හැම ගැහැණු කෙනෙක්ම ජිවිතේ කවදා හරි දවසක වෙලාවට ඔසප් වීම වෙලාවට නොවෙන ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා. අක්‍රමවත් ඔසප් වීමක් කියන්නේ මොකද්ද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන ගන්නේ කොහොමද? ඒවට මොනාද කරන්න පුළුවන්?
ඔය සේරම මේ පෝස්ට් එකේ කියලා දෙන්නම්.
ඉස්සෙල්ලම ඔසප් වෙන්නේ කොහොමද කියන එක සුද්ද සිංහලෙන් පුළුවන් තරම් විස්තර ඇතුව කියන්නම්.
ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හැම මාසෙම ගැහැණු කෙනාව ප්‍රෙග්නන්ට් කරවන්නම තමයි බලාගෙන ඉන්නේ. මේක කියවන් යද්දී තේරෙයි ඇයි කියලා.
ඔසප් වීමක් හරියට වෙන්න ප්‍රධාන අවයව 3ක් එකට වැඩ කරනවා. ඒ තමා මොළය, ඩිම්බ කෝෂ සහ ගර්භාෂය.
මොළයේ තියෙන හයිපොතැලමිස් කියන කොටසින් සංඥාවක් යවනවා පිටියුටරි ග්‍රන්ථි වලට. පිටියුටරි ග්‍රන්ථි වලින් ඩිම්බ කෝෂ වලට මැසේජ් එක යවනවා ඩිම්බයක් ලැස්ති කරන්න කියලා. මැසේජ් එක යවන්නේ කොහොමද? - හෝමෝන වලින්. FSH තමා ඒ හෝමෝනය. (Follicle Stimulating Hormone)
ඒත් එක්කම ගර්භාෂ බිත්තියත් දරු කළලය ලොකු කරන්න ඕන විදියට ඇතුලෙන් වෙනම ලේයර් එකක් එහෙම දාලා ලෑස්ති වෙනවා. “එවන එකෙක් එවන්න. අපිත් මෙහෙ ලැස්ති වෙලා ඉන්නේ.” කියලා ගර්භාශයත් මොළයට මැසේජ් එකක් යවනවා.
ඔය මැසේජ් 2ම ආවම. මොළය ආපහු ඩිම්බ කෝෂ වලට මැසේජ් එක යවනවා, “ගර්භාශයත් ඔයාලා එනකල් ready වෙලා ඉන්නේ, ඩිම්බය යවන්න කියලා”. LH හෝමෝන වලින් තමා ඒ මැසේජ් එක යවන්නේ. (Luteinizing Hormone)
ඊට පස්සේ ඔය ඩිම්බය ෆාලොපිය නාල දිගේ යනවා ගර්භාෂය දිහාවට. ඔය යන අතරේදී ශුක්‍රාණු පැටියෙක් හම්බුනොත් උනොත් දෙන්නා සෙට් වෙලා බඩල් දාලා තමා ගර්භාෂයට යන්නේ. ගර්භාෂ බිත්තියත් මේ වෙද්දී අලුතෙන් ලේයර් එකක් එහෙම දාගෙන, කපල් එක පිලි ගන්න මල්මාලා එහෙම තියාගෙන ලැස්ති වෙලා ඉන්නේ. හැබැයි ශුක්‍රාණුවක් නැතුව තනියම ඩිම්බය ආවොත් එහෙම, ඒ පැත්ත පළාතේ වත් තියා ගන්නේ නෑ කියලා හිතාගෙන තමා ගර්භාෂය ඉන්නේ.
ශුක්‍රාණුවක් එක්ක ඩිම්බය ගර්භාෂයට ආවොත් ඒ දෙන්නට දරු කලලයක් වෙනකම් හැදෙන්න ගර්භාෂයේ ඉඩ දෙනවා. ඒ විදියට ශුක්‍රාණුවක් එක්ක සෙට් වෙච්ච ඩිම්බයක් ගර්භාෂයේ implant උනාට පස්සේ HCG හෝමෝනය නිකුත් වෙනවා. (Human Chorionic Gonadotropin) ප්‍රෙග්නන්ට් ටෙස්ට් එකේදී එහෙම අර පටියක් දාලා බලන්නේ ඔන්න ඔය HCG හෝමෝනය හැදිලා තියෙනවද කියලා තමා.
