යෝනියෙන් අසාමාන්‍ය විදියට ලේ පිට වෙන්න හේතු : Reasons for Vaginal Bleeding


ඉස්සෙල්ලම දැන ගන්න ඕනා මොකද්ද සාමාන්‍ය ලේ පිට වීම සහ මොකද්ද අසාමාන්‍ය ලේ පිට වීම කියන්නේ කියලා. එතකොට තමන්ටම දැන ගන්න පුළුවන් වෛද්‍ය උපදෙස් ගන්න යන්න ඕනා මොන වෙලාවටද, නැත්තේ මොන වෙලාවටද කියලා.

යෝනි මාර්ගයෙන් ලේ පිට උනා කියලා ඒ හැම දේ ගැනම වැඩිය බය වෙන්න දෙයක් නෑ. ඒ වගේ වැඩිය බය නොවෙන්න ඕන හේතු 3 ක් තියෙනවා.

1.   ගැබ් ගත්ත මුල් කාලයේ ලේ පිට වීම

ගැබ් ගත්තම ලේ පිට උනාම සමහරු බය වෙනවා ගබ්සාවක් උනාද කියලා. ගැබ් ගත්තම ලේ පිට වෙන එක ටිකක් සාමාන්‍ය දෙයක්. ශුක්‍රාණුවක් එක්ක එකතු උන ඩිම්බයක් ගර්භාෂයේ ගිහින් තැන්පත් වෙන හින්දා තමා ඒ රුධිර වහනය වෙන්නේ. ගොඩක් වෙලාවට ඒ ගැන වැඩිය බය වෙන්න දෙයක් නෑ. ගැබ් ගත්ත හින්දද රුධිර වහනය වෙන්නේ කියලා දැන ගන්න ඉස්සෙල්ලම මුත්‍රා සාම්පල් එකකට ස්ට්‍රිප් එකක් දාලා කරන pregnancy ටෙස්ට් එක කර ගන්න. ටෙස්ට් එක පොසිටිව් උනොත් ප්‍රෙග්නන්ට් උන එක ගැන ඉස්සෙල්ලා බලන්න.

2.   ඔසප් වීමේ අක්‍රමිකතා හින්දා වෙන ලේ පිටවීම

ඔසප් චක්‍රයේ මාසික ලේ පිට වීම් දෙකක් අතර මැද්දේත් පොඩි රුධිර වහනයක් වෙන්න පුළුවන්. ඩිම්බයක් පිට වෙන වෙලාවට ගර්භාෂයේ බිත්තියේ ඇතිවෙන අසමතුලිතතා හින්දා. ඩිම්බ මෝචනය වෙද්දී ඇඟේ ඊස්ට්‍රජන් හෝමෝන නහුතෙටම නගිනවා. හැබැයි ඩිම්බයක් පිට කරපු ගමන්ම ඊස්ට්‍රජන් හෝමෝන නැගපු නැගිල්ල ආපහු හෝස් ගාලා බහිනවා. ඊට පස්සේ ප්‍රෝජෙස්ටරෝන් හෝමෝන වැඩි වෙන්න පටන් ගන්නවා. ඔය ඊස්ට්‍රජන්, ප්‍රෝජෙස්ටරෝන් කළබල හින්දා තමා ඔසප් චක්‍ර දෙකක් මැද්දේත් පොඩි ලේ පිට වීමක් වෙන්නේ.

ඉතින් ඔය දේවල් ගැන වැඩිය බය වෙන්න එපා.

ඔය දෙකට අමතරව වෙන අසාමාන්‍ය රුධිර වහන ගැන නම් ටිකක් මීටරෙන් ඉන්න ඕනා. ඒ විදියේ අසාමාන්‍ය රුධිර වහනයන් කොටස් 2 කට බෙදන්න පුළුවන්.

👉 පළවෙනි එක තමා ප්‍රජනන පද්ධතියේ අවයව වල වෙන වෙනස්කම් හින්දා වෙන රුධිර වහනය (structural abnormalities)

ඒ වගේ ප්‍රධාන ප්‍රශ්න 4ක් තියෙනවා.

