශ්න හින්දා සමලිංගික කෙනෙක් ඉන්නවා නම් එයා ගොඩක් මානසික ආතතියකට ලක් වෙනවා. Depression වලට ඇවිත් සියදිවි නසා ගන්න පවා එයාලගේ මානසිකත්වය කඩන් වැටෙන සිද්ධි වාර්තා වෙනවා. කවුරු හරි මේ ප්‍රශ්න හින්දා හිතේ තියාගෙන කියන්න කෙනෙක් වත් නැතුව කනස්සල්ලෙන් ඉන්නවා නම් වෛද්‍ය සායන, උපදේශන සේවා වලට යොමු වෙන්න.
📌 සමලිංගිකත්වය නැති කර ගන්නේ කොහොමද?
සමලිංගිකත්වය කියන්නේ ලෙඩක් වත් මානසික රෝගයක් වත් නෙමේ හින්දා ඖෂධ වලින් වගේ දේවල් වලින් ලිංගික නැමියාව බලෙන් වෙනස් කරන්න බෑ. ඒත් ඔයාට විෂම ලිංගික නැමියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන නම්, එහෙම වෙන්න තියෙන උවමනාව ගැන හිතලා, විරුද්ධ ලිංගිකයන් ගැන ආශාව ඇති කර ගත්තොත්, අන්න එහෙම අයට දෙන්න පුළුවන් ලිංගික උත්තේජනය වැඩි කරන්න උදව් වෙන වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ තියෙනවා. හැබැයි වැදගත්ම දේ සමලිංගික කෙනෙක් එහෙම වෙනස් වෙනවා නම් ඒක තමන්ගේ අවංක උවමනාවටම කරනවා මිසක් තව කෙනෙක් කිව්වා කියලවත්, සමාජයෙන් එන බලපෑම් හින්දා වත් කරලා බෑ. ලිංගික ආකර්ශනයක් නැත්නම් ඖෂධ වලින් කරන්න පුළුවන් දෙයක් නෑ.
පෝස්ට් එකේ මුලදීම සත්තු ගැන කිව්ව හින්දා, පෝස්ට් එක ඉවර කරද්දීත් සත්තු ගැනම කතාවක් කියලා ඉවර කරන්නම්.
ඇමරිකාවේ නිව් යෝක් Central පාක් සත්තු වත්තේ පෙන්ගුවින්ලා දෙන්නෙක් හිටියා. දෙන්නම පිරිමි සත්තු. එයාලට නම් දාලා තිබ්බේ රෝයි සහ සයිලෝ කියලා. සත්තු වත්තේ සත්තු බලා ගන්න කෙනෙක් දවසක් දැක්කා මේ පිරිමි පෙන්ගුයින් දෙන්නා බිත්තරයක් රකිනවා කියලා හිතාගෙන ගලක් රකිනවා. ඕක දැකලා සත්තු වත්තේ හිටිය වෙනත් පෙන්ගුයින් කපල් එකක් රකින්නේ නැතුව අතැරලා දාපු බිත්තරයක් දුන්නා මේ දෙන්නට මොකද කරන්නේ බලන්න. රෝයි සහ සයිලෝ මාරුවෙන් මාරුවට බිත්තරේ රැකලා පැටියෙක් එනකම් පරිස්සමින් ඒක බලා ගත්තා. අන්තිම පෙන්ගුයින් පැටියෙක් බිත්තරෙන් එළියට ආවා. පැටියට නම දැම්මේ ටැංගෝ කියලා. ඇත්තටම වෙච්ච ඔය කතාව පොඩි ළමයින්ට කියවන්න පුළුවන් විදියට ලස්සන කතන්දර පොතක් පවා ලියලා තියෙනවා. “And Tango makes three” තමා පොතේ නම. පොත නම් කියවන්න බැරි උනා. හැබැයි Youtube එකේ වීඩියෝ තියෙනවා ලස්සනට කතන්දරේ කියලා දෙන.
ඉතින් සමහර විට වෙනස් වෙනම එක නෙමේ සමලිංගිකත්වයට තියෙන උත්තරේ. තමන්ගේ වෙනස් ලිංගිකත්වය පිළිඅරගෙන, ඒක වැළඳ ගන්න එක සමහර වෙලාවට තමන්ගේ වර්ගයාගේ යහපැවැත්මට උදව් වෙන වෙලාවල් තියෙනවා. මොකද අන්තිමේ බැලුවම ලිංගිකත්වය නෙමේ, දෙන්නෙක්ගේ ආදරය තමයි ඇත්තටම පවුලක් හදන්නේ.
#XeducationSL