හැබැයි ශුක්‍රාණුවක් නැතුව ඩිම්බය විතරක් ගර්භාෂයට ආවොත් එහෙම, “උඹත් එපා, උඹ ළඟ හිටිය උනුත් එපා” කියලා ඩිම්බයයි, ගර්භාෂ බිත්තියේ ඇතුලේ layer එකයි දෙකම ඇඟෙන් පිට කරලා දානවා. ඔන්න ඕක තමා මාසෙකට පාරක් පීරියඩ් හැදිලා ලේ පිට වෙන්නේ.
එතකොට මේ කතන්දරේ හැම මාසෙම දවස් 25-35 අතර වගේ නිශ්චිත දවසක වෙනවා නම් ඒ ගැන වද වෙන්න දෙයක් නෑ.
හැබැයි දවස් 25-35 අතර පීරියඩ් හැදුනට, පීරියඩ් හැදෙන දවස් දෙක අතර කාලය හැම මාසෙම එහෙ මෙහෙ යන්නත් බෑ. උදාහරණයක් විදියට හිතන්න ඉස්සෙල්ලම දවස් 26 කින් පීරියඩ් හැදෙනවා, ඊලඟ මාසේ දවස් 35 න් වෙනවා, ඊලඟ මාසේ එක දවස් 29න් වෙනවා. තව මාසෙක දවස් 27න් වෙනවා. ඔන්න ඔය විදියට 25-35 දවස් සිමාව ඇතුළත පීරියඩ් හැදෙන එක උනාට මාසෙන් මාසෙට ඒ දවස් ගාන වෙනස් වෙන්න බෑ.
වැඩි වියට පත් උන දවසේ ඉඳන් නෙමේ ගැහැණු ළමයෙක් ඉපදුන දවසේ ඉඳන්ම ඔය තියෙන ඩිම්බ එක එක පිට වෙනවා. හැබැයි කිසිම රුධිර වහනයක් වත් ඔය උඩ කිව්ව කතන්දර එකක් වත් වෙන්නේ නෑ. හැම ගැහැණු කෙනෙක්ම මේ ලෝකෙට ඉපදෙන්නේ සිමා සහිත ඩිම්බ ගාණක් එක්ක. ඉපදෙද්දී ඩිම්බ මිලියන 1-2 ක් වගේ තිබ්බට, වැඩි වියට පත් වෙන වයස වෙද්දී ඕකෙන් ඉතුරු ඩිම්බ ලක්ෂ 2 -3 ක් වගේ තමා. වයස 50 ගණන් උනාම ඕක සිය ගානක් වෙනකල් අඩු වෙලා යනවා. ආර්තවහරණය කියන්නේ ඔය විදියට තියෙන ඩිම්බ සේරම ඉවර වෙලා ඔසප් වෙන එක නවතින වයසට එන එකට.
ගෑණුන්ගේ තියෙන්නෙත් ඩිම්බ ටිකයි, ඒකත් එළියට දාන්නේ මාසෙකට එකයි. ඩිම්බ වල ඉඳන්ම ගෑණුන්ගේ පුදුම ලොකු ලයින්. අනේ ඒ අතින් පිරිමි. දවස ගානේ උනත් ශුක්‍රාණු මිලියන ගානක් එක පාර එළියට දාන්න පිරිමි ලෑස්තියි.
ඉතින් ඔය සංකීර්ණ ක්‍රියාවලිය අක්‍රමවත් වෙන්න පුළුවන් හේතු ගොඩක් තියෙනවා.
PCOS (Polycystic Ovary Syndrome) කියන තත්වය හින්දත් ඔසප් වීමේ අක්‍රමිකතා එන්න පුළුවන්.
📌මේකේ එක රෝග ලක්ෂණයක් තමා අනවශ්‍ය තැන් වල අනවශ්‍ය විදියට රෝම වැවෙන එක. ඒ කිව්වේ අත් වල, කකුල් වල, උඩු තොල් වල වගේ තැන් වල. තව කොණ්ඩය හැලෙන එක, කුරුලෑ, සම අඳුරු වීම වගේ රෝග ලක්ෂණ මේකෙදි පෙන්නනවා.