1.   Polyp/ මස් දළු

ගර්භාෂයේ ඇතුලේ හරි ගැබ්ගෙල හරියේ තමා මේවා එන්න පුළුවන්. ඔය වගේ මස් දළු හින්දා අසාමාන්‍ය රුධිර වහනය වෙන්න පුළුවන්. හවස 5.30 ට විතර යන 138 බස් එකක, ඩ්‍රයිවරයා ගහන බ්‍රේක් පාරවල් වලට හතර අතට වැනි වැනි, සෙනග ගොඩේ හිර වෙලා, කොහෙන් හරි තනි අතින් අල්ලන් ඉන්න ගැහැණු ළමයෙක් වගේ තමා මේ මස් දළු ගර්භාෂ බිත්තියේ එල්ලිලා ඉන්නෙත්. ඒවා වැනි වැනි තියෙද්දී වටේ තියෙන පටක වලත් ඇතිල්ලෙනවා. ඒ අතිල්ලිලා රුධිර නාල නිරාවරණය වෙනවා. ඒවගෙන් පිට වෙන රුධිරය තමා යෝනි මාර්ගයෙන් ඊට පස්සේ එළියට එන්නේ.

2.   Adenomyosis

ගර්භාෂයේ බිත්තිය හැදිලා තියෙන්නේ endometrial කියලා පටක වලින්. හැම මාසෙකම ඔසප් වෙද්දී දරු උපතකට ඇඟ ලැස්ති කරන්න ඔය පටකය ඝණකම් වෙනවා. හැබැයි දරු පිළිසිඳ ගැනීමක් උනේ නැත්නම් ඒ වැඩියෙන් හැදුන කොටස පිරියඩ් වෙනවත් එක්ක ගැලවිලා රුධිරයත් විදියට එළියට යනවා.

හැබැයි ඒ පටකයේ අනවශ්‍ය වර්ධනයක් තිබ්බොත් එහෙම පටකය ගර්භාෂ බිත්තියේ මාංශපේශි වලට හා වෙන්න බලනවා. එහෙම වෙලා ගර්භාෂයේ ප්‍රමාණය පවා ලොකු වෙනවා. ඔය හේතුව හින්දා වෙන රුධිර වහනය පීරියඩ් හැදෙන දවස් වලට තමා ගොඩක්ම වෙන්නේ. ඉතින් මේකත්, වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕන තත්වයක්.

3.   Fibroids/ ගර්භාෂයේ ගෙඩි

ගර්භාෂයේ ගෙඩි කියලා නම අහපු ගමන්ම ගොඩක් දෙනා බය උනාට යකා කියන තරම්ම කළු නෑ. ගර්භාෂයේ ගෙඩි හින්දා පිළිකා වගේ එන්න තියෙන ඉඩ හරිම අඩුයි. හැබැයි ඔය ගර්භාෂයේ ගෙඩි හින්දත් අනවශ්‍ය රුධිර වහනය වෙන්න පුළුවන්.

4.   ගර්භාෂයේ ඇතුළේ බිත්තියේ තියෙන පිළිකා සහ පස්සේ කාලෙක පිළිකා හැදෙන්න පුළුවන් තත්ත්ව (hyperplasia) හින්දත් අසාමාන්‍ය රුධිර වහනය වෙන්න පුළුවන්.

ප්‍රජනන පද්ධතියේ ව්‍යුහයේ අසාමාන්‍යතා (structural abnormalities) හින්දා අනවශ්‍ය රුධිර වහනයන් වෙන්නේ ඔය වගේ දේවල් හින්දා තමා.

දැන් බලමු අනිත් හේතු.

👉 රුධිර කැටි ගැසීමේ ප්‍රශ්න

මේවා උපතින්ම තියෙන්න පුළුවන්. වැඩිවියට පත් වෙන ළමයින්ගේ එහෙම අසාමාන්‍ය විදියට රුධිරය යන ප්‍රශ්නේ තියෙනවා නම් ඒ ගැන විශේෂයෙන්ම හොයලා බලන්න ඕනා.