📌පිටියුටරි ග්‍රන්ථි, තයිරොයිඩ් ග්‍රන්ථි වල ප්‍රශ්න ඔසප් වෙන එක අක්‍රමවත් වෙන්න ලොකු හේතුවක්. මොකද පිටියුටරි ග්‍රන්ථි, තයිරොයිඩ් ග්‍රන්ථි ඔසප් චක්‍රයේ ලොකු වැඩ කොටසක් කරනවා. ඉතින් ඒවගේ ප්‍රශ්න තිබ්බම ඔසප් වෙන එක අක්‍රමවත් වෙන එක ආයේ අහන්න දෙයක් නෙමේ.
📌ඔසප් වීමේ අක්‍රමිකතා ඇති වෙන්න පුළුවන් එක හේතුවක් තමා ඇඟේ තියෙන ඩිම්බ ප්‍රමාණය ඉවර වෙන එක. මේ වැඩේ සාමාන්‍යයෙන් ආර්තවහරණය වෙන වයස එන්න කලින් උනත් වෙන්න පුළුවන්. එහෙම උනොත් ඉතින් කරන්න දෙයක් නෑ. ලබා උපන් හැටි කියලා හිත හදා ගන්න තමා තියෙන්නේ. පිට රවටල් වල නම් egg freeze කරනවා කියලා ගැහැණු අය ඩිම්බ අනාගතේට ආරක්ෂා කරන එක කරනවා. ලංකාවේ නම් ඒ කරන තැන් ගැන හරියට වැඩි විස්තරයක් දන්නේ නෑ.
📌නින්ද අඩු කමත් ඔසප් වීමේ අක්‍රමිකතා ඇති වෙන්න හේතුවක්. ඔසප් වෙන විදිය ගැන කියවද්දී තේරෙන්න ඇතිනේ, ඒ වැඩේ හරියට වෙන්න හෝමෝන වලින් කොච්චර බරක් අදිනවද කියලා. නිදා ගන්න වෙලාවට හැදෙන මෙලටෝනින් හෝමෝනය අඩු උනාමත් හෝමෝන අසමතුලිතතා හින්දා ඔසප් වීම අක්‍රමවත් වෙනවා.
ඊට අමතරව, ඇඟ හෝමෝන නිකුත් කරන්නේ circadian රිදම් එකට අනුව.
මොකද්ද ඒ රිදම් එක?
දවල්- රෑ රිදම් එක. පාන්දර 2 ට නිදාගෙන උදේ 10 ට විතර ඇහැරෙනවා නම් circadian රිදම් එක අවුල් ගිහින් මොළයේ හිපොතලැමසිස්, පිටියුටරි ග්‍රන්ථි වල තනිකර වයර් මාරු වෙනවා. මොන හෝමෝනද දැන් හදන්න ඕනා කියලා එයාලට හිතා ගන්න බැරි වෙනවා. ඒ හින්දා නිදා ගන්න පැය ගාන වගේම නිදා ගන්න, ඇහැරෙන වෙලාවල් ගැනත් හිතන්න ඕනා.
තවත් බලපාන හේතුවක් තමා ඇඟේ බර වෙනස් වෙන එක.
📌ඇඟේ බර එක පාර වැඩි උනාම, ඇඟේ වැඩියෙන් මේදය එකතු වෙනවා. එහෙම තැන්පත් වෙන මේදයට පුළුවන් ඉස්ට්‍රජන් හෝමෝන හදන්න. (මේක පිරිමි අයටත් වෙනවා හොඳේ. යාවජීව සාමාජිකයන්ට සමහර විට මතක ඇති කලින් පෝස්ට් එකක් දැම්මා පිරිමි අයගේ කුම්කු එල්ලෙන ප්‍රශ්නේ ගැන එහෙම. එකේදී ඇඟේ තියෙන මේදය හින්දා පිරිමි කෙනෙක්ගේ උනත් ඉස්ට්‍රජන් හෝමෝනය වැඩි වෙන විදිය විස්තර ඇතුව කිව්වා. පලවෙනි කමෙන්ට් එකේ දාන්නම්. ඕන කෙනෙක් ඉන්නවා නම් බලන්න)
ඔය විදියට ඇඟේ ඉස්ට්‍රජන් හෝමෝන තියෙන්න ඕන ප්‍රමාණයට වඩා වැඩි උනාම මොළේ කොලොප්පම් වෙනවා. ඔසප් වෙන්න ඕන කරන මොළයේ සංඥා ටිකත් වැඩ කරන්නේ නැතුව යනවා.