👉 ඩිම්බ මෝචනය පිළිවෙලට නොවෙන එක

මේක තමා වැඩිම දෙනෙක්ට තියෙන්නේ. දැන් කාලේ ඉන්න හැම ගැහැණු කෙනෙක්ටම වගේ තියෙන ප්‍රශ්නයක් තමා අධික තරබාරු බව. බර ඕනෑවට වඩා වැඩි වෙනවත් එක්ක වෙන පළවෙනිම දේ තමා ඇඟේ හෝමෝන වෙනස් වෙනවා. ඩිම්බ මෝචනය අක්‍රමවත් වෙලා ඒ හින්දා මාසික ඔසප් වීමත් අක්‍රමවත් වෙනවා.

තව තයිරොයිඩ් ග්‍රන්ථි වල ප්‍රශ්න, ප්‍රෝලෑක්ටින් හෝමෝන වල අසමතුලිතතා, ඇඟ ගොඩක් කෙට්ටු වෙනවා නම් සහ මානසික ආතතිය ගොඩක් තියෙනවා නම් ඒ අයගේ ඩිම්බ මෝචනයත් හරියට වෙන්නේ නැතුව යනවා.

👉 ගර්භාෂයේ ඇතුලේ බිත්තියේ හෝමෝන අසමතුලිතතා

ගර්භාෂයේ රුධිර වාහිනී විස්තාරණය වෙලා වැඩියෙන් ලේ පිට වෙන්න පුළුවන්. මේ වැඩි සිද්ධ වෙන්නේ ගර්භාෂයේ උනාට මේක ගර්භාෂයේ ප්‍රශ්නයක් කියලා මේක සළකන්නේ නෑ. මොකද ප්‍රශ්නෙට හේතුව හෝමෝන අසමතුලිතතාව හින්දා.

👉 හිතා මතා කර ගන්න දේවල්

කලින් කිව්ව හෝමෝන අසමතුලිතතා, ඇඟේ එක එක ප්‍රශ්න වගේ ගොඩක් දේවල් අපිට පාලනය කරන්න බැරුව තමා සිද්ද වෙන්නේ. හැබැයි අපිම කරන සමහර දේවල් හින්දත් යෝනි මාර්ගයෙන් අක්‍රමවත් විදියට රුධිර වහනය වෙන්න පුළුවන්.

ඒ වගේ දේකට උදාහරණයක් තමා උපත් පාලන ක්‍රම කියන්නේ.

ගිලින පෙති, අත යට තැන්පත් කරන කරල් වගේ දේවල් වලින් ඇඟේ හෝමෝන ක්‍රියාකාරිත්වය තමා වෙනස් කරන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ ඒ උපත් පාලන ක්‍රම හොඳ නැහැ කියලා.

මානසික ප්‍රශ්න වලට ගන්න බෙහෙත් හින්දත් අක්‍රමවත් රුධිර වහනය වෙන්න පුළුවන්.

රුධිර කැටි ගැසීම අඩු කරන්න ගන්න බෙහෙත් වර්ග තියෙනවා aspirin, heparin වගේ බෙහෙත් ගොඩක් දෙනා ගන්නවා ඕකට. ඒ වගේ ගන්න ඖෂධ හින්දත් යෝනි මාර්ගයෙන් අනවශ්‍ය විදියට ලේ පිට වෙන්න පුළුවන්.

තවත් අලුතෙන් එන ප්‍රශ්නයක් තියෙනවා. බබාලා හම්බෙද්දී ගොඩක් දෙනා දැන් සිසේරියන් සැත්කම කරනවානේ. සිසේරියන් සැත්කමෙන් බබාලා දෙතුන් දෙනෙක්ව ළඟ ළඟ හම්බුනාම, සිසේරියන් කරද්දී කපපු තැන ලේ එකතු වෙන්න බලනවා. මාසික ඔසප් වීමත් එක්ක පිට වෙන ලේ එතන කුටීරයක් වගේ එකතු වෙන්න පුළුවන්. Uterine niche/ Isthmocele කියලා කියන්නේ ඕකට. එහෙම උනාමත් මාසේ පුරාම පොඩ්ඩ පොඩ්ඩ ලේ පිට වෙන්න බලනවා.