📌 බර වැඩි වෙනවා වගේම එක පාර සෑහෙන ප්‍රමාණයකින් බර අඩු උනාමත් ඔසප් වීමේ අක්‍රමිකතා එනවා. මොකද මේදය වැඩි වෙද්දී ඊස්ට්‍රජන් වැඩි වෙනවා වගේම, කෙට්ටු වෙලා මේදය අඩු උනාම ඊස්ට්‍රජන් අඩු වෙනවා. ඔසප් චක්‍රය හරියට වෙන්න ඕන කරන ඊස්ට්‍රජන් ප්‍රමාණය නැති උනාම ඩිම්බ මෝචනය අඩපණ වෙලා, ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා.
කෑම අඩු කරලා විතරක් බර අඩු කරන අයටත්, හරියට ව්‍යායාමයක් නැතුව බර වැඩි කර ගන්න අයටත් මේ වැඩේ වෙන්න පුළුවන්.
📌 ඔසප් වීම අක්‍රමවත් වෙන්න බලපාන තව හේතුවක් තමා මානසික ආතතිය. රැකියාවේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, විභාග වගේ දේවල් හින්දා ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා. ආතතිය වැඩි උනාම හැදෙන කෝටිසෝල්, ඇඩ්රිනලින් වගේ හෝමෝන හින්දා වෙන්නේ ඇඟේ හෝමෝන වල තියෙන බැලන්ස් එක නැති වෙනවා. මේ හින්දා අක්‍රමවත් විදියට ඔසප් වීම වෙන්න පුළුවන්.
📌 මානසික ආතතිය විතරක් නෙමේ අධිකව ව්‍යායාම කරන එක හින්දා ඇඟට එන ආතතිය හින්දත් ඔසප් වීම් අක්‍රමවත් වෙනවා. මේ අධිකව ව්‍යායාම කරනවා කියන්නේ දවසකට විනාඩි 45ක් ත්‍රෙඩ්මිල් එකේ ඇවිදලා පොඩ්ඩක් උඩ පනිනවා වගේ ව්‍යායාම කරන නෙමේ. මැරතන් දුවන ගැහැණු අයගේ එහෙම ඔසප් වීම අක්‍රමවත් වෙනවා. එතකොට හිතා ගන්නකො.
📌 හෝමෝනමය උපත් පාලන ක්‍රම මොනා හරි පාවිච්චි කරනවා නම් ඔසප් වීමේ අක්‍රමිකතා එන්න පුළුවන්. ගිලින පෙති, අත යට තැන්පත් කරන කරල් වගේ දේවල්. මොකද ඒවගෙන් ඇඟේ හෝමෝන බැලන්ස් එක පොඩ්ඩක් වෙනස් කරන හින්දා.
උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන හින්දා ඔසප් වීම අක්‍රමවත් උනා නම්, උපත් පාලන ක්‍රමය නවත්තලා මාස 3-6 කින් වගේ ආපහු ඔසප් වෙන එක ගාණට වෙලාවට වෙන්න ඕනා. ඒ මාස 3-6 ට පස්සෙත් ඔසප් වෙන එක හරියට වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයා පාවිච්චි කරපු උපත් පාලන ක්‍රමයේ නෙමේ අවුල තියෙන්නේ.
තව මම දවසක් දැක්කා ෆේස්බුක් එකේ group එකක කොල්ලෙක් දාලා තිබ්බා ප්‍රශ්නයක් - කෙල්ලගේ hand bag එකේ, මිතුරි උපත් පාලන පෙති කාඩ් එකක් තිබ්බා. කොල්ලට හොරෙන් කෙල්ල වෙන මොනා හරි සෙල්ලමක් දානවද කියලා අහලා. කෙල්ලගෙන්ම කෙලින් අහන්නේ නැතුව ඒක ෆේස්බුක් දාපු එක වෙනම කතාවක්.
හැබැයි ඔසප් වීමේ අක්‍රමිකතා තියෙන කාන්තාවන්ට වෛද්‍යවරු උපත් පාලන පෙති ගන්න කියලා නිර්දේශ කරනවා. ඇඟේ ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් හෝමෝන බැලන්ස් එක හදන්න ඒවා ගන්න කියනවා. ඒ විදියට වෛද්‍ය නිර්දේශ ඇතුව උපත් පාලන පෙති ගත්තම ඒ අයගේ ඔසප් චක්‍රය ආපහු හරියනවා. සමහර විට බෑග් එකේ එහෙම පෙති තිබ්බද දන්නෙත් නෑ. එහෙම දාගෙන හිටිය ඇත්තම හේතුව අපි දන්නේ නෑ.
📌 තව ප්‍රශ්නයක් තියෙනවා Endometriosis කියලා. ඔසප් වෙන්නේ කොහොමද කියලා පෝස්ට් එකේ උඩම තිබ්බ ටික කියෙව්වා නම් දන්නවා ගර්භාෂයේ ඇතුල් බිත්තිය ලේයර් එකක් හැදෙන කතාව. එතකොට මේ Endometriosis තත්වයේදී වෙන්නේ, ගර්භාශයේ ඇතුල් බිත්තියේ හැදෙන්න ඕන ලේයර් එක, ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ වෙන වෙන තැන් වල හැදෙනවා. පීරියඩ් හැදෙද්දී වෙනවා වගේම ඔය තැන් වලත් අභ්‍යන්තර රුධිර වහනයන් වෙන්න ගන්නවා. හැබැයි මේක වෙද්දී ඇඟ දැන ගන්නවා වැරදි තැනක වැරදි දෙයක් වෙනවා කියලා. ඒ හින්දා ඇඟ මොකද කරන්නේ, ඒ රුධිර වහනයන් වෙන තැන් වටේට scar tissue එකක් හදනවා.
ඉතින් ඔය විදියට කොහෙවත් ඉඳන් ආපු scar tissue එකක් ඩිම්බ කෝෂ වටේට හැදෙන්න ගත්තම අර මාසෙකට පාරක් පිට වෙන ඩිම්බයට එළියට යා ගන්න වත් බැරුව scar tissue එකේ ඩිම්බය හිර වෙනවා. ඔය හින්දත් ඔසප් වීමේ අක්‍රමිකතා එන්න පුළුවන්. ඔය ප්‍රශ්නේ තියෙන අයට ප්‍රෙග්නන්ට් වෙන එක නම් ඉතින් හීනයක්.
ඒ කියන්නේ මේ Endometriosis තියෙන අයට බබාලා හදන්න බෑ කියලද? - අපෝ නෑ ඒ අයට වෛද්‍ය උපදෙස් ගන්න කියලයි ඒ කිව්වේ.
පේජ් එකෙන් වැඩියෙන්ම අහන ප්‍රශ්නේ bf එක්ක අරහෙම මෙහෙම සෙස් කළා, මේ මාසේ පීරියඩ් හැදුනේ නෑ. කෙල්ල ප්‍රෙග්නන්ට් වෙයිද කියන එක. ප්‍රෙග්නන්ට් උනාම ඔසප් වෙන එක ස්වභාවික නවතිනවා. හැබැයි ඉතින් ඒක ඔසප් වීමේ අක්‍රමිකතාවක් කියන්නත් බෑ. ඒක එහෙම තමා වෙන්න ඕනා. එතකොට කෙල්ල ප්‍රෙග්නන්ට් ද කියලා මගෙන් අහන්න එපා. මම ප්‍රෙග්නන්ට් කෙරෙව්වේ නෑනේ. Pregnancy ටෙස්ට් එකක් කරගෙන ඔයාලම බලා ගන්න.
📌 කිරි දෙන අම්මලාගේ ඇඟේ හැදෙන ප්‍රෝලක්ටින් හෝමෝන හින්දත් ඔසප් චක්‍රය මාස කිහිපයක් යනකල් අක්‍රමවත් වෙන්න පුළුවන්. ඒකත් සාමාන්‍යයි. ඒක ආයේ හරියනවා.