ගර්භනී කාලේදී පිරිමි කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙද්දී ලේ ටිකක් පිට වෙන්න පුළුවන්. ඒ කාලේ සෙක්ස් කරද්දී යෝනි මාර්ගයෙන් රුධිරය ටිකක් පිට වෙන එක එච්චරම බය වෙන්න දෙයක් නෙමේ. ගර්භනී කාලේදී ඇඟේ ඉන්න බබාට හැදෙන්න සුදුසු විදියට ගැහැණු කෙනාගේ ඇඟේ හෝමෝන වෙනස් වෙනවා. එකේ ප්‍රතිඵලයක් විදියට ඇඟේ පේශි සහ අස්ථි නැමෙන තැන් වල තියෙන කණ්ඩරා පවා මෘදු වෙනවා. කෙටියෙන් කිව්වොත් ගර්භණි ගැහැණු කෙනෙක්ගේ ඇඟක් තව ගැහැණු කෙනෙක්ට වඩා ගොඩක් මෘදුයි. ඒ වගේම ඇඟේ රුධිර නාල පවා මෘදු වෙනවා. ගර්භණි අම්මලා ටිකක් තද කරලා දත් මදින එකෙන් පවා කටේ විදුරුමස් හානි වෙලා ලේ එන්නේ ඒකයි.

තවත් හේතුවක් තමා ගර්භණි කාලේදී කළලය වර්ධනය කරන්න හින්දා උකුළ ප්‍රදේශයට/ pelvis වැඩියෙන් රුධ්රය යවනවා. ඒ හින්දත් ලිංගිකව එකතු වෙද්දී ලේ එන්න පුළුවන්.

මේක සාමාන්‍යයි කිව්වට ටිකක් අසාමාන්‍ය, අපි අවදානය දෙන්න ඕන වෙලාවලුත් තියෙනවා. ඒ හින්දා හිතේ සැකයක් තියෙනවා නම් කෝකටත් ඒ ගැන වෛද්‍යවරයාට කියලා  තියන්න.

📌 වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනා මොන වෙලාවටද?

ඒක දැන ගන්න නම් ඉස්සෙල්ලම බලන්න ඕනා ඔයාගේ රුධිර වහනය වෙන එක අසාමානය ද කියලා. පෝස්ට් එකේ මුලින්ම දාලා තියෙන විදියට අසාමාන්‍ය රුධිර වහනයක් නෙමෙයි නම් තියෙන්නේ වෛද්‍යවරයෙක් ලඟට යන්න ඕන නෑ.

වෛද්‍යවරු ගාවට ගියාම ඉස්සෙල්ලම ඔයාගේ රෝග ඉතිහාසය බලනවා, ඔය උඩ කිව්ව මොන හේතුවද මේකද අදාළ වෙලා තියෙන්නේ කියලා බලනවා.

තව පරික්ෂාවන් කරලා බලනවා (speculum examination). යෝනි මාර්ගය දිගේ පොඩි උපකරණයක් දාලා තමා ඒ පරික්ෂාව කරන්නේ. ගැබ් ගෙලේ තුවාල, මස් දළු වගේ තියෙනවද කියලා තමා ඒකෙන් බලන්නේ.

ඊට පස්සේ යටින් ස්කෑන් පරීක්ෂණයක් කරනවා. ස්කෑන් ටෙස්ට් එක කරන්න යද්දී මතක තියා ගන්න මුත්‍රා කරලා යන්න. මුත්‍රාශයේ මුත්‍රා නැති තරමට තමා ස්කෑන් එකෙන් හොඳට පේන්නේ.  

ඔය පරික්ෂා/ ටෙස්ට් වලින් බලන්නේ ඇඟේ අවයව වල ප්‍රශ්නයක් තියෙනවද කියලා. (ව්‍යුහමය ප්‍රශ්න)

පරිවෘත්තිය ක්‍රියා වල ප්‍රශ්නයක් තියෙනවද බලන්න හෝමෝන පරීක්ෂා තමා කරනවා.

ඉතින් වෙනදා කියනවා වගේම පෝස්ට් එක අන්තිමේ කියන්න තියෙන්නේ ඔයාටත් මේ ප්‍රශ්නේ තියෙනවා නම් යන්න වෛද්‍යවරයෙක් ගාවට. ගිහින් හරි හේතුව හොයාගෙන ප්‍රතිකාර කරලා ප්‍රශ්නේ විසඳ ගන්න.

#XeducationSL

Previous Post Next Post