කිරි දෙන අම්මලාගේ විතරක් නෙමේ, සාමාන්‍ය ගැහැණු කෙනෙක්ගේ උනත්, ඇඟේ ප්‍රෝලක්ටින් හෝමෝන වැඩියෙන් හැදෙනවා නම් ඔසප් වීම අක්‍රමවත් වෙනවා.
📌 ඔයා වෙනත් ලෙඩ රෝග වලට ගන්න ඖෂධ හින්දත් ඔසප් වීමේ අක්‍රමිකතා එන්න පුළුවන්.
📌 තව ඉතින් ඔසප් වීම අක්‍රමවත් වෙන්න හේතු වෙන පිළිකා, Pelvic inflammatory disease වගේ පොඩ්ඩක් භයානක හේතුත් තියෙනවා.
ඒ වගේ තව තව හේතුත් තියෙනවා ඉතින්.
ඒ කොහොම හරි කමක් නෑ ඔසප් වීම අක්‍රමවත් නම් මොකද කරන්නේ?
ගැහැණු වගේම තමා ඉතින් ඔසප් වීමත් හරිම සංකීර්ණයි. ඒ හින්දා ඔය ඔසප් වීමේ අක්‍රමිකතා තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න කියන එක තමා කියන්න තියෙන්නේ.
👉 බබාලා නැති ගැහැණු අයට එහෙම පොදුවේ දෙන වෛද්‍ය උපදෙසක් තියෙනවා.
වයස 35 ට අඩුයි නම් අවුරුද්දක් try කරලත් බබෙක් නැත්නම් වෛද්‍ය උපදෙස් ගන්න.
වයස 35 ට වැඩියි නම් මාස 6ක් try කරලත් බබෙක් නැත්නම් වෛද්‍ය උපදෙස් ගන්න.
හැබැයි ඔන්න ඔය උපදෙස් දෙක දෙන්නේ දේවල් දෙකක් හරියට වෙනවා කියලා හිතාගෙන.
1. ඔසප් වීම ගාණට වෙලාවට වෙනවා,
2. නිතර ලිංගික සංසර්ගයේ යෙදෙනවා කියන එක.
ඔයා බබෙක් හදන්න try කරන කෙනෙක් හැබැයි ඔය උඩ කිව්ව ප්‍රශ්න 2 තියෙනවා නම් මාස 6ක් අවුරුද්දක් බලන් ඉන්න එපා. ක්ෂණික යන්න වෛද්‍යවරයෙක් ළඟට. (පළවෙනි ප්‍රශ්නෙට විතරක් වෛද්‍යවරයෙක් ළඟට යන්න ඉතින්. හස්බන්ඩ් doctor කෙනෙක් නෙමේ නම් දෙවෙනි ප්‍රශ්නෙට doctor කෙනෙක් ගාවට ගිහින් වැඩක් නෑනේ.)
👉 එතැනදී වෛද්‍යවරු ඉස්සෙල්ලම කරන්නේ ඔයාගේ හෝමෝන පරික්ෂාවක් කරලා තියෙනවා. මේ පෝස්ට් එකේ ඒ හැම හෝමෝනයක් ගැනම කියවුනා. FSH, LH, ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්.
👉 ඩිම්බ ඉතුරු වෙලා තියෙනවද කියලා බලන්න AMH (Anti-Mullerian Hormone) ටෙස්ට් එක කරනවා.
👉 ඩිම්බ කෝෂ හරියට වැඩ කරන්නේ නැද්ද, මොළයේ හයිපොතලමසිස් වල ප්‍රශ්නයක්ද කියලා බලන්න FSH, ඉස්ට්‍රජන් ටෙස්ට් කරනවා.
👉 තයිරොයිඩ් සහ ප්රෝලක්ටින් වල ප්‍රශ්න තියෙනවද බලන්න TSH ටෙස්ට් කරනවා.
මුලිකව ඔය ටෙස්ට් ටික කළාම තේරෙනවා ඩිම්බ ඉවර වෙලාද, මොළයෙන් සංඥා යවන තැන ප්‍රශ්නයක්ද, ගර්භාෂයේ ප්‍රශ්නයක්ද මොකද්ද අවුල කියලා.
#XeducationSL